නිවැරැදි තීන්දුව ජනතාව අතේ | දිනමිණ

නිවැරැදි තීන්දුව ජනතාව අතේ

දුමින්ද සම්පත්
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර

ආණ්ඩුවට විරුද්ධව නිතර මතුවන උද්ඝෝෂණ සහ වැඩවර්ජනවලට හේතු, රාජ්‍ය සේවයේ වැටුප් විසමතා ප්‍රශ්න නොවිසඳීම, ඉදිරි ජනාධිපතිවරණය සහ ඊට එජාපයේ සූදානම ආදිය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මෙසේ අදහස් දක්වයි.

- රට හදන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් ඕන 
- වෙල්ගම කතා කළේ පවුල්වාදය ගැන 
- සජිත්ට කිසිම කොන්දේසියක් නැහැ 
- වැඩවර්ජනය අසාධාරණයි 
- පක්ෂ දෙකක් නිසා ආණ්ඩුවට ප්‍රශ්න තිබුණා 
- අනුපාත ක්‍රමයට තනියම ඡන්ද බැහැ 
- එජාපය ශක්තිමත් පෙරමුණක් බිහිකළා 
- පවුලේ තීන්දු එජාපයේ නැහැ 
- භාෂා ප්‍රවීණතාව ගන්න බැරි අය කතා කියනවා

තමන්ගෙම අපේක්ෂකයෙක් ජනපතිවරණයට අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂය ලොකු හඬක් නැඟුවා. දැන් ඒ අවස්ථාව උදාවෙලා. මේ අපේක්ෂකයව දිනවන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන් ද?

අපේ පක්ෂ සංවිධානයට අවශ්‍ය ශක්තිය දැන් ලැබිල තියෙන‍්නෙ. මේ ජනාධිපතිවරණය 1977න් පස්සෙ පාක්ෂිකය හොඳටම දිරිමත් වෙච්ච, ශක්තිමත් වෙච්ච මැතිවරණය. ගම් මට්ටමේ ඉඳන් ජාතික මට්ටම දක්වා අපේ පාක්ෂිකයන්ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. මැතිවරණ ඉතිහාසයෙ දැවැන්තම ජන සහභාගීත්වය සහිත ජනහමුව ඊයෙ තිබ්බා. අපේ ජයග්‍රහණය තහවුරුයි. ඒකෙ සැකයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙ පදනම මත එක්සත් ජාතික පෙරමුණ හැටියට සියලුදෙනා එක්ව ගමනක් යනවා.

මෙතෙක් එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් හැටියට මැතිවරණ ජයග්‍රහණයක් ලබා නැහැ. පෙරමුණ හැදෙන්නෙ ඒ හින්ද ද?

1977 මැතිවරණය අපි ජයගත්තෙ තනි පක්ෂයක් හැටියට. මැතිවරණ ක්‍රමයෙ වෙනසත් එක්ක සමානුපාතික ඡන්ද ක්‍රමය ආවා. එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි හැම පක්ෂයකටම සන්ධානගතව මැතිවරණවලට මුහුණදෙන්න සිදුවුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මේ රටේ ශක්තිමත්ම පෙරමුණ බිහිකළා. එක්සත් ජාතික පක්ෂය, සිංහල බෞද්ධ පදනම ඇති හෙළ උරුමය, මුස්ලිම් පදනම තියෙන මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බදියුද්දීන් මහතාගෙ පක්ෂය, කඳුකරයෙ දිගම්බරම් මහතා මනෝගනේෂන් මහතා එකම පෙරමුණකට ගේන්න පුළුවන් වුණා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිකරවීම සියලු ආගමිකයන්ගෙ, ජාතීන්ගෙ බලාපොරොත්තුව.

ඔබ එහෙම කිව්වත් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දෙන්න එක්සත් ජාතික පක්ෂය කල්මැරුවා. ඔහුට ඒ වෙනුවෙන් පක්ෂය ඇතුළෙ ලොකු සටනක් කරන්නත් වුණා.

