කතිරය සහ ජනතාව | දිනමිණ

කතිරය සහ ජනතාව

ජනාධිපතිවරණයට තව ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි.එළඹෙන ජනාධිපතිවරණය යනු ඉතිහාසයේ වැඩිම අපේක්ෂක පිරිසක් තරග වදින ජනාධිපතිවරණය ද වේ. ජනතාව අපේක්ෂකයින්ගෙන් බලාපොරොත්තු විය යුතු ගුණාංග කවරේ ද? ,මැතිවරණයේ දී අපේක්ෂකයින්ගේ වගකීම කුමක් ද? ,ඡන්දය දීමේදී ජනතාව කල්පනා කළ යුතු කරුණු මොනවා ද?, අද දේශපාලන කොලෝසියම අවධානය යොමු කරන්නේ ඒ පිළිබද ය.

*********************

නීතියට වැඩ කිරීම කාගෙත් වගකීමක්

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මල්ලිකා පින්නවල

විධායක ජනපති ධූරය හඳුන්වා දීමෙන් පසු අපේ රටේ පැවැත්වෙන අටවන ජනපතිවරණය සඳහා දැන් දින නියම වී තිබෙනවා. ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මෙවරයි. විශේෂයෙන් ජනපතිවරණයකදී රටේ සියලුම ජනතාව මේ ඉදිරිපත් වන අය අතරින් එක් අයකුට ඡන්දය ලබා දියයුතු වුවත් ඡන්ද පොළට නොයන හා ඡන්ද පොළට ගොස් ඡන්දය අවලංගු කරන අයත් මේ අතර ඉන්නවා. මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට ඡන්දයකදී ජනතාවට ලැබෙන වරම වඩාත් අර්ථවත් වීමට නම් මැතිවරණය සාධාරණ එකක් විය යුතුයි. මැතිවරණයක් සාධාරණව පැවැත්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව සතු වගකීම ඉහළයි. නමුත් ඔවුන්ට පමණක් මෙය කළ නොහැකියි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිණිස කොමිසමට අවශ්‍ය සහය ලබා දීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් හා වගකීමක්. විශේෂයෙන්ම පක්ෂ නායකයින්ට මෙහිදී සුවිශේෂී වගකීමක් පැවරෙනවා.

ප්‍රචණ්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට වැඩි නැඹුරුතාවක් දක්වන්නේ එක් එක් පක්ෂවලට හා පුද්ගලයින්ට ගැති පාක්ෂිකයින්. ඔවුන් තමන්ගේ පක්ෂය හෝ අපේක්ෂකයා දිනවීම පිණිස නොයෙක් අක්‍රමිකතා කරන්නට පෙළඹෙනවා. මේ අතරින් බොහෝ දෙනකු තමන්ගේ ලාභ ප්‍රයෝජනය පිණිස දේශපාලනය කරන අය. ඔවුන් අදාළ දේශපාලනඥයා දිනවීම ඔස්සේ නොයෙක් දේවල් ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යය ජනතාව මේ දූෂණවලට ඇත්තෙන්ම හවුල් වෙන්නේ නැහැ. මෙවර ජනපතිවරණය ගත්තොත් අපේක්ෂකයින් 35 දෙනෙක් මැතිවරණයට නාම යෝජනා ලබාදී තිබෙනවා.

ඇතැම් අය පිළිගත් දේශපාලන පක්ෂවලිනුත් තවත් අය ස්වාධීනවත් තරග කරනවා. පක්ෂ නියෝජනය කරමින් තරග කරන අපේක්ෂකයින්ට වගේම ඒ පක්ෂවල නායකයින්ටත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිණිස සහයෝගය දැක්වීමේ වගකීම පැවරෙනවා.

