දෛවයේ සරදම! | දිනමිණ


 

දෛවයේ සරදම!

මැතිවරණ සමය තුළ යුද්ධය විකිණීම තහනම් ය. යුද ජයග්‍රහණ විකිණීම තහනම් ය. යුද වීරයන් විකිණීම ද තහනම් ය. මෙහි එන විකිණීම යන්න ඉතා සැකෙවින් පැහැදිලි කළ යුතු ය. විකිණීම යනු යුද ජයග්‍රහණය පාවිච්චි කරමින් දේශපාලන වාසි ලබා ගැනීම ය. ඊට ඉඩදීම අයුක්තියකි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට යුද ජයග්‍රහණය මුළු රටේ ම අයිතියකි. රටේ සමස්ත ජනතාව ඒ වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකර තිබේ. ඒ අනුව කිසියම් නායකයකුට, කිසියම් පක්ෂයකට, කිසියම් පවුලකට එහි ගෞරවය හිමිකර දීම හැම අතෙකින් ම වැරැදි ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවැරැදි බව ද ඔහු ගත් තීරණය නිවැරැදි බව ද අපගේ පිළිගැනීම ය.

මේ නීතිය පනවන්නට හේතුසාධක වී ඇත්තේ යුද්ධය විකුණාගෙන දේශපාලන වාසි ලබාගැනීම උපරිමයෙන් සිදුවීම යැයි සිතන්නට පුළුවන. වත්මන් හමුදාපතිවරයාගේ ඡායාරූපය හා ඔහුගේ පරණ ප්‍රකාශයක් ද උපුටා දක්වමින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා දැන්වීමක් පළකර තිබිණි. අපගේ නිරීක්ෂණවලට අනුව ඒ සඳහා හමුදාපතිවරයාගෙන් අනුමැතිය පවා ලබාගෙන නැත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වාදෙන අන්දමට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කිරීම හමුදාපතිවරයාගේ වගකීම වෙයි. එහෙත් මේ වනතුරු එබඳු ප්‍රකාශයක් නිකුත්වී නැත. කුමක් වුව මේ සිද්ධියෙන් පෙනීයන්නේ යුද ජයග්‍රහණය විකිණීමත්, ඒ ඔස්සේ දේශපාලන වාසි ලබාගැනීමත් තව ම සිදුවන බව ය.

ආක්‍රමණික නාසි හමුදාව රුසියාවට කඩාවැදී ගම්-නියම්ගම්, නගර - උප නගර විනාශකරමින් ඉදිරියට ඇදෙනවිට තරුණ රුසියන් සොල්දාදුවෝ ඔවුන්ට යසපාඩමක් ඉගැන්වූහ. නාසි හමුදාව පැරැදිණි. ඔවුන්ට හකුළාගෙන ජර්මනිය බලා පසුබසින්නට සිදුවිය. මේ යුද ජයග්‍රහණය රුසියානුවන් සැමරුවේ සොල්දාදුවන්ට මල්කළඹ දෙමින් හා ඔවුන් සිප වැලඳගැනීමෙන් ය. රුසියන් තරුණියෝ මල්කළඹ දීමෙන් නොනැවතී සොල්දාදුවන්ගේ දෙතොල සිප ගැනීමට තරම් ඉදිරියට පැමිණියහ. යුද්ධයේ සැබෑ වීරයෝ සොල්දාදුවෝ ය. නැතහොත් සෙබළු ය. ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණයකින් අවසන් වූයේ ඒ ආකාරයට නොවේ. සොල්දාදුවන් වෙනුවට දේශපාලකයන් සිපගැනීමට ජනී-ජනයා ඉදිරිපත්වූහ. සැබැවින්ම එය සිදුවූයේ දේශපාලකයන්ගේ උපායමාර්ග නිසා ය.

