මඟතොට මිතුරෝ තිළිණ ලබති | දිනමිණ

මඟතොට මිතුරෝ තිළිණ ලබති

දිනමිණ පුවත්පතේ 'මඟතොට මිතුරෝ' විශේෂාංගය යටතේ ලින්ක් ලංකා ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන කූපන් තරගයේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල ටැක්සි මීටර් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පෙරේදා (08) ලේක්හවුස් ආයතනයේදී පැවැත්විණි. මෙහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 15 දෙනෙකුට ටැක්සි මීටර් සඳහා වවුචර් පත් පිරිනැමිණි. ටැක්සි මීටර් ලබාදීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ ලින්ක් ලංකා ආයතනයයි. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලද්දේ ලේක්හවුස් ආයතනයේ අලෙවි අංශය විසිනි.

මෙහිදී උත්සව සභාව ඇමතූ ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා "දිනමිණ පුවත්පත අවුරුදු 100 කට වඩා පැරැණි ලංකාවේ ඈත ඉතිහාසයේ මෙන්ම වර්තමානයේත් පුරෝගාමී වගකීම් සහිත පුවත්පතක්. මෙම පුවත්පතේ පුවත් වගේම මහජන සේවාවන් පිළිබඳව හරි දැක්මක් හරි මෙහෙයුමක් හරි දිශාවක් මහජනතාවට ලබා දෙනවා. බොහෝ වෙලාවට මේ ත්‍රීවීල් රථ ධාවනය කරද්දී සාධනීය තත්ත්වයන් පිළිබඳව කතා කරනවා අඩුයි. මාධ්‍ය බොහෝ වෙලාවට කතා කරන්නෙ මේ සේවාවන්වල තියෙන අඩුපාඩු මේ සේවාවන්වල තියෙන දුක්ගැනවිලි' දුම්රිය ගත්තත්, බස්රථ ගත්තත්, ත්‍රීවීල් රථ ගත්තත් අනෙකුත් රථ ගත්තත් බොහෝවිට මාධ්‍යයෙන් කතා කරන්නෙ ඒවායේ සිදුවන අඩුපාඩු. නමුත් ඒවායින් සිදුවෙන සේවාව ගත්තම ඉතාම ප්‍රබලයි. ඉතාම විශිෂ්ටයි. සමාජයක් ඉදිරියට ගෙන යාමට එය අවශ්‍යයි.

"ත්‍රීවීල් විශාල ප්‍රමාණයක් ලංකාවෙ තියනවා. ඒක කුඩා වුණත් ඒකෙ අයිතිය තනි පුද්ගලයකුට හෝ පවුලකට හෝ තිබුණත් මහ විශාල සේවාවක් ලංකාව පුරාම සිදුවෙනවා. ඒවගේම මැසිවිලිත් තියනවා. ත්‍රීවීලර්වලින් රථවාහනවලට, මාර්ගවලට ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන කිව්වත් මාධ්‍යයන්වල මෙහි සේවාව ගැන එච්චරම කියැවෙන්නෙ නැහැ. දිනමිණ පත්තරෙන් අපි කතා කරන්නෙ ඒ හොඳ ගැන. විශේෂයෙන්ම ත්‍රීවීල් හිමියන්ට, ධාවකයන්ට සහ ඒ රථවල ගමනාගමනය කරන ‍මගීන්ට අත්වෙන හොඳ නොහොඳ පමණක් නොවෙයි පහසුකම් පිළිබඳ කතා කරනවා වෙන්නත් පුළුවන්. මේ ගැන කතා කරන විට මේ ජීවිකාව කරන්නා වූ පිරිස් ගැන, සමාජමය අත්දැකීම් ගැන කතා කරල ඒ ප්‍රශ්න විසඳලා නැවතුම්පළවල් සම්බන්ධ ප්‍රශ්න ගැන කතා කරලා ඒවගේම වාහන අමතර කොටස් ප්‍රශ්න ගැන කතා කරලා විශේෂයෙන්ම අමතර කොටස් නිෂ්පාදකයන්ට තියන ආදායම් බදු මේ පිළිබඳව කතා කරල පුළුවන් තරම් හොඳ සේවාවක් සමාජයට ලබාදීම පිණිස මාධ්‍යයෙන් කෙරෙන්නා වූ කාර්යය තමයි අපි කරන්නේ.