රටේ නායකත්වයට පත්වන පුද්ගලයා නීතියට ගරු කරන්න ඕන.ව්‍යස්ථාව මත අත තියලා දිවුරලා තමයි ඔහු හෝ ඇය තනතුරේ වැඩ බාර ගන්නේ.එහෙම කරලා බලය ලබා ගත්තට පස්සේ ව්‍යවස්ථාව පැත්තකට දාලා නීති නොකතා වැඩ කරනවා නම් ඒ පාලකයාගෙන් රටට වෙන යහපතක් නැහැ.මැතිවරණ නීති නොතකන අපේක්ෂකයින්ට ඡන්දය නොදිය යුතුයි.කෙනෙක් මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා නම් එයා බලයට පත්වුණාමත් කරන්නේ ඒකමයි.බලය අයුතු විදිහට පාවිච්චි කරනවා නම් බලයට පත් වුණාම ඒක තවත් දෙගුණ තෙගුණ වේවි. අපේක්ෂකයින්ට වගේම රාජ්‍ය නිලධාරීන්ටත් පුරවැසියන් ලෙස සියලු දෙනාටත් මෙහිදී වගකීමක් පැවරෙනවා. රාජ්‍ය නිලධාරීන් ස්වාධීනව රාජකාරී කිරීමත් ඉතා වැදගත්.ඒ වගේම මාධ්‍ය මෙහිදී මධ්‍යස්ථව කටයුතු කිරීම ඉතා වැදගත්. අද ඒ තත්ත්වය දකින්නට නැහැ. මාධ්‍ය තමන් මනාප අපේක්ෂකයා තෝරාගෙන ඔහු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව පැහැදිලිව දක්නට ලැබෙනවා . මැතිවරණ කොමිසම මේ ගැන අවධානය යොමු කළ යුතුයි. රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යයත් මැතිවරණ කාලසීමාවේදී නියාමනයකට ලක්විය යුතුයි. පොලීසියටත් මෙහිදී විශාල කාර්යභාරයක් පැවරෙනවා. දැන් පොලිස් කොමිෂන් සභාව ක්‍රියාත්මක නිසා රාජකාරියේදී දේශපාලන ඇඟිලි ගැසීම් අඩුයි. නමුත් පොලීසිය ජනතාව අපේක්ෂා කරන ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න ප්‍රශ්නයක්. ජනතාවට තාමත් පොලීසිය පිළිබඳව හොඳ විශ්වාසයක් ගොඩනැගී නැහැ.

නීති මොනතරම් තිබුණත් වැඩක් නැහැ ඒවා හරියට ක්‍රියාත්මක වන්නේ නැත්නම්. අපේ රටේ බොහෝ විට දක්නට ලැබෙන්නේ නීති පෙන්වීම විතරයි. ක්‍රියාත්මක කරන්න ගියාම නීතියේ සිදුරු. මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට එරෙහිව පවතින නීති යටතේ දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන. නැත්නම් මේ රට හදන්න බැහැ. පෝස්ටර් සම්බන්ධයෙන් තිබෙන නීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළොත් මැතිවරණ නීතියට පිටින් ගොස් පෝස්ටර් ගහන එක නවතීවි.

සටහන
අසේල කුරුළුවංශ

*********************

මැතිවරණ සංස්කෘතියේ වෙනසක් කරන්න ඕන

 රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජේසිරි ගමගේ

ජනාධිපතිවරණයක් කියන්නේ ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ ජාතික මැතිවරණයක්. මේ තමයි ප්‍රධානතම මැතිවරණය. එවන් මැතිවරණයක් තුළ මැතිවරණ නීති රැකීමේදී අපේක්ෂකයාගේ සහ පාක්ෂිකයාගේ වගකීම ගැන කතා කරන්න කලින් ලංකාවේ වර්ධනය කළ යුතු දෙයක් තමයි මැතිවරණ සංස්කෘතිය තුළ මේ දෙපිරිස ම හැසිරිය යුතු ආකාරය. දෙගොල්ලන්ටම මැතිවරණයක් කියන්නෙ කුමක්ද යන කාරණාව ගැන, මැතිවරණයකදී තමන් කටයුතු කළ යුතු ආකාරය පිළිබද හෝ නීතිය පිළිබද අවබෝධයක් නෑ. යම් අවබෝධයක් තිබෙන පිරිස වුණත් ඒ අවබෝධය තුළ ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නෙ.

