හොඳට - නරකට ‍දෙකට කට ම ය! | දිනමිණ

හොඳට - නරකට ‍දෙකට කට ම ය!

දේශපාලන වශයෙන් සංවේදී අවස්ථාවක් උදා වී ඇති බැවින් දේශපාලකයන් සේ ම ආගමික නායකයන් ද වගවීමක් ඇතිව හැසිරීමටත්, අදහස් ප්‍රකාශ කිරීමටත් වගබලා ගත යුතුව තිබේ. අප දේශපාලකයන්ට ඉගැන්වීමට යන්නේ නැත. ආගමික නායකයන්ට ඉගැන්වීමට යන්නේ ද නැත. එහෙත් පෙනෙන ඇත්ත පෙන්වා දීමේ අයිතියක් අපට තිබේ. සාමාන්‍ය පුරවැසියන්ට ද එය තිබේ. එබැවින් ඒ ගැන කිසිවකු කෝපවීම සුදුසු නැත. රටේ තැන - තැන යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ බියක් පැතිර යයි. මේ බිය පැතිර යෑමට හේතුව ඇතැම් සුවිශේෂී පුද්ගලයන්ගේ ප්‍රකාශ හා තීන්දු - තීරණ යැයි සිතන්නට කරුණු තිබේ. මීගමුව පළාතේ කතෝලික දේවස්ථාන කිහිපයක ආගමික උත්සව නවත්වා ඇත. හේතුව ඉහත කී බිය පැතිර යෑම ය.

පාස්කු ප්‍රහාරයෙන් පසු අපේ සමාජය තුළ නිරන්තර බියක් පවතින බව සත්‍යයෙකි. ගිනිපෙණෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරියාටත් බිය වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් එම තත්ත්වයෙන් අනිසි ලාභ - ප්‍රයෝජන හෝ දේශපාලන වාසි ලබා ගැනීමට හෝ කෙනකු පෙලඹෙන්නේ නම්; එය බලවත් වරදකි. පාස්කු ප්‍රහාරයෙන් පසු ‍අපේ සංචාරක කර්මාන්තය 70% කින් පමණ බිඳවැටුණු අතර දැන් එය බොහෝ සෙයින් ම යථා තත්ත්වයට පත් වී ඇත. ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. එය සුන්දරයි යනුවෙන් විදේශිකයෝ ම අද කියා සිටිති. විදේශීය සංචාරකයන්ට නැති බියක් ශ්‍රී ලංකාවේ පුරවැසියන් තුළ ඇති විය යුතු නො වේ.

මේ සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදෙන විට සිද්ධි දෙකක් අපගේ විමැසුමට ලක්වෙයි. එක සිද්ධියකින් කියැවෙන්නේ කතෝලික දේවස්ථානයක් අසල රැඳී සිටි නාඳුනන පුද්ගලයකු ගැන ය. එම පුද්ගලයා පිළිබඳ රාවය කටින් - කට ගොස් රට ම කළඹන ප්‍රවෘත්තියක් නිර්මාණය වී ඇත. අනෙක් සිද්ධියෙන් කියැවෙන්නේ රැකියාවක් සොයාගෙන පාසලක් වෙත පැමිණි නාඳුනන පුද්ගලයකු ගැන ය. ඔහු පිළිබඳ සොයා බැලීමට බලධාරීන් පැමිණෙන විට පුද්ගලයා අතුරුදහන් වී සිටි බව කියැවේ. මෙබඳු සිදුවීම් ඕනෑතරම් වාර්තා වන්නට පුළුවන. නාඳුනන පුද්ගලයකු සිටි පමණින් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්නේ නැත. ඔවුන් ඔත්තුකාරයන් ලෙස නිශ්චය කිරීමේ හැකියාවක් ද නැත.

පාසල්වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු දේවස්ථානවලට පූජනීය ස්ථානවලට ක්‍රියාවට නැංවූ ආරක්ෂාව තව ම ඉවත් කර නැත. ආගමික ස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව ද ලබා දී ඇත. මේ හැරෙන්නට සංවේදී කලාපවල, ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල නිරන්තර ‍ජංගම පොලිස් සේවාවක් ක්‍රියාත්මක වෙයි. ආරක්ෂක අංශවල කටයුතු අකුරට ම සිදුවන අතර බුද්ධි අංශ නිරන්තර අවධානයකින් පසුවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පසු වෙනත් ප්‍රහාරයක් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැත. එබඳු පසුබිමක් තුළ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ බියක් ඇතිකිරීම අතිශය හානිකර තත්ත්වයකි. ඇතැම් විට මෙබඳු ප්‍රචාර දියත්කොට දේශපාලන වාසි ලබාගන්නට හෝ දේශපාලන වාසි ලබා දෙන්නට හෝ කෙනකු උත්සාහ දරන්නට පුළුවන. එබඳු ප්‍රයත්න මුළුමනින් ම පරාජය කළ යුතු ව තිබේ.

