කොළඹ නාගරික මායිමෙන් ඔබ්බට යන දේපළ කළමනාකරණය | දිනමිණ


 

කොළඹ නාගරික මායිමෙන් ඔබ්බට යන දේපළ කළමනාකරණය

වර්තමානයේ ලෝකයේ ජනගහනයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් නාගරික ජනගහනය වන අතර ආසියානු කලාපයේ ද මෙය 50% ඉක්මවයි. මෙම වැඩිවන ජනගහනය නගරයේ ආර්ථික වර්ධනය සඳහා දායක වන අතර, ඔවුන්ට නේවාසික සහ අනෙක් අපර්ව්‍යුහ

පහසුකම් සැපයීමට නාගරික ආර්ථිකයන් බැඳී සිටි.

නගර තිරසාර සංවර්ධනය කර ළඟාවීමට භෞතික, සමාජීය ආර්ථික සහ පාරිසරික සාධක පිළිබඳ වැඩි අවධානයක් දැක්විය යුතුය. නාගරික ප්‍රදේශයන්ගේ තදබදය වැඩිවනවිට ජනගහනය ක්‍රමයෙන් නාගරික සිමාවෙන් ඔබ්බෙහි පවතින නාගරික ග්‍රාමීය මායිම් දක්වා සංක්‍රමණය වේ.

මෙම සංක්‍රමණික ජනගහනය උදෙසා අපර්ව්‍යුහ පහසුකම්වලින් සමන්විත සංවර්ධනය කළහැකි ඉඩම් සපයා දීම දේපළ කළමනාකරුවන්ගේ වගකීමයි.

මෙහිදී පළාත් පාලන ආයතන රෙගුලාසිවලට අනුව භූමිය සුදුසුම උපරිම භාවිතය කර යොමු කළ යුතුය. මෙම සුදුසුම උපරිම භාවිතය සමාජීය වශයෙන් මෙන් ම ආර්ථික වශයෙන් ද සමතුලිත විය යුතුය. සාමාන්‍යයෙන් නගරයේ ජනගහනය නාගරික වර්ධනය සමඟ නාගරික මායිම්

මගින් අවශෝෂණය කර ගන්නා අතර දියුණු රටවල මෙම නාගරික වර්ධන ක්‍රියාවලිය සඳහා ක්‍රමානුකූලව ඉඩම් වෙන්කර තිබේ. නමුත් අනෙකුත් දකුණු ආසියාතික රටවල් මෙන් ම අප රටේ ද නාගරික සංවර්ධන ක්‍රියාවලිය නිදහස් ප්‍රතිපත්තියක් වශෙයන් කරගෙන යාමට අස්ථිර හා අවිනිශ්චිත රෙගුලාසි, දේශපාලන බලපෑම්, නාගරික මායිම සැලසුම් සහගතව ආරක්ෂා කර ගැනීමට පුරවැසියන්ගේ සමාජ වගකීම් නොමැතිකම වැනි සාධක බලපා තිබේ. 

කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික වර්ධනය දශක පහකට වඩා වැඩි අතීතයක් කරා දිව යයි. යටත් විජිත බලපෑම් වලට පෙරද කොළඹ නගරය දකුණු ආසියාවේ වරාය මුලික වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ වී පැවතිණි. 1505-1948 දක්වා පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිත බලපෑම්වලට කොළඹ නගරය මුහුණ දුන් අතර, ඔවුන් සියල්ලන් ම ලාභ උපරිම කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ගේ වෙළෙඳ කටයුතු ස්ථාපිත කිරීමට නගරය උපයෝගී කර ගත් අතර නගරයේ භෞතික සංවර්ධනය කෙරෙහි අවම අවධානයක් යොමු කෙරිණි.

1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ විට නගරය ප්‍රධාන වාණිජ හා පරිපාලන මධ්‍යස්ථානයක් බවට පත්ව පවතිය ද දැවෙන නිවාස සහ අනෙකුත් භෞතික ප්‍රශ්නයන්ගෙන් නගරය සමන්විත විය. එකල අනෙකුත් නගරයන්ට සාපේක්ෂව පවතින පහසුකම් හේතුවෙන් නගරය කරා ජනගහනය කේන්ද්‍රගත වීමේ ඉහළ ප්‍රවනතාවක් දැක්විය.