මැතිවරණ ක්‍රමය තුළ ලෝකයේ බොහෝ රටවල් මැතිවරණ නීති වගේ ම මැතිවරණ සදාචාරය අනුගමනය කරනවා. ඒ වුණාට ලංකාවේ පාලකයන්ට හෝ ජනතාවට මැතිවරණ සදාචාරය සම්බන්ධයෙන් හැඟීමක් නෑ. අපිට මැතිවරණ සම්බන්ධයෙන් මූලික නීති තියනවා. නමුත් සංස්කෘතියක් වර්ධනය වෙලා නෑ. ලංකාවේ මැතිවරණ අපේක්ෂකයන්ගේ මෙන් ම පාක්ෂිකයන්ගේ වගකීම වන්නේ ඒ සංස්කෘතිය ඇති කිරීමයි . ඒ වගේ ම මැතිවරණය සම්බන්ධයෙන් නීති තිබුණත් ක්‍රියාත්මක නොවීමේ ගැටලුව ද ඇතැම්විට දකින්න ලැබෙනවා.

ලෝකේ දියුණු රටවල මැතිවරණ ක්‍රම හා බැඳුණු සංස්කෘතිවලින් අපට ආදර්ශ ගන්න පුළුවන්. මැතිවරණ සාධාරණ ව සහ අපක්ෂපාතී ව පැවැත්වීම නීතියෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නීතිය වැදගත්. නමුත් මැතිවරණ සංස්කෘතිය පිළිබඳ ලංකාවේ තියෙන බරපතළ ගැටලුවත් අප විසදා ගත යුතු යි.

මේ වන විට ජනාධිපතිවරණය කැඳවලයි තියෙන්නෙ. වර්තමාන ක්‍රමය තුළ මේ මැතිවරණ නීතිය අඩුවැඩි වශයෙන් කඩ කරන බවක් තමයි දක්නට ලැබෙන්නෙ. පාලකයන්ගේ යුතුකම මහජනයාට ආදර්ශයක් සැපයීම වුණත් අද ඒකත් හරියට සිදු වෙන්නෙ නෑ. මේ දිනවලත් සිමෙන්ති බෙදාදීම්, කූට ආකාරයෙන් රැකියා ප්‍රදානය කිරීම් වැනි දේ සිදු කරමින් ඇතැම් පිරිස් මැතිවරණ නීතියට පිටින් යන ආකාරය අපිට පෙනෙනවා. පාලක කණ්ඩායම්වල වගකීම තමුන් ආදර්ශවත් වෙමින් රට පාලනය කිරීම වුණත් එහෙම තත්ත්වයක් ලංකාවේ දකින්න නොලැබීම කනගාටුවට කරුණක්. ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ අරමුණ වෙලා තියෙන්නෙ කුමන හෝ ක්‍රමයකින් බලය ලබාගැනීම පමණයි.

මැතිවරණ ක්‍රමය තුළ පාලකයන් හැසිරෙන ආකාරයටයි මහජනතාවත් හැසිරෙන්නෙ. ඒ නිසා පළමු ව පාලකයන් ආදර්ශමත් විය යුතු යි. ඉන් පසු ව ලංකාවේ මැතිවරණ සංස්කෘතිය අලුතින් ම ආරම්භ විය යුතු යි. මැතිවරණ කාලවලදී නොයෙක් ගිවිසුම් අත්සන් කරනවා. මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒ හැමදේ ම මැතිවරණ කාලයට විතරයි. ඊට පස්සෙ රටට සෙතක් වෙන දෙයක් සිදු වෙන්නෙ නෑ. මැතිවරණයකදි මැතිවරණ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු යි. නමුත් පොලිසිය පවා මේ නීති ක්‍රියාත්මක කරන්න ගිහින් අසරණ වෙන අවස්ථාවන් තියනවා. මේ මැතිවරණ සංස්කෘතිය තුළ මැතිවරණය කියන්නෙ මොකද්ද කියන කාරණාව ගැනවත් අවබෝධයක් නැති පාලක කණ්ඩායම්වලින් සහ ජනතාවගෙන් ඒ නීති රැකීමට නිසි සහයෝගයක් ලැබෙන්නෙ නෑ. අපේ රටේ මැතිවරණවලදී දේශපාලන මැදිහත්වීම් බහුල යි. ආසන්නම උදාහරණයක් විදිහට ඉන්දියාව වැනි රටවල ස්වාධීන මැතිවරණ කොමිසමක් තියෙනවා. එය බලධාරී ආයතනයක්. රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක වන නමුත් ස්වාධීන ව කටයුතු කරන ආයතනයක්. පාලකයින් පවා ඒ ආයතනයට ගරු කරනවා. ලංකාවේ තවම එහෙම තත්ත්වයක් වර්ධනය වෙලා නෑ.

