තාත්තා ඉස්ස­රහ සම්මා­න­යක් ගන්න ඕනෑ | දිනමිණ


 

තාත්තා ඉස්ස­රහ සම්මා­න­යක් ගන්න ඕනෑ

පැ තු ම්    ස චි­ න් ත න

කලා අඹරට පෑයූ නවතම තරුවක් ලෙස පැතුම් සචින්තන මහගම හඳුන්වා දිය හැකිය. සිරස නාලිකාවේ විකාශය වූ අරුණ ජයවර්ධනගේ ‘සක්කාරං’ ටෙලි නාට්‍යයේ පීටර් ට පණ පෙවූ ඔහු ඉදිරියේ දී විකාශය විමට නියමිත ‘අසමජ්ජාතියා’ හි අසමජ්ජාතියා ය.

පුංචි එංගලන්තයේ (නුවරඑළිය) ඉපදුණු ඔබ කලා දිවියට පිවිසුණේ කොහොම ද?

පාසල් කාලය ඉවරවෙනකම්ම මම කලා ජීවිතයට පිවිසෙන්න හිතුවෙ නැහැ. මගේ පියා චන්ද්‍රසිරි මහගම. තාත්ත ඒ කාලෙ නළුවෙක් වෙන්න කියලා කොළඹ ඇවිත් ලොකු උත්සාහයක් දරලා තිබුණා. නමුත්, ‍ඔහුට එය ඉටුකරගන්න බැරි වුණා. ඒ නිසා මට හිතුණා තාත්තට ඉෂ්ට කරගන්න බැරිවුණ ඒ සිහිනය මම ඉෂ්ට කරනවා කියලා.

ඔබට මුලින්ම රංගනයට දායක වෙන්න අවස්ථාවක් ලැබුණෙ කොහොමද?

නුවරඑළියෙන් කොළඹට ආව මම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්තයගෙ නුගේගොඩ ඉම්පාස් ආයතනයේ සිනමා පාඨමාලාවක් කළා. ඒ අතරෙදි සිරස රූපවාහිනියෙ Film star තරගයට අයදුම්පතක් ඉදිරිපත් කළා. මම ඒ තරගයේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට තේරුණා. ඒ කාලෙදිම මගෙ අත කැඩුණා. ඒ එක්කම අවුරුද්දක විතර කාලයක් මට නිහඩව ඉන්න සිද්ධ වුණා. සිරස රූපවාහිනියෙන් ආරාධනා ලැබූ වැඩසටහන් කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. ඉන්පසු අංගර ඉංගර වැඩසටහනට සහභාගි වුණා.

ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍ය මොකක්ද?

මුලින්ම මම රඟපෑවෙ තුෂාරි අ‍බේසේකර මහත්මියගේ ‘අසමජ්ජාතියා’ ටෙලි නාට්‍යයේ. එය රූගත කරන අතරතුර සක්කාරං ටෙලිනාට්‍යයට ඇරයුම් ලැබුණා. පසුගිය දා එය විකාශය වෙලා අවසන් වුණා. ‘අසමජ්ජාතියා‘ නාට්‍ය ළඟදීම විකාශය වීමට නියමිතයි.

අපේ රටේ ඉංග්‍රීසි පාලන යුගයට අයත් කතාවස්තු බීජයක් මත ලියැවුණු ‘සක්කාරං’ ටෙලි නාට්‍යයේ ‘පීටර්’ චරිතයට පණ පොවද්දී ඔබට දැනුණු හැඟීම?

පීටර් කියන්නෙ අහිංසක, ආදරණීය චරිතයක්. පීටර් අම්මට, තාත්තට, නංගිට වගේම පෙම්වතිය ජයනිටාට ආදරෙයි. ඒ වගේම ඔහු පිටරට තාලෙට හැදිච්ච ඉංග්‍රීසි කතා කරන කෙනෙක්. මුලින් මට මාව අමතක කරන්න අමාරු වුණා. ඒ කියන්නෙ හෙමින් කතා කරන්න ඕන. ඉවසීමෙන් ඉන්න ඕන. ඒ චරිතය මගෙ සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස්. මම පැතුම් අමතක කරල පීටර්ට එළියට එන්න ඉඩදුන්නා. රඟපාද්දි අපි ඒ චරිතය තේරුම් අරගෙන ඒ විදියට අනුගත වෙන්න ඕන.

රංගනයට නවක ඔබ, ප්‍රවීණයන් සමඟ රඟපාද්දී ඔබ අපහසුතාවයට පත්වුණේ නැද්ද?

‘සක්කාරං’ ටෙලි නාට්‍යය මට ලොකු අත්දැකීමක්. විශාල ලොකේශන් එකක දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් සමඟ රඟපාන්න මට ලැබුණේ පළමු වතාවට. අරුණ ජයවර්ධන මහත්තයා මට ගොඩක් උදවු කළා. ඔහු හා වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. ප්‍රවීණ නළු නිළියො මට උදවු කළා. අලුත් කියල මාව පැත්තකට දැම්මෙ නෑ. ඒ වගේම සංගීත් ප්‍රභූ අයියා මට සෑහෙන්න උදවු කළා. මම දන්නෙ නැති දේවල් මට නිහතමානීව කියල දුන්නා. අකිල ධනුද්ධර, කාවින්ද්‍යා අධිකාරි, සංගීතා ඇතුළු රංගන ශිල්පීන් හැමෝම මට උදවු කළා. එකපාරටම මේ වගේ දැවැන්ත නිර්මාණයකින් රසිකයන් අතරට එන්න ලැබීම ගැන සතුටුයි.