යුද්ධය කළේ දේශපාලකයා ය. යුද්ධය ජයග්‍රහණය කළේ දේශපාලන නායකයා ය. ත්‍රස්තවාදය පරාජය කළේ නායකයා ය. තීරණ ගත්තේ නායකයා ය. යුද වීරයා ද ඔහු ය. යන හැඟීමක් හා අදහසක් සමාජය තුළ ව්‍යාප්ත කර තිබිණි. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පෙර නායකයන් සිදුකළ දේශපාලන කාර්යභාරය යටගසා තිබිණි. ජනතාව බොහෝවිට හැඟුම්බරය. ඇතැම්විට මෝඩ ය. මෙයින් හොඳහැටි ප්‍රතිඵල නෙළාගත් දේශපාලන කණ්ඩායමක් සිටියේය. එම කණ්ඩායම යුද්ධයත්, යුද ජයග්‍රහණයත් හොඳහැටි අලෙවි කළේය. ඒ ඔස්සේ ඇතැම් මැතිවරණ ජයග්‍රහණය කළේය. ඔව්හු අදත් එය එලෙසින්ම සිදුකරමින් සිටිති. මේ ක්‍රියාවලියෙන් ඇත්ත යට යයි. බොරුව උඩ එයි. යුදමය නැඹුරුවක් වෙත රට තල්ලුවෙයි.

දකුණේ සිංහල ඡන්ද කඩාගැනීමට ඇති හොඳ ම උපායමාර්ගයක් වන්නේ යුද්ධය අලෙවි කිරීම ය. ත්‍රස්තවාදය පරාජය කිරීම නැවත - නැවත සිහිපත් කිරීම ය. මේ අලෙවිය දිගින් - දිගටම සිදුවිය. 2009 සිට 2015 දක්වා එය උපරිම වශයෙන් සිදුවිය. රට රකින්නා, දේශප්‍රේමියා, මව්බිමේ අයිතිකාරයා යන ලෙසින් ඇතැම් නායකයන් ලේබල් කරන්නට පටන් ගැනිණි. නායකයන්ට ආර්ථික හා දේශපාලන දර්ශනයක් තිබුණත් නැතත්, වැඩපිළිවෙළක් තිබුණත් නැතත් ඔහු යුද වීරයකු නම්; ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා තැනකට රට තල්ලු වී තිබිණි. මෙය භයානක ප්‍රතිඵල උදාකරන ක්‍රියාදාමයක් විය. අදටත් එය නිසි ලෙස අවබෝධ කර ගැනීමට ජනතාව අසමත් ය. එබැවින් යුද වීරයෝ පසුපස හඹායන පුද්ගලයෝ අදත් සිටිති. කෙසේ වුව පුද්ගලයකුට, පවුලකට මෙතෙක් ලියාගෙන තිබුණු යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකම කාටද යනවග බළලා මල්ලෙන් පැන්නාසේ පසුගිය දිනෙක එළිවිය. සත්‍ය ජයගනී යන්නට එය ද නිදර්ශනයකි.

යුද්ධයක් නිමා වූ පසු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රට තුළ සිදුවිය යුතුව තිබිණි. එය වටහා ගැනීමට තරම් එදා සිටි පාලකයන් බුද්ධිමත් වූයේ නැත. සාමාන්‍ය කියමනකට අනුව ගංවතුරකින් පසු ගෙවල් සෝදා පවිත්‍ර කළ යුතු ය. යුද්ධයකින් පසු රටක් තුළ ද සමාජ - ආර්ථික - දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු ය. ශ්‍රී ලංකාවේ එබඳු කිසිවක් සිදුවූයේ නැත. සිදු වූ එකම දෙය නම්; යුද වීරයන් යළි - යළිත් හුවා දැක්වීම පමණි. මේ නිසා ජාතික සමගිය, ආගමික සංහිඳියාව යන ක්ෂේත්‍ර පිරිහීමට ලක්විය. යුද වීරත්වය තවදුරටත් ඉදිරියට යන අතර ජාතිවාදය හා ආගම්වාදය ඇවිලී ගියේ ය. එලෙසම අන්තවාදය තැනින් - තැනින් මතුවන්නට පටන් ගත්තේ ය. පාස්කු ප්‍රහාරය පවා එහි ප්‍රතිඵලයක් ලෙස සලකන්නට පුළුවන.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගෙන ඇති තීරණය ඉතා කාලෝචිත ය. එලෙස ම බුද්ධිමත් ය. යුද්ධය මැතිවරණය සඳහා යොදාගන්නේ නම්; එතැන නිදහස් හා ස්වාධීන මැතිවරණයකට අවශ්‍ය පසුබිම ගොඩනැ‍ඟෙන්නේ නැත. යුද ජයග්‍රහණය අලෙවි කිරීමට තහංචි පැනවීම ඉතා වැදගත් තීන්දුවකි.

නව අදහස දක්වන්න