ඒක ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක ඇතිවෙච්ච සටනක්. මේ පක්ෂයෙ තීන්දු පවුලක තීන්දු නෙවෙයි. විවිධ මත තියෙන අය හිටියා. පක්ෂයෙ අපේක්ෂකයො තුන්දෙනෙක් හිටියා. අපි කතාබහ කරල ඡන්දයක්, බෙදීමක් නැතිව ජනතාව වැඩියෙන්ම ඉල්ලපු සජිත් ප්‍රේමදාස මහත්තයව ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් පක්ෂ නායක අගමැතිතුමාට විශේෂ ස්තූතියක් අපේ තියෙනවා. පොහොට්ටුවෙ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණ ද? මහින්ද තැන්නම් ගෝඨාභය. එයත් නැත්නම් චමල්, මේ ඔක්කොම රාජපක්ෂවරු. මේ කවුරුවත් නැත්නම් රාජපක්ෂ දරුවෙක්. එතන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනව ද? මේ පවුල්වාදය ගැන තමයි කුමාර වෙල්ගමල කතා කළේ. එක්සත් ජාතික පක්ෂයෙ සේනානායක, කොතලාවල, ජේ. ආර්., ප්‍රේමදාස, විජේතුංග, ගාමිණී, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස වගේ අය ආවා. සන්ධානයෙ බණ්ඩාරනායකලයි රාජපක්ෂලයි විතරයි.

සජිත්ගෙ ජනාධිපතිවරණ ආගමනයත් එක්ක එදා යහපාලනය පරාජය කරන්න පෙනී හිටපු අය සජිත් වටා එකතුවෙමින් සිටින බවක් පේන්න තියෙනවා නේද?

එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලගිය සියලු පාර්ශ්ව එකතුකර ගැනීම අපේ ජයග්‍රහණයට වාසියක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුපෙරමුණ, පොහොට්ටුවෙ කට්ටියත් එකතුකරගන්න අවශ්‍යයි. යහපාලන ගමන ආපස්සට හරවන්න ඉදිරිපත්වෙලා ඉන්න සියලු බලවේග පරාජය කිරීමේ වගකීම අප වෙත පැවරිලා තියෙනවා.

යහපාලනයත් එක්ක ලැබුණු සමාජ ප්‍රතිසංස්කරණ ඉදිරියටත් ආරක්ෂා කරන බවට යම් තහවුරු කිරීමක් කරන්න එක්සත් ජාතික පෙරමුණට පුළුවන් ද?

මේ ප්‍රතිසංස්කරණ දුන්නෙ අපි. ඒව නැවත තහවුරු කරන්න පුළුවන් වෙන්නෙත් අපිට. එදා ඒවට විරුද්ධ වෙච්ච අයට ඒව තහවුරු කරන්න බැහැ. 18 වැනි සංශෝධනයෙන් මේ රටේ ඒකාධිපතියෙක් බිහිකළා. 19න් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. රටේ යහපාලනය ඇතිවුණේ මේව හරහා තමයි. මේ ක්‍රියාදාමය ආපස්සට හරවනවද ඒකාධිපති ක්‍රමය නැවත ස්ථාපිත කරනවද කියන එක ජනතාව තීන්දුකරන්න ඕන. පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකය මපට් කෙනෙක්. මහින්ද රාජපක්ෂගෙ නූලෙ නැටවෙන කෙනෙක්.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නෙත් කොන්දේසි රැසක් එක්ක?

කිසිම කොන්දේසියක් නැහැ. ඒකීය රටක් තුළ බලය බෙදීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, අපේ පක්ෂයෙ ප්‍රතිපත්තිය, මේව කොන්දේසි නෙවෙයි.

පිල්මාරු කිරීමේ දේශපාලන සංස්කෘතියත් එක්ක, දේශපාලනය කෙරෙහි ජනතාවගේ තිබුණු විශ්වාසය පළුදුවන තත්ත්වයක් අපි දැක්කා. ජනාධිපතිවරණය ඉලක්කකරගෙන සිදුවන පිල්මාරු කිරීම් ජනාධිපතිවරණයට මොනවගේ බලපෑමක් එල්ල කරයි ද?

