ආත­තිය | දිනමිණ


 

ආත­තිය

වර්තමානයේ බොහෝදෙනෙකුට මුහුණ දෙන්නට සිදුවන“මානසික ආතතිය“ ගැටලු රැසකට මුල් වී ඇත. කෙටි කාලීන මානසික ආතතිය සෞඛ්‍යමය වශයෙන් විශාල ගැටලුවක් ඇති නොකළත් දිගු කාලීන මානසික ආතතියෙන් නම් ඔබ වහාම මිදිය යුතු ය. ඒ සඳහා ඇතැම්විට ඔබ‍ට මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබාගැනීමට පවා අවශ්‍ය විය හැකිය.

 

විනාශයකට මුල

ඕනෑම කෙනෙකු, ඕනෑම අවස්ථාවකදී මානසික ආතතියට ගොදුරු වන්නට පුළුවන. පාසලේදී, කාර්යාලයේදී, එදිනෙදා කටයුතුවලදී ඇති විය හැකි මානසික ආතතිය, සමහරු හොඳින්ම සහ ඉක්මනින්ම කළමනාකරණය කර ගැනීමට සමත් වෙති. තවත් අය අපොහොසත් වෙති. තමන්ගේ ජීවිතයේ රැකියාව, අධ්‍යාපනය, යුගදිවිය ආදී තීරණාත්මක දේ පවා ඔවුහු මානසික ආතතිය නිසා අහිමි කරගනිති.

 

ආතතියේ සැඟවුණු මිත්‍රත්වය

මානසික ආතතිය නරක දෙයක් හැටියට දකින්නට අපි පුරුදු වී සිටින්නෙමු. එහෙත් ඇතැම් කාර්යයන් සඳහා අප තුළ අභිප්‍රේරණයන් ඇති කරන්නේ එයයි. නව රැකියාවකට යෑම, විභාගයකට මුහුණදීම, සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීම වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය. අන්තරාවකදී ජීවිතය ආරක්ෂා කරගැනීමට අප පොළඹ වන්නේ ද මානසික ආතතියයි. එවැනි අවස්ථාවකට අපේ සිරුර සූදානම් කෙරෙන රසායනික ක්ෂණිකවම ශ්‍රාවය වී ආතතියක් ඇති වේ. ඉක්මන් වීම, කෙටි හුස්ම ඇතිවීම ආදී ලක්ෂණ ඇතිවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

 

මොළයේ බලපෑම

මානසික ආතතිය ඇතිවීමට මුල් වන්නේ මොළයයි. මොළයේ හයිපොතැලමසය, ස්නායු පද්ධතිය හරහා නිකුත් කරන සංඥා හේතුවෙන් ශරීරය අභ්‍යන්තරයේ රසායනික සංයුතිය වෙනස් වේ. එවැනි අවස්ථාවකදී රුධිරයේ ඇඩ්‍රිනලීන් සහ කෝර්ටිසෝල් වැනි රසායනිකයන්ගේ ප්‍රමාණය වැඩිවන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ.

 

සිතුවිලි අවුල් වීම

සාමාන්‍යය තත්ත්වයෙන් පසුවන කෙනෙකුගේ මනසේ සිතුවිලි ඇතිවන්නේ කිසියම් ක්‍රමානුකූල බවක් ඇතිව ය. එහෙත් මානසික ආතතිය ඇති වූ විට ඔබේ සිතුවිලි දෝර ගලා යයි. එය ඔබට කළමනාකරණය කර ගත නොහැක. ඉන් ඔබ වෙහෙසට පත් වනු නිසැක ය.

 

ශාරීරික බිඳ වැටීම

මානසික ආතතියෙන් ශාරීරික අපහසුතා ද නිර්මාණය වේ. අත් පා වෙව්ලීම, ශාරීරික සමබරතාවය නැතිවීම වැනි තත්ත්ව ඒ අතර ප්‍රධාන ය. රුධිර පීඩනය ඉහළ යාම, වැඩිපුර දහදිය දෑම මේ නිසා සිදු වේ. ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද බිඳ හෙළන මානසික ආතතිය නිසා බඩ බුරුල් වීමක් ද ඇති විය හැකි ය. මානසික ආතතිය වැඩි වීමෙන් මුත්‍රා පහවීම ද වැඩි වේ.

 

ප්‍රතිශක්තිකරණයේ අඩුව

නිතර නිතර මානසික ආතතීන්ට මුහුණ දෙන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. මේ නිසා එවැනි අය සම්ප්‍රතිශ්‍යාව, උණ වැනි රෝගවලට පහසුවෙන් සහ ඉක්මනින් ගොදුරු වෙති.

 

ආහාර රටා

මානසික ආතතීන්ට පත් වූ අයගේ ආහාර ගැනීමේ චර්යාව ද අවුල් සහගත තත්ත්වයකට පත් වේ. ඔවුහු සුන්බුන් කෑම සහ කෙටි කෑම වර්ග අතොරක් නැතිව කා දැමීම ප්‍රිය කරති. මේ නිසා සිරුරේ බර වැඩිවීම ස්වභාවික ය. කෙටි කෑම සහ සුන්බුන් ආහාර වැඩිපුර කා දැමීම නිසා ශරීරයේ සීනි, මේදය සහ සෝඩියම් මට්ටම් ඉහළ යෑම අරුමයක් නොවේ.

 

දියවැඩියාව

කෝර්ටිසෝල් නිදහස් වීම, රුධිරයේ ග්ලූකෝස් (සීනි) ප්‍රමාණය වැඩිවීමට හේතුවක් බව වෛද්‍යවරු පවසති. දීර්ඝකාලීනව මානසික ආතතියෙන් පෙළෙන්නකුට දෙවන මාදිලියේ දියවැඩියා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව තහවුරුව ඇත.

 

චර්යාත්මක ගැටලු

මානසික ආතතිය ඔබේ චර්යාවේ වෙනස්කම් ඇති කරන්නේ ගැටලුකාරී තත්ත්ව මතුකරමිනි. වහා කිපෙන සුළු බව, අප්‍රසන්න හෝ අප්‍රියජනක බව ප්‍රකාශ කෙරෙන ඉරියව් ඔබේ මුහුණෙන් පළ වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ බැව් ඔබ වටා සිටින අයට ඒත්තු යනු ඇත. මානසික පීඩනය, ඔබේ නින්දට බොහෝ විට බාධා කරයි. හිසරදය ද ඇතිකරයි.

 

මනා කලමනාකරණය

එදිනෙදා ඇතිවන මානසික ආතතිය කළමනාකරණය කරගැනීම සඳහා නොයෙක් ක්‍රියාකාරකම්වල යෙදීමට ඔබට හැක. ලිහිලන අභ්‍යාසවල නිරතවීම, ඇවිදීම, ක්‍රීඩා කිරීම, භාවනා කිරීම, විනෝදාංශයකට හුරුවීම, සංගීතය රසවිඳීම, පුද්ගල අන්තර් සබඳතා වර්ධනය කරගැනීම, සිනාසීම, නර්තනයේ යෙදීම, සුරතල් සතුන් ඇතිකිරීම ඒ අතර ප්‍රධාන ය. එසේ වුවත්, කල් පවත්නා මානසික ආතතිය සෞඛ්‍යට අහිතකර බැවින් මනෝවෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීම අනිවාර්ය ය.

 

අන්තර්ජාලය ඇසුරිනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න