විශේෂයෙන් ම පොලිසිය මැතිවරණ නීති රකින්න කටයුතු කරන විට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට විශාල වශයෙන් දේශපාලන මැදිහත්වීම් සිදු වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම ඇතිවන ගැහැට තත්ත්වයන් පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් අත්විඳිනවා. බොහෝ විට දකින්න ලැබෙන්නේ ඔවුන්ට රාජකාරිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයන්. නමුත් දැන්වත් අප නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමේ සංකල්පයට අනුගත විය යුතු යි. ඒ සදහා මැතිවරණ නීතී පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මැතිවරණ සදාචාරය, මැතිවරණ සංස් කෘතිය, දේශපාලන සංස්කෘතිය සියල්ල හොද අතට හැරෙන වාතාවරණයක් තුළ තමයි මෙරට මැතිවරණවලදී දැනට දැකිය හැකි අඩුපාඩුකම් යම් පමණකට හෝ මගහරවා ගත හැක්කේ. මේ එළැඹෙන මැතිවරණයෙන් අපිට පුළුවන් යහපත් ආරම්භයක් දෙන්න.

මැතිවරණ ක්‍රමය සාර්ථක කරගැනීමේ එක් පියවරක් විදිහට අපි මැතිවරණ කොමිසන් සභාවක් පත් කරලා තියෙනවා. වෙනත් රටවල එවැනි ආයතන සාර්ථක ව ක්‍රියාත්මක වන ආකාරය පිළිබදවත් අවධානය යොමු කරලා නිවැරදි කරගත යුතු තැන් නිවැරදි කරගත යුතු යි.

නමුත් පාලකයන් ඒ ගැන අවධානය යොමු නොකිරීම ලංකාවේ අවාසනාවන්ත තත්ත්වයක්. ඇතැම් අපේක්ෂකයන් ක්‍රියා කරන ආකාරය දකින විට ඔවුන්ට මැතිවරණ නීති ගැන කිසිඳු අවබෝධයක් නෑ කියලා හිතෙනවා . එහෙමත් නැත්නම් නීති දන්නවා වුණත් ඔවුන් ඒ නීතිවලට අනුගත වෙන්නෙ නෑ. ඒ නීති හරි විදිහට ක්‍රියාත්මක කරන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නෑ. කෙසේ වෙතත් එවැනි අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමේදී ජනතාව බුද්ධිමත් විය යුතු යි. ප්‍රතිපත්තිමය දේශපාලනයක්, නීතිය රකින දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් මැතිවරණ සංස්කෘතියේ විශාල පෙරළියක් ඇති කරන්න ඕනෙ. ඒ සඳහා ආරම්භයක් දෙන්න අපිට මේ මැතිවරණය යොදාගන්න පුළුවන්.