දේශපාලනඥයන්ගෙ යම් යම් කටයුතු නිසා ජනතාවට දේශපාලකයන් එපා වුණා. ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුයි. සජිත් ප්‍රේමදාසට චෝදනා නැහැ. චෝදනා තියෙන අය පස්සෙ ගිහින් කලකිරෙන ජනතාවට දේශපාලනය එපාවීම අරුමයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස පක්ෂය කඩාගෙන ගිහින් වෙනම පක්ෂ හදපු කෙනෙක් නෙවෙයි. මොන බාධක තිබුණත් ඔහු පක්ෂය තුළ හිටියා. පහුගිය ආණ්ඩුව පක්ෂ දෙකක ආණ්ඩුවක්. ඒ නිසා අපිට ප්‍රශ්න තිබුණා. ජනාධිපතිත් අගමැතිත් එකම පැත්තක ඉන්න ශක්තිමත් ආණ්ඩුවක් අපි ඉල්ලන්නෙ ඒකයි. ශක්තිමත් ආණ්ඩුවක් නැතුව රට හදන්න බැහැ.

විරුද්ධවාදීන්ගෙන් පළිගන්නත් සමහරු ශක්තිමත් ආණ්ඩු ඉල්ලනවා ?

සුදු වෑන්වලින් පැහැරගත්ත, මිනිස්සුන්ට ගැහුව, ගෙවල් ගිනි තිබ්බ ආණ්ඩුවක් අපි පරාජය කළා. මගෙ ආසනේ විතරක් පස්දෙනෙක් මැරුවා. අපි ආණ්ඩුවක් හැදුවා. කාගෙන්වත් පළිගත්තෙ නැහැ. දේශපාලන මිනීමැරුමක්, පැහැරගැනීමක්, මාධ්‍යවේදීන්ට පහරදීමක් අපේ කාලෙ වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් දුන්නා අපි. හොරු අල්ලන්න පොරොන්දුවක් දුන්නා. හොරු අල්ලන එක පළිගැනීමක් ද? මංකොල්ලකාරයො මිනීමරුවො අල්ලල කූඩුවෙදාන එක පළිගැනීමක් ද? යහපාලනය කියන‍්නෙ කාටත් එක සමාන නීතියක් හැදීම. ඒකට අපි වැඩකළා. කීපදෙනෙක්ට නඩු දැම්මා. හොරු අල්ලන එකයි දේශපාලන පළිගැනීමයි දෙකක්.

හොරු ඇල්ලීමෙදි ආණ්ඩුව ඉතාම පසුගාමී තැනක හිටියෙ. එකම හොරෙක්වත් අල්ලගන්න ආණ්ඩුවට බැරිවුණා? 

අපේ අධිකරණ ක්‍රියාදාමයන්ට කල්ගතවෙනවා. විමර්ශනවලට අවුරුදු තුන හතරක් ගතවෙනවා. ඒ ක්‍රමය නැතිකරන්න විශේෂ අධිකරණ පිහිටෙව්වා. දින පනස් එකේදි ඒ සියල්ල වෙනස් වුණා. හොරු බයවෙලා ඉන්නෙ. අධිකරණ ක්‍රියාමාර්ගවලට යනකොට හොරු කියනව අපෙන් පළිගන්නව කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ පුරවැසිභාවය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය විවිධ චෝදනා එල්ල කළා. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාව වනවිට එක්සත් ජාතික පක්ෂය එක්වරම නිහඬවුණේ ඇයි?

පුරවැසිභාවය ගැන ඒ වෙලාවෙ අපි කතා කළා නම් කියන්නෙ, ගෝඨාභයට බයේ ඔහුගේ අපේක්ෂකත්වය තහනම් කරන්න හදනව කියලයි. අපිට අවශ්‍ය වුණේ ඔහුව සටනකින් පරාජය කරන්න. ඒ ගැන ප්‍රශ්න කරන්න රටේ ජනතාවට අයිතියක් තියෙනව. ගෝඨාභය කියන්නෙ මේ රටේ යුද්ධෙට බයේ පැනල ගිහින් අමෙරිකාවෙ අධිරාජ්‍යයට පක්ෂව කටයුතු කරන්න දිවුරපු අමෙරිකන් පුරවැසිභාවය ගත්තු කෙනෙක්. එවැනි කෙනෙක් ගැන ජනතාව තීන්දුව දෙයි. සුදු වෑන් එව්ව, පළිගැනීම් කළා. රටේ වැඩිම අපරාධ කළේ, මාධ්‍යවේදීන් ඝාතනය කරන්න උදව් කළේ මේ අපේක්ෂකය තමයි. ඔහු තමයි අපිට පරාජය කරන්න පහසුම අපේක්ෂකය.

