අපේක්ෂකයන්ගේ බරසාර කතා ! | දිනමිණ


 

අපේක්ෂකයන්ගේ බරසාර කතා !

ජනාධිපති අපේක්ෂකයන්ගේ වේදිකාවල සාකච්ඡාවට ලක්වන ප්‍රධාන මාතෘකා දෙකක් තිබේ. ඒ කෘෂිකර්මය හා අධ්‍යාපනයයි. මේ විෂය ක්ෂේත්‍ර දෙක රට ඉදිරියට ගෙන යා හැකි මූලික සාධක දෙක ලෙස සැලැකිය හැකි අතර නායකයන් ඒ පිළිබඳ පුළුල් සංවාදයක යෙදීම යහපත් ප්‍රවණතාවක් සේ සැලැකිය හැකි ය. ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයෝ දෙදෙනා ම කෘෂිකර්මයට වැඩි බරක් දමා තම දේශපාලන කතා කරගෙන යති. දෙදෙනාගේම මතය වන්නේ වී සඳහා සහතික මිලක් ඇති කළ යුතු බව ය. එය රුපියල් පනහකට වැඩි ගණනක් වීම සුබදායක බව ගොවියෝ කියා සිටිති. වී ගොවියා ගැන පමණක් නොව අතුරුභෝග වගා කරන ගොවියන් ගැන ද සලකා බලන බව දෙදෙනා ම කියා සිටිති.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට ම හඳුන්වා ‍ඇත්තේ කෘෂිකාර්මික රාජ්‍යයක් හැටියට ය. අපේ පුරාණ රජවරු ගොවිතැන ගැන කෙතරම් සැලැකිල්ලක් දැක්වූයේ ද යත් හැමවිටම පාහේ වැවක් ඉදිකළහ. නැතහොත් වැවක් ප්‍රතිසංස්කරණය කළහ. මහා පරාක්‍රමබාහු රජුගේ ආදර්ශ පාඨය වූයේ අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ අපතේ නොයැවිය යුතු බව ය. නූතන ආර්ථික න්‍යායට අනුව රටක් දියුණු කිරීම සඳහා අපනයන ආර්ථිකයට යොමු විය යුතුය. ශ්‍රී ලංකාව අපනයන කළ යුත්තේ ද කෘෂිකාර්මික නිෂ්පාදන ය. කාර්මික නිෂ්පාදන කෙරෙහි උනන්දුවක් දැක්විය යුතු නමුදු රටේ නිෂ්පාදන සාධක ව්‍යාප්ත වී ඇත්තේ කෘෂිකර්මයට හැමඅතින්ම යෝග්‍ය වන පරිදි ය.

වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා දීර්ඝ කාලයක් තිස්සේ රටේ කෘෂිකර්මය අඩාල විය. තේ, පොල්, රබර් අපනයනය අපට උරුම වී තිබූ අතර එයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පොහොසත් විය. නිදහස ලබන විට ආසියාවේ ඉහළම ආර්ථික සමෘද්ධිය පැවැතියේ ජපානයට ය. දෙවන ආර්ථික සමෘද්ධිය පැවැතියේ ශ්‍රී ලංකාවට ය. එහෙත් අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇෆ්ඝනිස්ථානයේ ආර්ථිකයට සමාන යැයි සමහරු පෙන්වා දෙති. එය අතිශයෝක්තියක් වුව; එහි යම් ඇත්තක් ද තිබේ. ලෝකයේ හොඳම තේ නිෂ්පාදකයා ලෙස නමක් තබාගෙන සිටි ශ්‍රී ලංකාව අද එම අංශයෙන් පස්වැනි තැනට පත්වී තිබේ. රාජ්‍ය පාලනය භාරගත් සෑම නායකයකුම මේ පසුබෑමට වගකිව යුතුය.

මෙවර ජනාධිපතිවරණය දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක් හැටියට ද, රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක කඩඉමක් හැටියට ද සලකනු ලැබේ. රටේ ආර්ථිකය, දේශපාලනය, ජනතාවගේ ජීවන තත්ත්වය ආදිය පිළිබඳ පැහැදිලි වෙනසක් මේ ජනාධිපතිවරණයෙන් පසු සිදුවිය යුතුය යන්න ජනතාවගේ අපේක්ෂාව වී තිබේ. ආසියාවේ සෙසු රටවල් සමඟ සසඳනවිට අපේ ආර්ථිකය පසුවන්නේ මන්දගාමී තැනක ය. මේ වසරේ ආර්ථික වෘද්ධි 1.6%ක් ලෙස මහ බැංකුව පුරෝකථනය කර ඇත. එහෙත් වේගවත් සංවර්ධනයක් සඳහා 7%ක වාර්ෂික ආර්ථික වෘද්ධියක් සටහන් කළ යුතු ය. එය ඉටුකළ හැකි රාජ්‍ය නායකයා කවරෙක් ද?

