ලක්ෂ 65ක ජනවරමකින් ගෝඨාභය ජනපති වෙනවා නියතයි | දිනමිණ

ලක්ෂ 65ක ජනවරමකින් ගෝඨාභය ජනපති වෙනවා නියතයි

ස්වර්ණා විජේකෝන්

දෙපාර්ශ්වය එකතුවූයේ එජාප වි‍රෝධි ආණ්ඩුවක් තැනීමටයි 
- පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ

* ශ්‍රීලනිප- පොහොට්ටු සුසංයෝගය ර‍ට ඉල්ලා සිටි සන්ධානයක් 
* දොගොල්ලොම මහ ඡන්දයට පුටුව ලකුණින් එනවා 
* සියල්ලටම වඩා රට ජාතිය වටිනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණේ සුසංයෝගය අනුව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ හැටපහක ඡන්ද ප්‍රමාණයක් ලබමින් නියත වශයෙන් ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ මෙලෙස සන්ධාන ගතවීමට තීරණය කළේ ජාතික බලවේග විසින් ඉල්ලා සිටි ජනපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට බවත් මෙම සන්ධාන ගතවීම රට ඉල්ලා‍ සිටි සන්ධානගතවීමක් බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම සන්ධාන ගතවීම හේතුවෙන් දෙපාර්ශ්වයේම කිසිඳු පාක්ෂිකයකු හට අසාධාරණයක් සිදු නොවන බවත් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඊයේ (10) කොළඹ පදනම් ආයතනයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය. ඔක්තෝම්බර් 10 වැනිදා වන අද දිනය සුවිශේෂි දිනයක්. රට තුළ ජනතාව බලා සිටින දැවැන්ත වෙනසක් සිදුකිරීම සඳහා ගිවිසුම් ගත වන දිනයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ , දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරමින් රටතුළ දැවැන්ත වෙනසක් නිර්මාණය කළා. එය විප්ලවීය වෙනසක්. බමුණු කුලය බිඳ දමමින් සාමාන්‍ය මිනිසුන්ට ඉහළට එන්නට පුළුවන් වන ආකාරයට පරිසරය නිර්මාණය කළේ බණ්ඩාරනායක මැතිතුමායි. ඒ වගේම එතුමාගේ ඝාතනයත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම භාරගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි.

ශ්‍රීලනිපය ආරක්ෂා කරගනිමින් පක්ෂය සුරක්ෂික කරගෙන පක්ෂය ඉදිරිය කරා ගෙන ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් ශ්‍රී ලංකා නිදහස් වෙනුවෙන් බොහෝ මෙහෙවරක් සිදුකළා. ඉන්පසුව පක්ෂයේ වගකීම භාරගත් හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාත් ශ්‍රීලනිපය සුරක්ෂිත කරමින් දශක ගණනාවක් පක්ෂය ආරක්ෂා කළා. ඉන්පසුව ශ්‍රීලනිපයේ වගකීම භාරගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් පක්ෂය සුරක්ෂිත කරමින් පක්ෂයේ මෙන්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ දේවල් කළා. විශේෂයෙන්ම හොරකම්, මත්ද්‍රව්‍ය වැටලීම් ආදිය වෙනුවෙන් එතුමා සිදුකළ සේවය අති විශාලයි.

පසුගිය කාලය තුළ ඇතිවූ විවිධ සිදුවීම් නිසා ශ්‍රීලනිපයේ එකට සිටි අපි වෙන්වුණා. නමුත් අපි හැමෝම 2005 දී ආණ්ඩු හදනකොට එකට හිටපු අයයි මෙතන ඉන්නේ. ඒ වගේම අවුරුදු 17 ක් පුරා එක්සත් ජාතික පාලනයකින් පසුව 1994 දී පොදු පෙරමුණු ආණ්ඩුවක් හදන වෙලාවේ අපිත් එක්ක එකට හිටපු සෙසු පක්ෂත් මේ අවස්ථාව නියෝජනය කරනවා.