රාජ්‍ය පරිපාලනයෙ පවතින වැටුප් විසමතා විසඳන්න ආණ්ඩුවට බැරිවුණ නිසා වැඩවර්ජන රැල්ලක් ඇතිවුණා නේද?

ඔබේ කතාව සම්පූර්ණ වැරදියි. රාජ්‍ය සේවකයගෙ වැඩිම වැටුප් වැඩිකිරීම කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක්ගෙ 130% කින් වැඩි වුණා. අධිකරණ නිලධාරීන්ගෙ වැටුප් වැඩිකිරීමට විරුද්ධව තමයි මේ විරෝධතා ඇතිවෙන්නෙ. රාජ්‍ය පරිපාලනයෙ විධායක නිලධාරීන් පාරට බැසීම සුදුසු නැහැ. දැන් ඒ ප්‍රශ්න විසඳන්න කටයුතු කරමින් ඉන්නෙ.

වැඩවර්ජන සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවෙ එකඟතා පිළිබඳව වෘත්තීය සමිති ලොකු බලාපොරොත්තුවක් තැබුවා. මේ එකඟතාවලට මොකද වුණේ?

විධායක නිලධාරීන්ගෙ, ගුරුවරුන්ගෙ ගැටලු ගැන එකඟතාවකට ආව. වැඩ වර්ජන පිටිපස්සෙ දේශපාලන බලවේග හිටියා. ඡන්දයක් වෙලාවෙ මේ වැඩවර්ජන මෙහෙයවන්නෙ ඒකයි. ජනතාව අපහසුතාවට පත්කිරීමෙන් මේ බංකොලොත් දේශපාලකයන් දේශපාලන වාසි ගන්න හදනවා. අපි ඒ ක්‍රමය අනුමත කරන්නේ නැහැ.

වැටුප් විසමතා විසඳන්න විවිධ කොමිසම් පත්කරනවා. ඒවායෙන් ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න චක්‍රලේඛ ඉදිරිපත් කරනවා. මේ චක්‍රලේඛ නිකුත් කිරීමේ ප්‍රමාදයන් ඇතිවෙනවා නේද?

6/2006 චක්‍රලේඛයට අනුව මේ රටේ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගත කළා. ඒ අනුව වැටුප් විසමතා ඇතිවුණා. පහුගිය ආණ්ඩුවෙ ප්‍රශ්න අද අපිට විසඳන්න වෙලා. අපි ආණ්ඩුව භාරගන්නකොට රජයේ වැටුප් ගෙවන්නත්, විශ්‍රාම වැටුප් ගෙවන්නත් රුපියල් බිලියන 600ක් ගියා. අද ඒක බිලියන 1100ක් වෙලා. මේ ආණ්ඩුව රජයේ ‍සේවකයට දීල තියෙන සහන මේ වැඩිවීමෙන්ම පේනවා. මෙසේ තිබියදී වර්ජන කිරීම සාධාරණද කියලයි මම අහන්නෙ. චක්‍රලේඛ කිසි එකක් ප්‍රමාද කරල නැහැ.

රාජ්‍ය සේවයෙ දෙමළ හා සිංහල භාෂා ප්‍රවීණතා චක්‍රලේඛය ප්‍රමාදවීමෙන් රාජ්‍ය සේවකයන් ගැටලු රැසකට මුහුණදෙමින් ඉන්නවා?

පළවෙනි භාෂාව සිංහල නම් රාජ්‍ය සේවකයන් දෙමළ භාෂා ප්‍රවීණත්ව‍යක් ලබාගත යුතුයි. අනෙක් පැත්තත් එහෙමයි. මේ රටේ ජාතිවාදය අයින්කරන්න සියල්ල සියලු භාෂා ඉගෙනගන්න ඕන. සමහරු භාෂා ප්‍රවීණතාව ගන්න බැරිවුණාම විවිධ කතා කියනවා. මේ සඳහා දාපු කැබිනට් පත්‍රිකාව ප්‍රමාද වුණා. දැන් කැබිනට් එක ඒක අනුමත කළා.

නව අදහස දක්වන්න