සටහන කාංචනා

*********************

පෞද්ගලික වාසිය ගැන හිතන්න එපා

 වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර

මෙවර ජනාධිපතිවරණයට ඉතිහාසයේ පෙර නොවුණු තරමට විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මැතිවරණ කොමිසම පෙන්වා දෙන ආකාරයට මේ සියලු නියෝජිතයන් වෙනුවෙන් සෑම ඡන්ද මධ්‍යස්ථානයක ම මැතිවරණ කටයුතු සඳහා 175ක පමණ පිරිසක් අවශ්‍ය වනවා. මේ මැතිවරණ කටයුතු වෙනුවෙන් රටපුරා ම එවිට අතිවිශාල ප්‍රමාණයක් දායක වෙනවා. එය විශාල ගැටලුවක් වන්නේ ඒ අතිවිශාල පිරිස හරහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදු විය හැකි නිසයි .

අපේක්ෂකයන් ප්‍රමාණය සහ ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් පිළිබද අවධානය යොමු කරන විට ජනතා පරමාධිපත්‍ය සෙල්ලමකට ගත්ත පිරිසකුත් සිටින බව පැහැදිලි වෙනවා . ඇත්තෙන් ම 5%ක් වත් ඡන්ද ලබාගත නොහැකි වන අපේක්ෂකයන්ට කෝටි 5ක පමණ දඩයක් නියම කරන්නේ නම් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ප්‍රමාණය බොහෝදුරට අවම කරගත හැකි යි. එමඟින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පවා අවම කරගැනීමට ඉඩ ලැබෙනවා. මේ ජනාධිපතිවරණයක්. මුළු රට ම එක ම ඡන්ද කොට්ඨාසයක් බවට පත්වෙන මැතිවරණයක්. මේ මැතිවරණයේදී ප්‍රාදේශීය මැතිවරණවලදි වගේ කටයුතු කරලා බලහත්කාරයෙන් ඡන්දය ලබාගැනීමක් කරන්න බෑ. අන් අයගේ මතවලට ගරු කරන්න ඕන. රටේ ඊළඟ ජනාධිපති කවුද ? කියලා තීරණය කරන්න ජනතාවට ඉඩ දෙන්න ඕන.

නීති විරෝධී කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම මේ වෙද්දිත් අපිට දකින්න ලැබෙනවා . අපේක්ෂකයන් 35 දෙනෙක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ හැමෝම පෝස්ටර් කටවුට් ගහන්න ගියාම පරිසරය කොයිතරම් අපිරිසිඳු වෙනවද? කටවුට් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමේදීත් නීතියක් තියෙනවා. ඒ නීති හරියාකාරව අනුගමනය කළ යුතු යි. නමුත් අපි දකිනවා පාරෙ‌තොටේ තාප්ප දිගේ හැම හැම තැන ම පෝස්ටර් අලවලා. මේ සම්බන්ධයෙන් අපේක්ෂකයන්ට යම්කිසි දඩ මුදලක් නියම කළ යුතු යි. යම් අපේක්ෂකයකුගේ පෝස්ටර් නීති විරෝධී විදිහට ප්‍රදර්ශනය කර තිබෙනවා නම් එහි වගකීම එම අපේක්ෂකයා දැරිය යුතු වන ආකාරයෙන් නිති සම්පාදනය විය යුතු යි. රැස්වීම්වලින්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින් තමන්ගේ ප්‍රතිරූපය ජනතාව අතරට අරන් යන්න අපේක්ෂකයන්ට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් පෝස්ටර් හැම හැම තැනම අලවලා රට විනාස කරන්න ඹ්නෙ නෑ.