ප්‍රධාන පක්ෂ තුනෙහි ම ප්‍රතිපත්ති ප්‍රකාශ තවම එළිදක්වා නැත. එහෙත් එම ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු විය හැකි වගන්ති අපේක්ෂකයන්ගේ කතාවලින් උපුටා ගත හැකිව තිබේ. සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද රටට ගැළපෙන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හා වැඩසටහන් නිර්මාණය කරන බවට සහතික වෙති. දෙදෙනාගේ ම අපේක්ෂාව ගොවියාගේ ‍ජීවන මට්ටම උසස් කිරීම බව පෙනෙයි. රටේ ප්‍රධාන ජීවනෝපාය ලෙස සටහන් වී ඇත්තේ ද ගොවිතැන ය. ඒ හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල සෑම ගෘහයකම පාහේ කුඩා හෝ වගාබිමක් පවතී. ගොවියාගේ ගැටලු විසැඳීම යනු රටේ සමස්ත ගැටලු සමූහයෙන් සැලැකිය යුතු කොටසක් බව අමතක නොකළ යුතුය.

ප්‍රධාන පක්ෂ දෙකෙහිම අපේක්ෂකයෝ පොහොර සහනාධාරය ගැන කතා කරති. මේ අනුව කවුරුන් බලයට පත්වුව පොහොර සහනාධාරය කපා හරින්නේ නැති බවක් පෙනීයයි. සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වී ඇත්තේ වී ගොවියාට මෙන් ම අතුරු භෝග වගාවේ නිරත ගොවියාට ද සහන සැලැසිය යුතු බවය. අතුරු භෝග වගාව වැඩිදෙනකුට අමතක වූ විෂයයක් බව පෙනීයයි. එහෙත් ගම්බද ප්‍රදේශවල බොහෝ පවුල් අතුරු භෝග වගාවෙන් නඩත්තු වෙති. කිසියම් වැඩසටහනක් ඔස්සේ අතුරු භෝග වගාව වැඩිදියුණු කළහොත් එය ජාතික ආර්ථිකයේ ප්‍රධාන බරක් දරනු ඇතැ’යි සිතන්නට පුළුවන. අතුරු භෝග ඔස්සේ අපනයන ක්ෂේත්‍රය ද වැඩිදියුණු කළ හැකි ය.

අනුර කුමාර දිසානායක මහතා සිය දේශනවලදී වැඩි බරක් තබන්නේ අධ්‍යාපනයට යැයි කිව හැකි ය. රට ගොඩනැගීමේ මූලික කාර්යය අධ්‍යාපනයෙන් ඉටුකර‍ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. ස්වකීය වැඩසටහන්වලට අනුව අධ්‍යාපනය සඳහා ඉහළම ප්‍රාග්ධනයක් යොදවන බව ද අනුර කුමාර මහතා කියාසිටී. ඔහුගේ මතය වන්නේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ පූර්ණ වෙනසක් ඇති කළ යුතු බවය. දරුවන් පාසලට වඩා ටියුෂන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බව ද වැඩි කාලයක් ටියුෂන් වෙනුවෙන් කැපකරන බව ද ඔහු පෙන්වා දෙයි. එය සත්‍යයෙකි. මේ ක්‍රමය වෙනස් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. දැනට පවතින පාසල් පද්ධතිය තුළ පවා බරපතළ විසමතා පවතී. ඒවා ඉවත්කොට පාසල් අධ්‍යාපනය ශක්තිමත් කළ හැකි නම්; එය රට ගොඩනැගීමේ පළමු ප්‍රයත්නය විය හැකි ය.

කෘෂිකර්මය හා අධ්‍යාපනය ගැන ඒ-ඒ දේශපාලන ධාරාවල සැලැසුම් හා න්‍යායයන් පූර්ණ වශයෙන් විග්‍රහයකට ලක්කළ හැක්කේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් පසුව ය. එහෙත් අප මුලින් සඳහන් කළ පරිදි අපේක්ෂකයන් එම ක්ෂේත්‍ර දෙක ගැන කතා කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් රට ගැන ගැඹුරු හැඟීමකින් ක්‍රියා කරන බවකි. අප බොහෝවිට හුරු-පුරුදු වී ඇත්තේ එකිනෙකා විවේචනය කරගනිමින් හා චරිත ඝාතනය කරමින් සිදු කරන වෛරී දේශපාලනයකට ය. ජනාධිපති අපේක්ෂකයන් ඉන් ඔබ්බට ගොස් රටට වැදගත් මාතෘකා ගැන කතා කිරීම හැම අතින්ම සුබවාදී ය.

නව අදහස දක්වන්න