පාකිස්තාන ජයග්‍රහණයෙන් අනාගත තරු රැසක් සොයාගත්තා | දිනමිණ

පාකිස්තාන ජයග්‍රහණයෙන් අනාගත තරු රැසක් සොයාගත්තා

ෆවුස් මොහොමඩ්

බාධක ගණනාවක් මැද පාකිස්තාන සංචාරයට එක්ව විස්සයි20 තරගාවලියෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ක්‍රිකට් ලේකම්වරයා මේ බව කියා සිටියේය.

‘ශ්‍රී ලංකා කණ්ඩායම මේ සංචාරයට එක්වූයේ බාධක ගණනාවක් මැදයි. සංචාරයට පෙර මුලින්ම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සොයා බලන්න අපට සිද්ධවුණා. ඊළඟට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10ක් සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කළා. නමුත් නිර්භීත තරුණ ක්‍රීඩකයන් ඉදිරිපත් වුණා. අපිට හරි සතුටුයි. මින් බොහෝ අය ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමිනුයි හිටියේ. දස්කම් පෙන්වීමට අවස්ථාවක් සොයමිනුයි සිටියේ. මේ සංචාරයෙන් අපට අනාගත තරු රැසක් සොයාගත හැකිවුණා.‘ ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාව ලබාදුන් පාකිස්තාන රජයට විශේෂ ස්තූතිය පුද කළ ක්‍රිකට් ලේකම්වරයා මේ සංචාරයට කණ්ඩායම දිරිගන්වමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලබා දුන් සහයෝගයත්, සංචාරය සාර්ථක කරගැනීමට සියළු ආකාරයෙන් සහය දැක්වූ ශ්‍රී ලංකා රජයටත් විශේෂ ස්තූතිය පුද කරන බව ඔහු පැවැසීය.

පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරගාවලිය ජයගැනීම නිසා ඩොලර් පනස්දහසක මුදලක් කණ්ඩායමට පිරිනැමීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ බවත්, තුන්වැනි විස්සයි20 තරගයේ ජයග්‍රහණයත් සමග තවත් අතිරේක ඩොලර් පනස්දහසක මුදලක් ඊට එකතු කිරීමට අනුමත කළ බවත් ක්‍රිකට් ලේකම්වරයා කියා සිටියේය. මීට අමතරව තරග ජයග්‍රහණයක් වෙනුවෙන් පිරිනැමෙන ඩොලර් 15,000ක මුදල විස්සයි20 තරග 3ම ජයගැනීම නිසා තුන්ගුණයකින් වැඩිවූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 1,45,000 මුදලක් පිරිනැමෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 26කි.

පාකිස්තාන සංචාරයේදී යොවුන් ක්‍රීඩකයන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට කණ්ඩායම තෝරාගැනීම විශාල හිසරදයක් බවට පත්වී ඇතැයි මෙහිදී අදහස් දැක්වූ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළේය.

‘මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ඕෂද ප්‍රනාන්දු ඔවුන්ගේ මංගල තරගවලටයි ක්‍රීඩා කළේ. ලැබුණු පළමු අවස්ථාවේදීම ඔවුන් දස්කම් දක්වමින් ලොව නොම්මර එකේ විස්සයි20 කණ්ඩායම පරාජයට පත් කළා. මෙවැනි ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙනවා. මා මීට පෙර කීවා මෙන් පාකිස්තාන සංචාරයෙන් ඉවත්වූ ක්‍රීඩකයන්ගෙන් බොහෝ අයට දැන් අවස්ථාව නැතිවේවි. තමන්ගේ හැකියාවේ තරම මේ නවක ක්‍රීඩකයන් අපට පෙන්වුවා. තුන්වැනි විස්සයි20 තරගයේදි අපි වෙනස්කම් 5ක් කරලත් ඒ තරගයත් ජයගත්තා.‘ අසන්ත ද මෙල් මහතා කීවේය.

