ජංගම දුරකථනයෙන් ලොතරැයි ප්‍රතිඵල | දිනමිණ

ජංගම දුරකථනයෙන් ලොතරැයි ප්‍රතිඵල

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි ප්‍රතිඵල ලබාගැනීම සඳහා DLB (Development Lottery Board) DLB Sweep App නමින් අලුත්ම App එකක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඊයේ හඳුන්වා දුන්නේය.

කොළඹ බත්තරමුල්ල Water Age හෝටලයේදී ඊයේ නව App එක හඳුන්වාදීම සිදුවිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියපෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්. එච්. ආර්. විමලසිරි, එපික් ටෙක්නොලජීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තරින්ද කල්පගේ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න යන සම්භාවනීය අමුත්තන් විසින් මෙය එළිදක්වන ලදී. 

මෙම සේවාව නවතම ස්මාර්ට් ජංගම දුරකථන ලක්ෂ 60 ක් සඳහා තිබෙන අතර Android, Apple යන දුරකථනවලින් බාගත කරගත හැකිය. මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම නිල ප්‍රතිඵල සහ තමන්ට හිමි තෑගි මුදල පිළිබඳ තොරතුරු ජනතාවට ලබාගත හැකි බව සේන සූරියපෙරුම මහතා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අවුරුදු 37ක ඉතිහාසය පැහැදිලි කළ ඒ මහතා අප රටේ දුප්පත් අසරණ ජනතාවගේ සෞඛ්‍ය සහ දක්ෂතා දක්වන දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට රජයේ ක්‍රියාත්මක කළ අරමුදල් දෙකකට මුදල් ප්‍රදානය කිරීම තම මණ්ඩලය මඟින් සිදුකරන බව ද සිහිපත් කළේය.

වර්තමානයේ කාර්යබහුල පාරිභෝගික ජනතාව ලොතරැයි මිලදී ගත්තද ඒවායේ ප්‍රතිඵල දැනගැනීම සඳහා එතරම් උනන්දුවක් නොදක්වන බව පැවසූ සභාපතිවරයා එම අපහසුතාවයෙන් ජනතාව මුදාගැනීමට නව App එක හඳුන්වා දුන්නේය.

මුළු ලෝකයම වේගයෙන් කඩදාසි රහිත වාණිජකරණය කරා යොමුවන මොහොතක ශ්‍රී ලංකාවේ අප ද ඒ සඳහා යොමුකිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව සභාපතිවරයා පැවසීය.

ඉදිරියේදී ප්‍රතිඵල දැනගැනීමෙන් ඔබ්බට ගොස් ජංගම දුරකථන App එක භාවිතා කර ලොතරැයිපත් මිලදී ගන්නා තැනට පාරිභෝගිකයන්ට සේවා ලබාදීම බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාව අමතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි චානක දොඩංගොඩගේ, එපික් ටෙක්නොලජීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තරින්ද කල්පගේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි තොරතුරු තාක්ෂණ මධුර හර්ෂණ යන මහත්වරු ද වැඩිදුර කරුණු පැහැදිලි කළේය.

ජයසිරි මුණසිංහ සහ පමුදිනී සමරනායක

නව අදහස දක්වන්න