ඔවුන් මැතිවරණ තුළ ජයග්‍රහණයන් අත්පත් කරගත්තා. ශ්‍රීලනිපයේ අපි තුන්වන බලවේගය බවට පත්වුණා. ශ්‍රීලනිපයේම පිරිසක් වෙන්වී වෙනත් පක්ෂයක් පිහිටුවීමත් සමග ජාතික බලවේග විශාල පිරිසක් ඔවුන් වටා එකතු වුණා. ඒ වගේම ශ්‍රීලනිපය කිසිම අවස්ථාවක අපගේ මතවාදයන් වෙනස් කළේ නැහැ. ශ්‍රීලනිපය ලෙස අපි සෑම මොහොතකම අධිරාජ්‍ය විරෝධි බලවේගයන්ට විරුද්ධව හඩ නැගීම නතර කළේ නැහැ. ඒනිසා ශ්‍රීලනිපයේ අපට හා පොදු ජනපෙරමුණේ අයට එකතු වීමේ කිසිඳු ගැටලුවක් නැහැ.

ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පක්ෂයේ මහලේකම්වරයා ලෙස මම හා අනෙකුත් අයට විශාල කැප කිරීමක් කරන්නට සිදුවුණා. පක්ෂයේ උන්නතිය, අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් අසීරු තීන්දු තීරණ ගන්නට මට සිදුවුණා. ඒ වගේම පක්ෂයේ මහ‍ලේකම්වරයා ලෙස විවිධ ප්‍රකාශ සිදුකරන්නටත් මට සිදුවුණා. මහලේකම්වරයා ලෙස මම ඒ සියල්ල කළේ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන්. දයාසිරි ජයසේකරගේ දේශපාලන ඉතිහාසය නොදන්නා අය මට චෝදනා කළා. දයාසිරි ජයසේකර ශ්‍රීලනිපය - යූඑන්පීයට ගාල් කරන්න හදනවා කියලා. නමුත් අපට ශ්‍රීලනිපය එජාපයට ගාල් කරන්න ඕන නැහැ. අපි කළේ පක්ෂය ආරක්ෂා කිරීමයි. ශ්‍රීලනිපය ලෙස අපට අවශ්‍ය ලද පළමු අවස්ථාවේදීම එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමටයි.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ ජාතික බලවේග විසින් ගෙන එන ලද නායකයෙක්. ජනාධිපති අපේක්ෂකයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජපක්ෂ වරුන්ගේ සහෝදරයෙක් වුනාට එතුමා දේශපාලනය අතින් ගත්තු නායකයෙක් නෙවෙයි. ජාතික බලවේග, රටට මිතුරු බලවේග, මහා සංඝරත්නයේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා එතනදී අපට ශ්‍රීලනිපය‍ ලෙස තීරණය කළයුතු වුණා, ජාතික බලවේග එකට සිටිය යුතු බවට‍. ඒ අනුව අපි තීරණය කළා අපගේ පක්ෂ දෙක සන්ධානගතවීමට. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමියි.

පක්ෂ දෙක ලෙස අපි සන්ධානගතවීමේදී ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ඒ සඳහා ‍කරුණු 27ක් ඇතුළත් කළා. දෙපාර්ශ්වයේම බිම් මට්ටම ආරක්ෂා කිරීමත් එයට ඇතුළත්. ශ්‍රීලනිපය‍ යත්, පාක්ෂිකයාත් ආරක්ෂා කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමයි අපගේ අරමුණ‍. කිසිඳු හේතුවකට ශ්‍රීලනීපය දියවෙන්නේ නැහැ. අපි දෙපාර්ශ්වය එකතු වෙන්නේ අවබෝධතා ගිවිසුමක් මත. අපට බේරා ගත යුතු ප්‍රශ්න අපි බේරාගමු. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව අපි එතුමා සමඟත් ගිවිසුමක් අත්සන් කරනවා. නායකයින් අතර ගිවිසුම් දෙකක් අත්සන් කරනවා.