තමන්ගේ ප්‍රතිරූපය ජනතාව අතරට ගෙන යෑමේදී ප්‍රචණ්ඩත්වය, ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු නොවන ආකාරයෙන් කටයුතු කරන්න අපේක්ෂකයාට වගකීමක් තියෙනවා. තමන්ගෙ ප්‍රතිරූපයට හානි වන සහ මැතිවරණ නීතිවලට පටහැනි වන යමක් මැතිවරණ ව්‍යාපාරය තුළ සිදු වනවා නම් එවැනි දේ මැඩපැවැත්වීමට සෑම අපේක්ෂකයෙකු ම සක්‍රීය කමිටුවක් පවත්වාගෙන යා යුතු යි. ඒ වගේ ම මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන්ගේ ක්‍රියා කළාපය පිළිබඳ සම්පූර්ණ වගකීමක් ගැනීමට ප්‍රාදේශීය දේශපාලනඥයන්ව දැනුවත් කළ යුතු යි . බොහෝ විට මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රාදේශීය දේශපාලකයන් අකටයුතුකම් සිදු කරන්නේ ප්‍රධාන අපේක්ෂයාගේ අනුදැනුමකින් තොරව වෙන්නත් පුළුවන්. සාමකාමී ව කටයුතු කරමින්, තමන්ගේ අපේක්ෂකයා දිනවිය යුත්තේ ඇයි කියන කාරණාව ජනතාවට ඒත්තු ගන්වන්නට ප්‍රාදේශීය දේශපාලකයන්ට වගකීමක් තියනවා.

මහජනතාව ඉන්නේ මේ මැතිවරණ සියල්ල ම පටලවාගෙන මේක ජනාධිපතිවරණයක් බව ඔවුන් මුලින් ම තේරුම් ගත යුතු යි. තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර අනුව බෙදිලා, ගැටුම් ඇති කිරීම් ප්‍රයෝජනයක් නෑ. අපේ මතය කුමක් වුණත්, ප්‍රචණ්ඩ ක්‍රියා තුළින් රටේ බහුතර මතය වෙනස් කරන්න අපට පුළුවන්කමක් නෑ. ඒ වගේ ම මහජනයා දැනගත යුතු යි ජනාධිපතිවරණයක් තුළ අනෙක් මැතිවරණවලදි වගේ තමන්ගෙ අපේක්ෂකයා දිනවලා, පෞද්ගලික ලාභප්‍රයෝජන ගන්න පුළුවන්කමක් නැති බව. 19 වෙනි සංශෝධනයත් සමඟ ජනාධිපතිවරයාගේ බලතලත් ඉතා ම සීමිත වෙලා. මැතිවරණ නීතිත් උල්ලංඝනය කරගෙන, මැතිවරණ ව්‍යාපාරය තුළ කටයුතු කරන්නේ කුමක් අරඹයා ද යන කාරණාව මහජනතාව මුලින් ම තේරුම් ගත යුතු යි. මහජනතාවගේ වගකීම වෙන්නෙ මේ ජනාධිපතිවරණයේදී බුද්ධිය මෙහෙයවා, රටට සුදුසු ම නායකයෙක් තෝරගැනීම වෙනුවෙන් දායක වීම මිස පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම නොවෙයි.

සටහන කාංචනා සිරිවර්ධන

*********************

පාක්ෂිකයන් නොවී පුරවැසියන් වෙන්න

 මංජුල ගජනායක, ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට මගේ අත්දැකීම තමයි මෑත කාලීනව 2015 පෙර ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමට බලපෑ මූලිකම සාධකය, පෝස්ටර් සහ කටවුට් බැනර් ආදිය ප්‍රකාශයට පත්කිරීමේදී ඇතිවන කලබලකාරී තත්ත්වයන්.

මැතිවරණයට නාමයෝජනා බාර දීමෙන් අනතුරුව පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ප්‍රකාශයට පත්කළ හැක්කේ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ නම සඳහන් කරමින් පක්ෂ කාර්යාලවල පමණයි. එසේම අපේක්ෂකයා හෝ ඔහුගේ හිතෛෂින් එක්ව ප්‍රධාන රැස්වීම් පවත්වන්නේනම්, එහිදී පොලිසියෙන් අවසරගෙන අදාළ අපේක්ෂකයා වෙනුවෙන් අසවල් ස්ථානයේ, අසවල් දින, අසවල් වෙලාවට රැස්වීමක් පැවැත්වෙන බව සඳහන් කරමින් ඊට අදාළ ප්‍රදේශය තුළ පෝස්ටර් ප්‍රදර්ශනය කළ හැකියි. එහිදී පැමිණෙන පුද්ගලයන් ගැන සඳහන් කළ හැකි වුවත්, නීතියට අනුව අඩුම තරමේ ඡයාරූපයක් හෝ ප්‍රදර්ශනය කළ නොහැකියි .