‘අසමජ්ජාතියා’ ටෙලි නාට්‍යයේ ඔබ අසමජ්ජාතියා ලෙස රංඟනයේ යෙදෙන්නට නියමිතයි නේද?

ඔව්. මම එහි පංකජ තේනුවර කියන ප්‍රධාන චරිතය රඟපානවා. සාරංග දිසාසේකර අයියගෙ කුඩා කාලෙ නිරූපණය කරන්නේ මම. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නෙ තුෂාරි අබේසේකර මහත්මිය. මේ දවස්වල රූගතකිරීම් නවත්වලා තියෙන්නෙ.

රංගනයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

Film Starවලින් පස්සෙ සක්කාරං ටෙලිනාට්‍යයෙන් රසිකයන් අතරට ආපු මාව අඳුරගත්ත රසිකයන් මට සුබ පැතුවා. මට ගොඩක් සතුටුයි. සිරස නාලිකාවෙන් පැතුම් මහගම කියන නම හදල දුන්නා. කවුරු හරි නම හදල දෙනවට වඩා තමන්ම නම හදාගන්න එක වටිනවා.

ඔබ දායක වුණු වෙනත් නිර්මාණ මොනවා ද?

උන් ගියේ නෑ (චන්ද්‍රසිරි මහගම), තාට්ජායිනා කියන වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑවා. මේ දිනවල රාජ්‍ය නාට්‍ය උළෙලට සූදානම් වෙනවා.

ඔබගේ පවුලේ තොරතුරුත් කියන්න.

මගේ පියා චන්ද්‍රසිරි මහගම. ඔහු මාධ්‍යවේදියෙක්, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් වගේම නවකතා රචකයෙක්. අම්මා නන්දනී ගොඩගේ. ඇය විශ්‍රාමික පරිපාලන නිලධාරිනියක්. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අයියා සිවිල් ඉංජිනේරුවරයෙක්. අනිත් අයියා විශ්වවිද්‍යාල සිසුවෙක්.

ඔබ ඉගෙනගත් පාසල?

පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා නුවරඑළිය අප ස්වාමිදුවගේ පාසලෙනුත් උසස් පෙළ දක්වා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේත් ඉගෙන ගත්තා. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකාරණ උපාධිය හදාරනවා. ඒ එක්කම නීති විද්‍යාල ප්‍රවේශය ලියලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු?

නීතිය හා ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට එන්න වගේම නළුවෙක් වෙන්නත් සමාජ සේවකයෙක් වෙන්නත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. රංගන ක්ෂේත්‍රයේ හොඳ තැනකට එන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා. තාත්තගෙ ඉස්සරහ සම්මානයක් ගන්නත් හීනයක් තියෙනවා.

මේ ගමන එන්න ඔබට උදවු කළ අය සිහිපත් කළොත්?

මගේ පවුලේ අය නැත්නම් මම රංගන ශිල්පියෙක් වෙන්න හිතන්නෙවත් නැහැ. මගේ පවුල මට ලොකු වාසනාවක්. තවත් ගොඩක් අය උදවු කළා. Film Star අධ්‍යක්ෂ ඉරූෂ සිල්වා, නිෂ්පාදිකා ඉනෝකා ප්‍රේමවර්ධන මහත්ම මහත්මීන් ප්‍රමුඛව එහි හිටපු යාළුවෝ ටික අත කැඩුණු වෙලාවේ මට ලොකු සවියක් දුන්නා.

කලා ලොවට නවක ඔබ කලා ක්ෂේත්‍රය ගැන හිතන්නේ මොනවද?‍

රංගන ක්ෂේත්‍රයට එද්දි කට්ටකන්න වෙනවා. ගමේ ඉඳන් කොළඹ ඇවිත් හැමදේම තනියම හොයාගෙන කරගන්න වුණා. අපි කා ළඟටවත් යන්නෙ නැතුව කවුරුහරි අපිව හොයාගෙන එන තත්ත්වයක් අපි හදාගන්න ඕන. ඒ ගරුත්වය හැදෙන විදියට අපි කටයුතු කරනවා නම් මේ ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න පුළුවන්. රංගනය රඳා පවතින්නේ ප්‍රේක්ෂකයා මැනවින් සතුටු කිරීම මතයි.

මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?

Film Star එකේ කට්ටිය එක්ක එතුවෙලා කෙටි චිත්‍රපට ටිකක් කරනවා. රාජ්‍ය නාට්‍ය උළෙලට සූදානම් වෙනවා.

 

 

සංස්කරණය - චින්තා රණසිංහ

සටහන-චතුමී පිටිපන

 

ඡායාරූපය- රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න