PETFORM ආයතනයට අපනයන සම්මානයක් | දිනමිණ

PETFORM ආයතනයට අපනයන සම්මානයක්

ප්ලාස්ටික් හා කඩදාසි ආශ්‍රිත ඇසුරුම් නිශ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන සීමාසහිත පෙට්ෆෝර්ම් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධාන කළ අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ප්ලාස්ටික් හා ප්ලාස්ටික් නිෂ්පාදන අංශයේ කුඩා පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දෙල්ගොඩ හා මල්වාන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 4ක 200කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් නිපැයුම් කටයුතු කරන පෙට්ෆෝර්ම් සමාගම එක්සත් රාජධානිය, සවුදි අරාබිය හා මාලදිවයින යන රටවලට නිපැයුම් අපනයනය කරයි. ප්ලාස්ටික් බෝතල් හා මූඩි ඇතුළු ඇසුරුම් නිෂ්පාදනයට අමතරව කඩදාසි පදනම් කර ගත් කෝප්ප, පිඟන් හා ඇසුරුම් නිපදවන පෙට්ෆෝර්ම් සමාගමට ISO 9001:2015, ISO 14001:2015 හා ISO 18001:2007 යන තත්ත්ව සහතික මෙන්ම SLS 1336 ප්‍රමිති සහතිකය ද හිමි වී ඇත.

පෙට්ෆෝර්ම් සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ පෙරින්පම් මදිදරන් මහතා පැවැසුවේ මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ සමාගමේ කාර්ය මණ්ඩලයටත්, හවුල්කාර පිරිසටත් සිය කෘතඥතාව පළ කරන බවයි. මල්වාන ප්‍රදේශයේ කුඩා කම්හලක් වශයෙන් 2004දී ඇරැඹි පෙට්ෆෝර්ම් සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ පූර්ණ ඇසුරුම් විසඳුම් සැපයීමේ දැවැන්තයා බවට පත්ව සිටී. භාණ්ඩයේ නැවුම් බව සුරකිමින් ඊට මනා පෙනුමක් ද සැපයීමට හැකි ඇසුරුම් විසඳුම් ඉදිරිපත් කිරීම සමාගමේ වර්ධනයට හේතු විය. හරිත නිෂ්පාදන සංකල්පය පෙරදැරි කර ගත් පෙට්ෆෝර්ම් සමාගමේ සියලු නිපැයුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිවීම විශේෂත්වයකි. තවත් පියවරක් ඉදිරියට තබමින් කෘත්‍රීම අමුද්‍රව්‍ය වෙනුවට ස්වභාවිකවම වියෝජනය වන අමුද්‍රව්‍ය යොදා ගෙන ඇසුරුම් නිෂ්පාදනය කිරීමට ද සමාගම අපේක්ෂා කරයි.

 

නව අදහස දක්වන්න