ගුණ ගලන අල | දිනමිණ


 

ගුණ ගලන අල

අල වර්ග කාබෝහයිඩ්‍රේට් පදාර්ථ ගණයට වැටේ. අප්‍රිකාව වැනි රටවල ප්‍රධාන පිෂ්ට ධාතු ප්‍රභවය අල වර්ග ය. මෙරට ඇතැම් පළාත්වල ප්‍රධාන පිෂ්ට ධාතු ප්‍රභවය වන්නේ අල වර්ගයි. ඒ අතර අර්තාපල්, කිරි අල, මඤ්ඤොක්කා, ඉන්නල, හොඬල, ගහල, දෙහි අල ආදී වර්ග කිහිපයකි.

මෙම අල වර්ග සියල්ලේම පිෂ්ටය 60% ක් පමණ අඩංගු වේ. ඊට අමතරව තවත් පෝෂක වර්ග ද අල වර්ගවල අඩංගු වේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ප්‍රෝටීන වන ඇමයිනෝ අම්ල ද අඩංගු වේ. අල ශක්තිජනක ආහාරයකි. අලවල ඇමයිනෝ අම්ල වන ග්ලයඩින් හා ග්ලුටැමින් ඉතා අඩු ප්‍රතිශතයක් අඩංගු වන බැවින් පාන් සෑදීමට නුසුදුසු ය. එහෙත් එයට තිරිඟු පිටි එකතු කර පාන් සාදා ගත හැකිය.

මෙම අල වර්ග තම්බා, උයා, බැද, රොටී සාදා විවිධ ආකාරයෙන් ආහාරයට ගත හැක. විශේෂයෙන් ඉන්නල , ගහල, හොඬල යනාදිය කිරි හොදි සෑදීමට ඉතා කදිම ය. ඇතැම් අලවල පත්‍ර ද මිනිසාගේ ආහාරයට සුදුසු ය. බතල හා මඤ්ඤොක්කාවල පත්‍ර ඒ අතර වේ. හොඬලවල සීනි අඩංගු වන අතර, එය පැණි රසකින් යුක්තය. උදෑසනට සුදුසු ආහාරයක් වන අල පොළවේ වළලා තැබීමෙන් කල් තබාගත හැකිය.

කිරි අල, ඉන්නල, දෙහි අල, ගහල අලවල මඳ වශයෙන් අහිතකර ටැනින් වර්ග හෙවත් කිරි අඩංගු වේ. කිරි හොඳින් සෝදා හැර ආහාරයට ගැනීම වැදගත් ය. හොඬලවල සැන්තොප්‍රිල් වර්ණකය අඩංගුය. එම නිසා යකඩ ද අඩංගුය.

විටමින් A ද බහුලව ඇත. නමුත්, ස්ථුල හා දියවැඩියා රෝගීන්ට අල වර්ග නුසුදුසු ය. අලවල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් (Glycaemic Index) ඉතා වැඩි ය. එබැවින් දියවැඩියා රෝගීන්ට එතරම් සුදුසු නැත. අර්තාපල්වල ටැනින් යන රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා කුඩා ළමුන්ට හා රෝගීන්ට මනා පිෂ්ට ධාතු ප්‍රභවයකි.

 

උපදෙස් -  ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

සටහන - ය‍ශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න