නිදොස්කොට නිදහස් කිරීම | දිනමිණ

නිදොස්කොට නිදහස් කිරීම

කිසියම් තැනැත්තකු රටේ පවත්නා නීතිය හා අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කරන්නේ ද; ඊට බලපෑම් කරන්නේ ද එය අතිශය භයානක තත්ත්වයකි. එම පුද්ගලයා එක්කෝ නීතිය හා අධිකරණය ගැන නො දන්නා තැනැත්තෙකි. නැතහොත් නීතිය හා අධිකරණය නො පිළිගන්නා තැනැත්තෙකි. එසේ ද නැතහොත් නීතියට ‍හා අධිකරණයට ඉහළින් කටයුතු කරන්නට සූදානම් වන තැනැත්තෙකි. මේ එකදු චර්යාවක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන්නේ නැත. පුදුමයකට මෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහළින් කතා කරන ඇත්තෝ ද නීතිය හා අධිකරණය හෑල්ලුවට ලක් කරති. දේශපාලන වේදිකාව හා දේශපාලන සංවාද මණ්ඩප දෙස බලනවිට මේ තත්ත්වය පැහැදිලි වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයක් පිළිබඳ සංවාදයේ දී ප්‍රධාන ආයතන තුනක සමබරතාව ගැන කතා කරනු ලැබේ. එම ආයතන තුන වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යි. මෙකී ආයතනවල කටයුතු ස්වාධීන ලෙසත් නිදහස් ලෙසත්, නිවැරැදි ලෙසත් කරගෙන යෑමට ඉඩ-ප්‍රස්ථා තිබිය යුතුය. එසේ නොවන කල ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙයි. ආඥාදායක හෙවත් ඒකාධිපති ආණ්ඩු පවතින රටවල ඉහත කී ආයතන අතර සමබරතාවක් නැත. විශේෂයෙන් අධිකරණයට ස්වාධීන ලෙස ක්‍රියා කිරීමේ අවකාශයක් ඒකාධිපති ආණ්ඩු තුළ නැත. එයින් බලවත්ම අයුක්තිය සිදුවන්නේ මහජනතාවට යැයි කිව හැකි ය. ජනතාවට යුක්තිය ඉටු නොවන්නේ නම්; එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ නැත.

අධිකරණයේ කාර්යභාරය නිරීක්ෂණය කරනවිට පෙනීයන්නේ එය මූලික වශයෙන් ක්ෂේත්‍ර තුනකට අදාළ ආරවුල් විසැඳීමට ක්‍රියා කළ යුතු බව ය. පුරවැසියන් හා පුරවැසියන් අතර ඇතිවන ආරවුල්, පුරවැසියන් හා ආයතන අතර ඇතිවන ආරවුල් හා පුරවැසියන් හා රාජ්‍ය-තන්ත්‍රය අතර ඇතිවන ආරවුල් ලෙස ඒවා හඳුනාගත හැකි ය. ශ්‍රී ලංකාවේදී වඩාත් සංවාදයට ලක්වන්නේ පුරවැසියන් හා රාජ්‍ය-තන්ත්‍රය අතර ඇතිවන ආරවුල් යැයි කිව හැකි ය. මෙබඳු ආරවුල්වලදී දේශපාලන බලපෑම් එල්ලවූ අවස්ථා තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම යුක්තිය කෙලෙසී ඇත. වඩාත් නිවැරැදිව කිවහොත් නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇත.

නීතියේ ආධිපත්‍යය පිළිබඳ සංවාදය දීර්ඝ කාලයක සිට පවතින්නකි. කාලසීමාවන් කිහිපයකදීම පුරවැසි සමාජ පෙන්වා දී ඇත්තේ රටේ උන්නතිය සඳහා නීතියේ ආධිපත්‍යය ගොඩනැඟිය යුතු බවය. 2015 වන විට පුරවැසි සමාජවල ඉල්ලීම වඩා බලවත් විය. අන්තර්ජාතික ආයතන කිහිපයක් ද ඒ සමයේ මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු බවට උපදේශන සපයා තිබිණි. ඉන් පෙනීයන්නේ රාජ්‍යය කරවූ ඇතැම් පාලකයන් නීතියේ ආධිපත්‍යය නොසලකා හරිමින් ක්‍රියා කර ඇති බව ය. 2015න් පසු තත්ත්වය වෙනස් වූ බව ද පිළිගත හැකි ය. මෙයින් පෙනීයන්නේ නීති ක්ෂේත්‍රයෙහි යම් විසම ක්‍රියාවක් සිදුවනවිට ඒ සම්බන්ධයෙන් හඬක් නැඟීම කළ යුතු බව ය.