1946 දී රටේ මුළු නාගරික ජනගහනයෙන් 8.6%ක් වූ අතර, ඉන් 15.2% ක් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වූ අතර, මෙම ජනගහනය කොළඹ නගරය හා යාබද නාගරික ප්‍රදේශවලට සංකේන්ද්‍රගත වී පැවතිණි. එවකට කොළඹ නගරය සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව 95% ගුණයකින් ජනාකීර්ණ විය. 1971 සංගණන සංඛ්‍යාලේඛනවලට අනුව රටේ නාගරික ජනගහනයෙන් 51.8% ක් ජීවත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේය.

එසේම ශ්‍රී ලංකාවේ නිල නාගරික (මහා නගර සභා සහ නගර සභා) අර්ථ දැක්වීම අනුව 2012 දී නාගරික ජනගහනයෙන් 76% ක් කොළඹ දිස්ත්‍රික්කයේ වාසය කළ බව වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය මහා නගර සභා 5කින්, නගර සභා හතරකින් සහ ප්‍රාදේශීය සභා තුනකින් සමන්විත වේ. 2012 ජනගහන සංඛ්‍යාලේඛන මෙම කොළඹ දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතනවල ජන ව්‍යාප්තිය සම්බන්ධව අපුරු තොරතුරක් වාර්තා කරයි. ඒ අනුව කොළඹ නගරය සහ ආසන්න මහා නගර සභා වන දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, මොරටුව මහා නගර සභාවල 2001ට සාපේක්ෂව 2012 අඩුවන ජනගහන

වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන අතර කඩුවෙල මහා නගර සභාවේ පමණක් වැඩිවන වර්ධන අනුපාතයක් පෙන්වයි. නගර සභා වන මහරගම, කැස්බව, කොලොන්නාව නගර සභාවල ජනගහණ වර්ධන අනුපාතයක් පෙන්වන නමුත් එය සැලකියයුතු නොවන දශම ගණනක අනුපාතයකි. කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා එනම් කොටිකාවත්ත, හෝමාගම සහ සීතාවක සැලකියයුතු (2% වැඩි) වාර්ෂික වර්ධන වේගයක් පෙන්වයි. මෙම ප්‍රවණතාව පෙන්නුම් කරන්නේ නාගරික ජනගහණ වර්ධනය කොළඹ නගරයේ සිට රට අභ්‍යන්තරයට විහිදෙන බවය. කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික වර්ධනය අනෙකුත් දිස්ත්‍රික්ක හා සසඳන විට ඉතා ඉහළ මට්ටමක පවතින අතර, අභ්‍යන්තර තදාසන්න ප්‍රදේශවල (කොළඹ නගරයට ආසන්නව) අඩු වර්ධන වේගයක් මෙන්ම පිටත තදාසන්න ප්‍රදේශවල ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරයි. ජනගහණ වර්ධනය මෙසේ වූව ද නාගරික වර්ධනය වෙනස් ස්වරුපයක් පෙන්වයි.

නාගරික සංවර්ධනය දෙස බැලුවිට එය ප්‍රධාන වශයෙන් කොළඹ නගරය හා ඒ අවට කේන්ද්‍රගත වී ඇත. ප්‍රවාහන හා සන්නිවේදනය, තොග හා සිල්ලර වෙළෙඳාම, නිෂ්පාදන, අධ්‍යාපනය සහ සේවා අංශ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වර්ධන සාධක වේ. මෙම වර්ධන සාධක මගින් උත්තේජනය කරන නාගරික වර්ධනය කොළඹ නගරයේ ඉතාමත් වැඩි අතර ඉන් ඔබ්බට කේන්ද්‍රීය රටාවකින් ව්‍යාප්ත වී ඇත. කොළඹ නගරයේ පසුගිය දශක හතරේ නාගරික වර්ධනය සිරස් අතට ඉහළ මට්ටමක පැවතිනි. ඉන් ඔබ්බට දක්නට ලැබෙන තිරස් නාගරික වර්ධනය අවට ප්‍රදේශවලට අවිධිමත් අයුරින් ව්‍යාප්ත වී ඇති අතර වර්ධන දිශාවන් සහ ප්‍රවණතා පැහැදිලිව හඳුනාගත නොහැක.