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ මහමැතිවරණයට ඉදිරිපත් වන්නෙත් මේ සන්ධානය යටතේ, ඒ සඳහා යොදා ගන්නා ලකුණ පුටුවයි. ඒ නිසා ශ්‍රීලනිපය වගේම පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ පාක්ෂිකයාගෙන් අපි ඉල්ලන්නේ බිම් ම‍ට්ටමේ කිසිඳු පාක්ෂිකයෙක් ගහබැන ගන්න එපා. එක්සත් ජාතික පක්ෂයට ඕන විදිහට මේ එකතු වීම වළක්වන්න කටයුතු කරන්න එපා කියන කාරුණික ඉල්ලීම සිදුකරනවා. ශ්‍රීලනිපය‍ හා පොදුජන පෙරමුණ අතර අද ඇතිවන මෙම ගිවිසුම නිසා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනන්නේ ලක්ෂ හැටපහක ඡන්ද ප්‍රමාණයක් ලබමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 15 ක ඡන්ද හා පොදුජන පෙරමුණේ ලක්ෂ 50 ක ඡන්ද අද එකතු වෙලා. සිංහල ජනතාව පමණක් නෙවෙයි, දෙමළ, මුස්ලිම් වන සුළු ජනතාවගේ අයිතින් වෙනුවෙන්ද අපගේ ගිවිසුමට කරුණු ඇතුළත් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අප දෙපාර්ශ්වයේ මෙම එකතුවීම සුවිශේෂි සිදුවීමක් ලෙසයි මම දකින්නේ.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා - පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය සන්ධානගත වීම වෙනුවෙන් සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකළ සුවිෂේෂි දෙදෙනකු සිටිනවා. ඒ දෙදෙනාටම අපි අපගේ ගෞරවය ස්තූතිය පිරිනැමිය යුතුයි. මොකද ඒ දෙදෙනා නොවන්නට මේ සන්ධානගතවීම සිදු නොවන්නට ඉඩ තිබුණා. ශ්‍රීලනිපයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සුවිශේෂි චරිත දෙකයි. ඒ දෙදෙනා නොවන්නට මේ එකතුවීම කිසිසේත් සිදුවන්නේ නැහැ.

මේ පක්ෂ දෙකම එකතු කර රට හා ජනතාව දිනවිය යුතුයි යන මතය මේ නායකයින් දෙදෙනාම දැරුවා. අපගේ පක්ෂයේ එක් අයෙක් අද මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කිසිසේත් වෙනස් නොවන මතයේ සිටි ඔබතුමා මෙවැනි තීරණයක් ගත්තේ ඇයි කියලා මගෙන් එතුමා ඇහුවා. ඒ සියල්ලටම වඩා රට ජාතිය වටින බව මම සඳහන් කළා. ශ්‍රීලනිපය වගේම පොදුජන පෙරමුණේ ඉන්නේ රට ජාතියට ආදරය කරන පිරිසක්. ඒ වගේම පොදුජන පෙරමුනේ ආරම්භය සිදුවුනේ ශ්‍රීලනිපයේ මූලධර්ම මත පිහිටමින්.

අපි කළේ වින්නඹු වැඩේ විතරයි. ඒ වගේම බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිපය ආරම්භ කළ වෙලාවෙත් කිව්වේ ඒ විදිහටමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේ ශක්තිමත්, දැවැන්ත පක්ෂයක් ලෝකයේ කිසිම රටට නැති බවයි අපගේ හැඟීම‍. එක්සත් ජාතික පක්ෂ වි‍රෝධි ආණ්ඩුවක් පිහිටුවනවානම් අපි දෙපාර්ශ්වය නැවත එකතුවිය යුතුබවට සියලු දෙනා සඳහන් කළා.

ඒ වෙනුවෙන් විවිධ ඉල්ලීම් සිදුකළා. ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර අත්සන් කරන මේ ගිවිසුම ඓතිහාසික ගිවිසුමක්. ඒ නිසා පක්ෂ දෙකම නියෝජනය කරන පාක්ෂිකයා, බිම් මට්ටම ආරක්ෂා කිරීමේ වගකීම අපි සියලු දෙනාටම පැවරෙනවා. මේ ගිවිසුම් නිසා අපගේ පක්ෂ දෙකේම කිසිම අයකු වින්දිතයකු බවට පත්විය යුතු නැහැ. අපේ පක්ෂ දෙකේම පාක්ෂිකයින් ආරක්ෂා වන ආකාරයටයි මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. ඔබේ දරුවන්‍ට සුරක්ෂිත රටක් බිහිකර දීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිය යුතුයි.

අපේ පක්ෂයේ නායකතුමා තමන්ගේ ප්‍රථම පක්ෂයට ආදරය කරනවා. මම මවිසින් හදපු පක්ෂයට ආදරය කරනවා. ඉතින් අපේ පක්ෂයේ නායක තුමා එතුමාගේ පළමු පක්ෂයට ආදරය කරනවා නම් මම මොකද කරන් නෙ. ඒ නිසා අපි දෙගොල්ලම අපගේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි. මේ එකතුවීම වෙනුවෙන් පක්ෂ දෙකේම බිම් මට්ටමේ සිට ඉහළට වන සියලු‍දෙනාම විශාල කැප කිරීමක් සිදුකළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන්, වෘත්තියවේදීන්, ආසන සංවිධායක වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න