විස්සයි20 තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් පෑ යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිළිබඳ ප්‍රශංසාවෙන් යුතුව කතා කළ අසන්ත ද මෙල් මහතා කියා සිටියේ මෑත කාලයේ දී වඩාත්ම දියුණුවූ ක්‍රීඩකයා ඔහු බවය.

‘වනිඳු හසරංග තමයි මම දැකපු මෑත කාලයේ වඩාත්ම දියුණුවක් පෙන්වූ ක්‍රීඩකයා. ඔහු පන්දුවෙන්, පිත්තෙන් වගේම පන්දු රැකීමෙනුත් විශිෂ්ට දස්කම් දක්වමින් අපට පුදුමයට පත් කළා.‘ ඔහු පැවැසීය.

පාකිස්තාන සංචාරයට එක්වූයේ දෙවැනි පෙළ කණ්ඩායමක් බව තමා කිසිවිටෙක නොසිතූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මෙහිදී කියා සිටියේය.

‘ඔවුන් අපේ සංචිතයේ සිටින තවත් දස්කම් ඇති ක්‍රීඩකයන් පිරිසක්. ඒ හැමෝම ඔවුන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත්තා. ඉන් සමහර අය ක්‍රීඩා කරන හැටි අපි මීට කළින් හරිහැටි දැක තිබුණෙත් නෑ. ඔවුන්ගේ දස්කම් අපව පුදුමයට පත් කළා. පාකිස්තාන සංචාරයේ අභියෝගය ඔවුන් බාරගත්තා පමණක් නෙවෙයි එය අති සාර්ථක කරගත්තා.‘ රුමේෂ් රත්නායක මහතා පැවැසීය.

විස්සයි20 තරගාවලිය එතරම් විශාල අභියෝගයක් නොවූ බව මාධ්‍ය හමුවට එක්වූ විස්සයි20 ක්‍රිකට් නායක දසුන් ශානක කියා සිටියේය.

‘මම කාලයක් මේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කර තිබෙනවා. ඔවුන්ගේ දස්කම් මම හොඳින් හඳුනනවා. එයාලාව භාවිත කළ යුතු අවස්ථා මොනවාදැයි මට අවබෝධයක් තිබුණා. මට කිසිම පීඩනයක් තිබුණේ නෑ. තුන්වැනි විස්සයි20 තරගයේදී අඩු ලකුණු ගණනකට අප දැවී ගියත් තරගය ජයගත හැකි බවට මට විශ්වාසයක් තිබුණා. ඒ තරගාවලිය ගැන ආපහු සිතා බලද්දී අපි කොයිතරම් ලෙහෙසියෙන් තරගාවලිය ජයගත්තාදැයි මට සිතෙනවා.‘ දසුන් ශානක කීවේය.

පාකිස්තාන සංචාරයේදී දැඩි ආරක්ෂක රැකවල් හේතුවෙන් නවාතැන් ගත් හෝටල පරිශ්‍රයෙන් පිටතට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොලැබීම එක අතකින් කණ්ඩායමේ සාර්ථකත්වයට බලපෑ බව මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කළේය.

‘එවැනි තත්ත්වයක් තිබීම කණ්ඩායමේ සාර්ථකත්වයට බලපෑවා. සාප්පු සවාරියේ යාමට හෝ අවන්හල් කරා යාමට අවස්ථාව නොලැබුණු නිසා ඔවුන් නිතරම කණ්ඩායමක් ලෙස එකට සිටියා. එය කණ්ඩායමේ මානසිකත්වය ඉහළ දැමීමට ඉවහල් වුණා.‘ ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියේය.

පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කළ ළහිරු තිරිමාන්න සමඟ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ මේ සංචාරයේදී සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කළ ජෙරොම් ජයරත්න මහත්වරු ද මාධ්‍ය හමුවට එක්වූහ.

නව අදහස දක්වන්න