කිසියම් හේතුවක් මත තම ආගම ඇදහීමට අවහිරයක් ඇතිවන්නේ නම්; එම ලබ්ධිකයා තුළ විශාල කලකිරීමක් හා පසුබෑමක් ඇතිවෙයි. එම කලකිරීම හා පසුබෑම පෙරළා රජයට එරෙහි ව ගොඩනැ‍ඟෙන බලවේගයක් බවට පත්වන්නට ද පුළුවන. මේ වන විට ද, ජාතිවාදය, ආගම්වාදය පමණක් නො ව; අන්තවාදය ද දේශපාලන කරළියේ ඉතා තියුණු අවි - ආයුධ බවට පත් ව තිබේ. කෙනෙක් ජාතිවාදය පතුරුවා සිය දේශපාලනය තර කර ගනිති. තව කෙනෙක් ආගම්වාදය පතුරුවා තම දේශපාලනය තර කර ගනිති. තවත් කෙනෙක් අන්තවාදය පතුරුවා තම ගොඩ ලොකු කර ගනිති. දේශපාලනය ජනතාව මුළාවට පත් කරන මායාකාරී සෙල්ලමක් බවට පත් වී ඇත. රටේ ආගමික නායකයන් ඒවාට හවුල්වීම සුදුසු නැත. ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලකයන් ද ජාති - ආගම් හා අන්තවාද අනුමත කරන්නේ නැත.

දේවස්ථානයකට හෝ පාසලකට හෝ වෙනත් ස්ථානයකට හෝ ප්‍රහාරයක් එල්ලවීමේ කිසිඳු ඉඩක් නැති බව ආරක්ෂක අංශ නැවතත් තහවුරු කර තිබේ. එබඳු ප්‍රහාරයක් එල්ල වීමට නියමිත නම්; ඊට අවශ්‍ය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ සූදානම් ය. පාස්කු ප්‍රහාරයෙන් පසු සිද්ධියට අදාළ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ සමත් විය. ඉන්පසු ඔවුන්ගේ සම්බන්ධතා ජාලයට ඇතුළත් පිරිස ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. පරීක්ෂණ, මෙහෙයුම් හා බුද්ධි තොරතුරු එක්රැස් කිරීම අඛණ්ඩව සිදු කරයි. මරාගෙන - මැරෙන ත්‍රස්ත පුහුණුව ලැබූ කිහිප දෙනකු මෑතක දී ද අත්අඩංගුවට ගැනිණි. මෙහෙයුම් නැවතී තිබුණේ නම් එබඳු අය අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ නැත. කඩිනමින් ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ, බුද්ධි අංශ වෙත සිය කෘතඥතාව පළ කිරීම වෙනුවට ඔවුන් පසුබෑමකට ලක් කිරීම උචිත නොවේ.

අප මුලින් සඳහන් කළ ආකාරයට දේශපාලකයන්, ආගමික නායකයන්, සමාජ ක්‍රියාධරයන් පමණක් නො ව; සාමාන්‍ය ජනතාව පවා සිහි නුවණින් කටයුතු කළ යුතු කාලයක් පැමිණ තිබේ. එය නැවත - නැවතත් අවධාරණය කළ යුතු ය. ජනතාව නොසන්සුන් වීමට බලා සිටින්නේ නම්; එය ද හොඳ තත්ත්වයක් නො වේ. බියෙන් - සැකයෙන් තොර ව නිදහස් ලෙස ජීවත්වීමේ අවකාශයක් රට තුළ පවතී. එය අවුල් කරගත යුතු නැත. රටේ පුරවැසියන් කුලප්පු වන තරමට අන්තවාදීන්ට වැඩි වාසි සැලසෙයි. එය භයානක ය. මැතිවරණ කාලයක දී බිය හා සැක ඇතිකරවන සිද්ධීන් නොයෙක් ආකාරයෙන් වාර්තා වන්නට පුළුවන. ඒවා සිහි නුවණින් විභාගකොට විමසා බැලීම සිදුවිය යුත්තකි. ජනමාධ්‍ය පවා මේ සිදුවීම් වාර්තා කළ යුත්තේ ඉන් ඇතිවිය හැකි ප්‍රතිඵලය ද සැලැකිල්ලට ගනිමින් ය.

සිද්ධස්ථාන වසා දමා ආගමික වත්පිළිවෙත් නැවැත්වීමට තරම් කිසිඳු හේතු - සාධකයක් පෙනෙන්නට නැත. පාසල් වසා දමා අධ්‍යාපනය නැවැත්වී‍මට හේතු - සාධක ද කොතැනකින් හෝ පහළ වී නැත. බිය - සැක තුරන්කොට දෛනික කටයුතුවල යෙදීම කාගේත් වගවීම වෙයි. මේ අතර විශේෂයෙන් තම - තමන්ගේ සන්නිවේදන කටයුතු ද වගවීමකින් යුතුව සිදුකරන්නට කව්රු - කව්රුත් වගබලා ගැනීම රටට යහපත් ය. එසේම ආරක්ෂක අංශ සිය වගකීම වඩාත් තීව්‍ර කිරීම සැක බිය සංකා අවම කිරීමට තවත් හේතු සාධකයක් වනු ඇත.

 

නව අදහස දක්වන්න