නාගරික දියුණුව සමඟ වැඩිවන අධික ඉඩම් මිල හේතුවෙන් වාණිජ භාවිතය ක්‍රමානුකූලව නේවාසික භාවිතය ආක්‍රමණයකර ඇත. පහසුවෙන් ප්‍රවේශ විය හැකි පොදු ප්‍රවාහනයෙන් රැකියා ස්ථානයට පහසුවෙන් ගමන් කිරීම සහ දැරිය හැකි ඉඩම් ලබා ගැනීම නාගරික මායිම් ප්‍රදේශ කරා යාමට ජනතාව උත්තේජනය කිරීමට හේතු වී ඇති අතර, ඉහතින් දැක්වූ නාගරික ජනගහණ අනුපාතය වෙනස්වීමට මෙය බලපා ඇත. 

මෙම නේවාසික තල්ලුව හේතුවෙන් නගරයේ වර්ධනය, නාගරික සීමාව දක්වා අවිධිමත් අයුරින් ව්‍යාප්තවී ඇත. සාමාන්‍යයෙන් නාගරික මායිමෙන් ඔබ්බට ඇති ඉඩම් කෘෂිකර්මාන්තය මත පදනම් වන අතර, ඉඩම් සඳහා ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඉඩම් මිළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙහි අවසාන ප්‍රතිපලය වශයෙන් කෘෂිකාර්මික භාවිතයන් ක්‍රමයෙන් කෘෂිකාර්මික නොවන භාවිතයන් කරා මාරුවී ඇත. දැනට නාගරික මායිම්වලින් ඔබ්බට ඇති ප්‍රදේශවල විශාල පොල් වතු සහ රබර් වතු නේවාසික භාවිතයන් සඳහා යොදා ගෙන ඇත. සමහර ප්‍රදේශවල නාගරික රෙගුලාසිවලින් බැහැරව පර්චස් 3, 4 බිම්කට්ටිවලට ඉඩම් කොටස්වී තිබේ. මේ අවිධිමත් ඉඩම් කොටස්විම මත විවිධ පාරිසරික බලපෑම්වලට දැනටමත් මුහුණ දී ඇත. කොළඹ නගරය අවට තදාසන්න ප්‍රෙද්ශ වැසි ජලයට සංවේදී නොවන තත්ත්වයකට පත්වී තිබේ.

මෙවැනි පසුබිමක ඉඩම් කළමනාකරණය පිලිබඳ දේපළ කළමනාකරුවන් මෙන්ම සැලසුම් ආයතනද විශාල වශයෙන් සැලකිල්ල යොමු කළ යුතුය. නාගරික මායිම් යනු අනාගත නගර ව්‍යාප්තිය සඳහා භාවිත කළ හැකි ඉතාමත් වැදගත් භූමියකි. එය ක්‍රමානුකූලව සැලසුම් සහගත අයුරින් සැලසුම් කිරීම මෙන්ම නීතිගත කිරීම ඉතාම වැදගත්ය. ඉඩම් භාවිතයේ දී ද ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නොකළ යුතු අතර පරිසර සංවේදීත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේ නොවී මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් නුදුරේදී ම රුදුරු ගංවතුර උවදුරු නාගරික මායිම් ආක්‍රමණය කරනු ඇත. එහෙයින් ඉඩම් වෙළෙඳපොළ හුදු ලාභ උපරිම කරගැනීම පමණක් පදනම් කර නොගත් මිලක් පවතින මෙන්ම එයින් තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් සමාජ අභිලාෂයන් මුදුන් පත් කරීමෙන් මුදල් උපයන වෙළෙඳපොළක් විය යුතුය.

එලෙස දේපළ වෙළෙඳාම සම්බන්ධවවන නීතිමය රාමුව ශක්තිමත් වුවහොත් නාගරික මායිම්වල පවතින ඉඩම් තිරසර සංවර්ධනයක් කර රැගෙන යාම පහසු වේ. මෙය නිසැකවම ආර්ථික වර්ධනයට හේතුවේ. එහෙයින් අපට පවතින ඉතාමත් වටිනා නාගරික මායිම් ආශ්‍රිත භූමි සම්පත තිරසාර සංවර්ධනය කර යොමු කරගැනීම උදෙසා පැහැදිලි නාගරික ඉඩම් ප්‍රතිපත්තියක් සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට රජය යොමුවිය යුතුය.

මහාචාර්ය පද්මා වීරකෝන් 
දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යයන අංශය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

නව අදහස දක්වන්න