ශ්‍රී ලංකා නීති විරෝධී ක්‍රීඩාවට ලෙබනන් පිලෙන් දැඩි දඬුවම් | දිනමිණ

ශ්‍රී ලංකා නීති විරෝධී ක්‍රීඩාවට ලෙබනන් පිලෙන් දැඩි දඬුවම්

ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර තරගයෙන් ගෝල් 3-0ක ජයක් ලෙබනනය හිමිකර ගනියි.

තරගයේ පළමු භගයේදී ගෝල් ⁣2-0ක් ලෙස ලෙබනනය ඉදිරියෙන් සිටි අතර එම ගෝල් දෙකම ශ්‍රී ලංකා පිලේ නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් අත්වූ දඬුවම් පහරවලින් වාර්තා විය. 

කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මේ තරගයට ඊයේ සවස ඇහැලුණුු වර්ෂාව බාධා ගෙන දුන්නද තරගය දිගටම පැවැත්වීමට විනිසුරු තීරණය කළේය. ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලය රැදී තිබීම හේතුවෙන් ක්‍රීඩකයෝ විශාල අපහසුතාවකින් ක්‍රීඩා කළහ.

තරගයේ 15වැනි මිනිත්තුවේදී මනරම් පෙරේරා ගෝල් කණුව ඉදිරියේදී ලෙබනන් ක්‍රීඩකයකු නීති විරෝධී ලෙස ආවරණය කිරීමෙන් දඬුවම් පහරක් පිරිනැමුණු අතර 36 වැනි මිනිත්තුවේදී ආරක්ෂක පෙළ ක්‍රීඩක චලන චමීරගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් දෙවැනි දඬුවම් පහර ලෙබනනය වාර්තා කළේය.

ලෙබනන් පිලේ තෙවැනි ගෝලය 80වැනි මිනිත්තුවේදී ඉලාල් හලල්වේ වාර්තා කළේ දඬුවම් කලාපය තුළ සිට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළේ ක්‍රීඩකයන් අන්දමන්ද කරමිනි.

පළමු භාගයේදී ශ්‍රී ලංකාවේ කේ. එන්. හර්ෂණට කහ කාඩ්පත් අවවාදයක් ලැබූ අතර තරගය පුරාවටම ලෙබනන ක්‍රීඩකයකු පමණක් ආදේශ කෙරුණි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 94 වැනි ස්ථානයේ සිටින ලෙබනනය 200 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව සමග තරග වදින අයුරු දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන් අවම පිරිසක් තුරඟ තරග පිටියට පැමිණ සිටීම කැපී පෙනුණි.

වසර 13කට පසුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව පැමිණි අතර මෙතෙක් පැවැති තරගවලදී ටර්කිමෙනිස්තානය සමග පළමු තරගයෙන් ගෝල් 2-0ක පරාජයක් අත්වූ අතර උතුරු කොරියාව සමග 1-0කින් හා දකුණු කොරියාව සමග 8-0ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විය.

නව අදහස දක්වන්න