මැතිවරණ නීති බොහෝ සෙයින් උල්ලංඝනය වන ස්ථානයක් ලෙස අද වන විට පක්ෂ කාර්යාල පත්වෙලා තිබෙනවා. පක්ෂ කාර්යාලයක අදාළ අපේක්ෂකයාගේ රුව සහිත බැනරයක් ප්‍රදර්ශනය කළ හැකි සේම ප්‍රදර්ශනය කළ හැකි කොඩි කණු ගණන හයක් පමණක් බවයි නීතියෙන් සඳහන් වන්නෙ. ඊට අමතර වෙනත් කිසිදු සැරැසිල්ලක් කළ නොහැකියි.

මැතිවරණ නීති කඩවීම් මෙරට තුළ සිදුවන්නෙ මේ තියෙන නීතිමය තත්ත්වයන්ට එහා ගොස් අපේක්ෂකයන් ලක්ෂ, කෝටි ගණනින් මුදල් වියදම් කරමින් කරන ප්‍රචාරණය නිසායි . අපේ රටේ මැතිවරණ වියදම් පාලනයට නීතියක් මෙතෙක් නැහැ. මං හිතන්නෙ මේ වන විට නීතියක් සම්පාදනය වෙමින් තිබෙනවා. ඇත්තටම 2015 සිට මෙරට මැතිවරණ සමයන්හි ප්‍රචණ්ඩත්වයට අදාළ සිදුවී‍ම් ක්‍රමයෙන් අඩුවීමක් තිබෙනවා. එය ඉතාම හොඳ ප්‍රවණතාවක් ලෙසයි අපි දකින්නෙ. එහෙත් අන්තර්ජාලය හරහා කරන වෛරී ප්‍රකාශ මෙන්ම සාවද්‍ය තොරතුරු ජනගත කිරීම්හි අඩුවක්නම් දකින්නට නැහැ.

මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ ප්‍රධාන ආයතන දෙක වන ෆැපරල් සහ අපගේ ආයතනය විශේෂයෙන්ම මුහුණුපොත උපයෝගී කරගෙන සිදුකරන වෛරී කථන සහ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට අදාළව පුළුල් නිරීක්ෂණයක් මේ වන විට සිදුකරමින් පවතිනවා.

ඒ අතරේ මැතිවරණ නීති උල්ලංඝනය කරන තවත් සිදුවීම් යම් යම් ප්‍රවණතා හරහා සිදු වෙනවා. එහිදී සිදුවන්නෙ අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ උපක්‍රමශීලිව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්. උදාහරණයක් කීවොත්, ඡන්දදායකයන්ට වන්දනා චාරිකා සංවිධානය .එය අපේක්ෂකයන්ට මැතිවරණ වාසියක්. මැතිවරණ බලධාරින්ට මෙය තහනම් කළ නොහැකි තත්ත්වයක්. ඒ වගේම ජාත්‍යන්තර දිනත් මේ අය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගන්නවා. එය හොඳ තත්ත්වයක් නොවන බවයි අපි කියන්නෙ.

මැතිවරණ නීති ආරක්ෂා කිරීමේදී මූලිකම වගකීම පැවරෙන්නෙ මැතිවරණ කොමිෂන් සභාවට සහ පොලිසියට වුවත්, අපේ විශ්වාසය මෙරට කිසිදු ක්ෂේත්‍රයක කිසිදු ගැටලුවක් නීතියෙන් පමණක් විසඳන්න බැහැ. නීතිය බලාත්මක කිරීම තුළින් පමණක් සදාචාරවත් සමාජයක් ගොඩනැ‍ඟෙන්නෙ නැහැ. එම නිසා මේ මොහොතේ වෙනත් කිසිදු පාර්ශ්වයකට, දේශපාලන පක්ෂ නායකයන්ට, අපේක්ෂකයන්ට තරම් වගකීමක් නැහැ.