පුද්ගලයන් අතුරුදන් කිරීම, පුද්ගලයන් ඝාතනය කිරීම හා පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දී මාරාන්තික තුවාල ඇති කිරීම සම්බන්ධයෙන් නඩු ගණනාවක් අධිකරණයේ විභාග වෙමින් පවතී. අදාළ සිදුවීම් සැලැකිය හැක්කේ පුරවැසියන් හා දේශපාලන ආයතන අතර පැවැති ආරවුලක් හැටියට ය. අදාළ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ආරක්ෂක අංශ නිලධාරීහු රැසක් ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවෙති. මේ තත්ත්වය රටේ සංවාදයට ලක් වී ඇත. අපරාධ ක්‍රියා මෙහෙය වූ පුද්ගලයන් බලවත් අය විය හැකි ය. කුමක් වුව සාක්ෂිවලට අනුව නඩු විභාග ඉදිරියට යයි. මෙහිදී වින්දිතයන් සඳහා යුක්තිය ඉටුවිය යුතුව තිබේ.

ඉහත නඩු විභාගවලට බලපෑම් ඇති කිරීම හෝ බලපෑම් ඇති වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීම සුදුසු දෙයක් නොවේ. එවැන්නක් සැලැකිය හැක්කේ නීතියට හා අධිකරණයට කරන අයුතු බලපෑමක් හැටියට ය. චුදිතයකු නිදොස් කොට නිදහස් කළ හැක්කේ අධිකරණයකට පමණි. දේශපාලකයන්ට එය කළ නොහැකි ය. බලවතුන්ට ද ‍එය කළ නොහැකි ය. කිසියම් අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයකු එම චෝදනාවලින් නිදහස් කිරීමට නම්; විද්‍යාත්මක සාක්ෂි සපයාගත යුතුය. ඒවා අධිකරණය තුළදී තර්කානුකූල ලෙස සනාථ කළ යුතුය. එසේ නොමැතිව හැඟුම්බර වචනවලින් පමණක් ‍චුදිතයන් නිදහස් කළ හැකි නොවේ.

රටේ ආරක්ෂක අංශවල නිලධාරීන් හා භටයන් සඳහා රණවිරු යන නාමය යොදන්නට පටන්ගත්තේ යුද ජයග්‍රහණයත් සමඟ ය. යුද ජයග්‍රහණයෙන් පසු මුළු රටේ ම අවධානය හා ගෞරවය ආරක්ෂක අංශ වෙත යොමු වූ අතර ඒ නිසා ම ගොඩනැඟුණු සමාජ වරප්‍රසාද ගණනාවක් ද රණවිරුවන් වෙත ලැබිණි. එය නරක දෙයක් නොවේ. රණවිරුවන්ගේ කැපවීම දෙස බලනවිට ඔවුන්ට ඒවා ලැබිය යුතුව තිබේ. එහෙත් ඇතැම් දේශපාලකයන් මේ තත්ත්වයෙන් අයුතු ලාභ ලබන්නට පෙලැඹී ඇත. මැතිවරණ කාලවලදී එය වඩාත් සරුවට සිදුවෙයි. මේ ජනාධිපතිවරණ සමයේ පවා එය හොඳින් දැකගත හැකි ය.

රටේ අනාගත නායකත්වය භාර ගැනීම සඳහා දේශපාලන තරගයක නිරත වී සිටින වැදගත් පුද්ගලයන්ට ද වචනයක් කිව යුතුව තිබේ. එනම්; එම පුද්ගලයන් තමන්ගේ වැදගත්කම් හා උගත්කම් තමන්ගේ හැසිරීම ඔස්සේම තහවුරු කළ යුතු බව ය. සර්ව-සම්පූර්ණ මනුෂ්‍යයන් නැති බව කියති. ඒ අනුව පුද්ගලයන් අතින් වැරැදි සිදුවන්නට පුළුවන. වැරැදි ප්‍රකාශ නිකුත් වන්නට පුළුවන. අවම ලෙස එම වැරැදි සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීමට හෝ සමාව ඉල්ලා සිටීමට තරම් පුද්ගලයන් නිහතමානී විය යුතුය. එසේ නොකරන තැනැත්තන් සැලැකිය හැක්කේ අධි-මානයෙන් යුතු ආඥාදායකයන් හැටියට ය.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු විභාග කිහිපයක් පවතී. රටේ ප්‍රබල පුද්ගලයන් අධිකරණයට අපහාස කොට දඬුවම් ලැබූ අවස්ථා ද තිබේ. දේශපාලකයන් මේ සිද්ධි පිළිබඳ අවදියකින් සිටින්නේ නම්; එය වැදගත් ය.

 

නව අදහස දක්වන්න