කායවර්ධන අතුරු කමිටුව ඉල්ලා අස්වෙයි | දිනමිණ


 

කායවර්ධන අතුරු කමිටුව ඉල්ලා අස්වෙයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ කලක පටන් පාර්ශ්ව කිහිපයක් අතර තිබූ මතභේද හේතුවෙන් පත්කළ අතුරු කමිටුව ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාට භාරදෙයි. පසුගිය ජනවාරි මාසයේ පත්කළ කායවර්ධන අතුරු කමිටුවට එහි නිලවරණය ඉක්මණින් පැවැත්වීමේ වගකීම පැවැරී තිබූ අතර ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමෙන් පසුව මේ ඉල්ලා අස්වීම් සිදුව ඇත.

කායවර්ධන අතුරු කමිටු සභාපති ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පසුගිය සතියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර අතුරු කමිටු ලේකම් නීති නිලධාරී ශිරෝමී රණවක මහත්මිය එයට මසකට පමණ පෙර තනතුරෙන් ඉල්ලා අස් වූවාය. තිදෙනකුගෙන් සමන්විත එම අතුරු කමිටුවේ භාණ්ඩාගාරික ලෙස පී. බී. ජයතිලක මහතා කටයුතු කරන අතර එම සියලු නිලධාරීන් ක්‍රියාත්මක වූයේ කිසිදු වැටුපකින් තොරව ස්වේච්ඡා සේවයක් ලෙසිනි.

එවන් තත්ත්වයක් තුළ දුරකතන ඔස්සේ ශිරෝමී රණවක මහත්මියට හා එම කමිටුවේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතාට කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරියකු බැණවැදී තර්ජන කිරීමක් ද පසුගිය කාලයේ වාර්තා වුණි. කායවර්ධන තේරීම් කමිටු සභාපති ලෙස තිලක් ජයවීර මහතා පත්කිරීම නීති විරෝධි බව පවසා මෙලෙස දුරකතනයෙන් බැණ තර්ජනය කළ බව ශිරෝමී රණවක මහත්මිය ඉල්ලා අස්වීමට පෙර සඳහන් කර සිටියාය. ක්‍රීඩාව වෙනුවෙන් කැපවන නිලධාරීන්ට තර්ජනය කිරීම හෙලා දකින බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙසත් කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරීන් පිරිසක් බලවත් විරෝධය පළකරමින් ප්‍රකාශයක්ද නිකුත් කොට තිබිණි. විවෘත අයැදුම්පත් කැඳවීමකින්, සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වැඩිම සුදුසුකම් ඇති අය නීත්‍යානුකූලව පත්කර තිබියදී තවත් පාර්ශ්වයක් පදනමකින් තොරව විවේචන කිරීමෙන් වැඩකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බව ඔවුහූ සඳහන් කර සිටියහ. මේ ආකාරයෙන් නිලධාරීන්ට තර්ජනය කරන පුද්ගලයා ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන හා අලෙවිකරන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් බව එම නිලධාරීහු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට පවසා තිබිණි.

මේ අතර කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිකරණය සඳහා මිලියන ගණනක් වැය කිරීමට යෑම පිළිබඳ කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරීන් පිරිසක් තවත් පැමිණිල්ලක් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිකරණය ඉතා යහපත් කටයුත්තක් වුවද එම වගකීම භාරදීමට සූදානම්වන පුද්ගලයා ව්‍යාජ කායවර්ධන මධ්‍යස්ථාන සංගමයක් අටවා ගෙන ඇති අයකු බවත් එම පැමිණිල්ලේ දැක්වේ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නීත්‍යානුකූල නොවන ලෙස පවත්වාගෙන යෑමෙන් ක්‍රීඩාව පරිහානියට පත්වන බවට සම්මේලනයේ විධායක සභිකයන් පසුගිය කාලයේ මත පළ කිරීමත් සමග අතුරු කමිටුවක් නිර්මාණය වූ අතර ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත ලෝක කායවර්ධන ශූරතාවලිය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. එමෙන්ම සම්මේලනයේ අර්බුද හේතුවෙන් දේශීය කායවර්ධන තරගාවලි බොහොමයක් පවත්වා ගැනීමටද නොහැකිවී තිබේ.

නව අදහස දක්වන්න