මේ සඳහා හොඳ අනුග්‍රහයක් ලැබෙනවා. දිනමිණ පත්තරයෙන් කෙරෙන කැපවීම අනුග්‍රාහක භවතුන්ගෙන් කෙරෙන කැපවීම මුදල්මය වශයෙන් කෙරෙන කැපවීම වගේම මාධ්‍ය තුළින් ඔබට දෙන මේ ප්‍රශස්ත මට්ටමේ ආශීර්වාදය කාටත් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ලේක්හවුස් ආයතනය සාමාන්‍යයෙන් කරන්නේ විශිෂ්ටයන් හඳුනාගෙන සම්මාන ප්‍රදානය කිරීමයි. එය සාහිත්‍ය වශයෙන්, සිනමාව වශයෙන්, අධ්‍යාපනය වශයෙන් සහ ක්‍රීඩාවන් වශයෙන් සිදුකෙරෙනවා. එහි එක් කොටසක් බවට ඔබ අද පත්වෙනවා. ඒ පිළිබඳ ඔබත් සන්තෝෂ වෙන්න ඕන. ඒ සම්බන්ධව මම අනුග්‍රාහක භවතුන්ටත්, විශේෂයෙන් දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාණ්ඩලිකයන්ටත්, අලෙවි අංශයේ සියලුම නිලධාරීන්ටත් නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා."

මේ අවස්ථාවට ජයග්‍රාහකයන් 15 දෙනා අතරින් 13 දෙනෙක් පැමිණ සිටියහ. ඔවුන් ද ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් පළකර සිටියහ.

මහේෂ් හර්ෂ කුමාර මහතා

"මම නුවර වත්තේගම. ලොකු අම්මා තමයි කූපන් යවන්නෙ. හැමදාම කූපන් දානවා. අද මට ගොඩක් සතුටුයි. මගෙ ත්‍රීවීලර් එකට මීටරයක් නැහැ. ලොකු වියදමක් කරල දාන්න ඕන. දැන් මිනිස්සු සතුටුවෙයි. හයරුත් වැඩිවෙයි කියල හිතනවා."

ජේ. කේ. බී. චින්තක ප්‍රසන්න මහතා

"මම බදුල්ලේ. කාඩ් 2 යි දැම්මේ. මගේ දුව තමයි පුරවලා දැම්මේ. හිතුවෙ නෑ ඇදෙයි කියලා. සතුටුයි."

ඩබ්. එම්. රත්නසිරි මහතා

වෙනුවට ඔහුගේ බිරිය ශ්‍යාමලී මහත්මිය තිළිණය ලබාගැනීමට පැමිණ සිටියාය. මේ ඇයගේ අදහස්.

"මහත්තයා ත්‍රීවීල් එකට මීටරේ නැතුව දුක්වෙවී තමයි හිටියේ. සමහර අය මීටරේ නෑ කියලා ත්‍රීවිලර් එකට නඟින්නෙත් නෑ. කූපන් 10 ක් විතර දැම්මා. මහත්තයට ගොඩක් සතුටුයි. ප්‍රයෝජනවත් දෙයක් ලැබුණේ."

කේ. එම්. චන්දන උපුල් කුමාර

"මම වාරියපොළ ප්‍රදේශයේ. මම ත්‍රීවිලර් එක දුවන්නේ රස්සාවක් කරන ගමන්. කූපන් 8ක් විතර දැම්මා. ගොඩක් සතුටුයි. මේ වගේ දෙයක් කරන එක ගැන ස්තූතිවන්ත වෙනවා.

පී.එම්. ආරියපාල මහතා

"මම අම්බලන්ගොඩ. එක කූපන් පතයි මම එව්වේ. ඒක ජයග්‍රහණය කළා. හිතුවෙ නෑ ජයග්‍රහණය කරයි කියලා. මට ගොඩක් සතුටුයි. අපට ත්‍රීවිලර් එකට මීටර් සවිකරගන්න මුදල් නැහැ. මේක හොඳ වැඩක්."