මැතිවරණ නීති කඩනොකරමින් මේ කාර්යය කරන්නෙ කොහොමද... එකක් තමයි, මැතිවරණ කොමිෂන් සභාව මඟින් මාධ්‍යයට වගේම අපේක්ෂකයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා . ඒ ආචාර ධර්ම නිසි ලෙස අවබෝධ කරගනිමින් ක්‍රියාවට නැඟීමයි වැදගත් වන්නෙ.

මාර්තු 12 ව්‍යාපාරය ලෙසින් අපි පසුගියදා සියලු අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන්වූවා. එවැනි ‍දේශපාලනයට හිතකර සංවාද පක්ෂ නායකයන් විසින් සිදුකිරීම තුළින් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට නොයා අපත් විරුද්ධ පාක්ෂිකයන් සමඟ එක්ව සංවාද කිරීමයි කළ යුත්තෙ කියා පාක්ෂිකයන්ටද හැඟීමක් ඇතිවෙනවා . එම නිසා මට කියන්න තියෙන්නෙ අන්න එලෙස සියලු දෙනා හැසිරෙන්න. මොකද මේ මොහොතේ රට ගිනි පුළිඟුවක් වන් ඉතාම අවිනිශ්චිත තත්ත්වයකයි තිබෙන්නෙ.

මැතිවරණ නීති කඩකිරීම පමණක් නොව ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවාලීමත් මේ මොහොතේ සිදුවෙමින් පවතිනවා. එම නිසා එවැනි කිසිදු ප්‍රකාශයක් නොකර අපේක්ෂකයන් වගේම ඡන්දදායකයන්ද අන්‍යෝන්‍ය වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමයි මේ කාලසීමාව තුළ සිදුකළ යුත්තෙ.

මෙහිදී ඡන්දදායකයන්ටත් යම් වගකීමක් තියෙනවා, බොහෝ දෙනෙක් අහන කාරණයක් තමයි සංවර්ධිත රටක පවත්වන මැතිවරණයක් සේ මෙරට මැතිවරණ පවත්වන්න බැරි ඇයි කියායි. එයට මට කියන්න තියෙන්නෙ සංවර්ධිත රටවල සිටින්නෙ පුරවැසියන්. ඔවුන් සමාජය ප්‍රශ්න කරනවා. ඔවුන් පුරවැසියන් ලෙසින් අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂවලට එරෙහිව කටයුතු කරනවා. ස්විට්සර්ලන්තයේ ලක්ෂ පහක පෙත්සමක් ඉදිරිපත් කළොත් හැකියාව තියෙනවා ව්‍යවස්ථාපිත කරුණක් යම් ආකාරයකට වෙනස් කිරීමට හැකියාව තියනවා .

එහෙත් ලංකාවේ ඉන්නෙ එවැනි පුරවැසියන් නොවෙයි ඡන්දදායකයන් නැතිනම් පාක්ෂිකයන්. පාක්ෂිකයන් කියන්නෙ කවුද? දේශපාලනඥයන් සීරුවෙන් කියනා විට සීරුවෙනුත්, පහසුවෙන් කියනා විට පහසුවෙනුත් සිටින පිරිසක්. අපිට එවැනි ජනතාවක් , පාක්ෂිකයන් වැඩක් නෑ. මේ රටට අවශ්‍ය පුරවැසියන්. එම නිසා පුරවැසියන් ලෙස අපට කළ හැක්කෙ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැඟීමට සමත්, ප්‍රතිපත්ති ගැන කතා කරන, අනාගතය ගැන හිතන, තුන්කල් දැක්මක් ඇති නායකයන් තෝරා ගැනීමයි. එම නිසා ම අවසන් ලෙස පවසන්නෙ පාක්ෂිකයන් ලෙස නොසිතා පුරවැසියන් ලෙස සිතා වගකීම් සහගතව කටයුතු කරන්නයි කියායි.

 

සටහන
අමිල මලවිසූරිය 

නව අදහස දක්වන්න