ලක්ෂ්මන් තිලක්සිරි මහතා

"පුතා තමයි හැමදාම කූපන් දාන්නේ. මේ කූපන් එක දැම්මේ මම. මට තවම මීටරයක් නැහැ. ගණන් අහල නිකං හිටියා. ජයග්‍රහණය කළ එක ගැන සතුටක් දැනෙනවා. මම දිනමිණ පත්තරේ ගන්නේ පාසල් යන කාලේ ඉඳන්."

සී.එන්. වීරරත්න මහතා

"මම මොරටුවේ. කූපන් ගොඩක් යැව්වා. කවදාහරි දිනයි කියලා දිගටම උත්සාහ කළා. ගොඩක් සතුටුයි අද. ත්‍රීවීල් එකේ මීටරයක් තිබීම පහසුවක්. මේකෙන් මින්ස්සුන්ටත් සහනයක් වගේම පහසුවක් ලැබෙනවා."

ඒ. අජිත් මහතා

ජයග්‍රහණය කළ තිළිණය ලබාගැනීමට පැමිණ සිටියේ ඔහුගේ බිරිය ශ්‍රියානි වෙත්තසිංහ මහත්මිය යි. මේ අය පළකළ අදහස්.

"අපි ගම්පහ ප්‍රදේශයේ. මම හැම සතියෙම කූපන් දැම්මා. පළමු වතාවටයි ජයග්‍රහණයක් ලැබුණේ. මහත්තයා අසනීපෙන් ඉන්නේ. අපේ ත්‍රීවිලර් එකට මීටරයක් තියනවා. ඒක වැඩ නෑ. හදාගන්න විදියක් නැතුව හිටියේ. මේ ආයතනයෙන් කරන්නෙ ලොකු මෙහෙවරක්. අපි වගේ අයට දිරිදීමක්."

ශිරෝමි පුෂ්පලතා මහත්මිය

"කූපන් 3 ක් විතර දැම්මා. අපේ අයියත් කූපන් දාලා ජයග්‍රහණය කළා. සල්ලිවලට මීටරේ ගන්න ගියාම ලොකු වියදමක් දරන්න වෙනවා. රජයේ පුවත්පතකින් මේ වගේ දෙයක් ලබාදීම ගැන ගොඩක් සතුටුයි."

ටී. එච්. ආර්. ආරියරත්න මහතා

"මේ ආයතන දෙකෙන්ම කරන්නෙ හොඳ සේවයක්. ආයතන දෙකටම ස්තූතිවන්ත වෙනවා."

ලලිතා පෙරේරා මහත්මිය

"මම විශ්‍රාමික ගුරුවරියක්. ත්‍රීවීලර් එක කුලියට දීලා තියෙන්නෙ. කූපන් 40 ක් විතර දැම්මා. මීටරයක් ලැබෙනකම්ම දැම්මා. දිනමිණ පත්තරේ හැමදාම ගන්නවා. මේ වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වෙන්න කියලා ආශීර්වාද කරනවා."

ජයසිරි නානායක්කාර මහතා

"මම ගාල්ලේ. කූපන් 45 ක් විතර දැම්මා. අපට මීටරයක් සවිකර ගැනීම පහසුවක්. හරිම සතුටුයි. මේ නිසා හයර් වැඩිවෙයි කියලා හිතනවා."

ජයග්‍රාහකයන් වෙනුවෙන් තිළිණ පත් බෙදාදීම ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසන්ත චන්ද්‍රතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. බොයිස්, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු චන්ද්‍රලාල් සූරියආරච්චි, සහකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අසංක පීරිස්, අලෙවි සහ ක්ෂේත්‍ර මෙහෙයුම් කළමනාකරු ශාන්ත පුෂ්පකුමාර, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි) අමිල පීරිස්, දිනමිණ සම කර්තෘ අනුර කේ. එදිරිසූරිය, ලින්ක් ලංකා ආයතනයේ කළමනාකරු සමන් පුෂ්පකුමාර සහ ලින්ක් ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂගේ පෞද්ගලික සහකාර ධම්මික විජේරත්න මහත්වරුන් අතින් සිදු කෙරුණි.

 

සටහන - චතුමී පිටිපන
ඡායාරූප - චින්තක කුමාරසිංහ 

PDF File: 

නව අදහස දක්වන්න