ජපනා හරිම හපනා යන කතාව අපට ඇසුනේ බොහෝ කලකට පෙරය. හිරු නැගෙන දේශය නමින් විරුදාවලිය ලැබූ ජපානය තාක්ෂණික පැත්තෙන් ඉහළම ස්ථානයක සිටින හෙයින් ලෝකයට අලුත් දෑ එකතු කළ රටක් ලෙස විශාල ප්‍රසාදයක් හිමිකර ගෙන ඇත.
ලබන වසරේ මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ බැවින් ඔවුන් කලක සිට ඒ වෙනුවෙන් වෙහෙසවී කටයුතු කරමින් සිටී. ජපන් ජාතිකයන් නිතරම සිය වැඩ පහසු කරගන්න අලුතින් හිතන ජාතියක් බව යළිත් තහවුරු කරමින් ඔලිම්පික් පදක්කම් නිර්මාණය ප්රතිචක්රීයකරණ ක්‍රියාවලියකින් සිදු කිරීමට පෙළඹුණි. භාවිතයෙන් ඉවතලූ ජංගම දුරකතන අභ්‍යන්තරයේ ඉතා සියුම් ලෙස ඇති රන්, රිදී හා ලෝකඩ උපයෝගී කරගෙන පරිසර හිතකාමී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඔලිම්පික් පදක්කම් නිර්මාණය ක්‍රීඩා උළෙල පැවැත්විමට වසරකටත් කලින් ජපන් ජාතිකයෝ නිමා කොට ඇත.
මෙලෙස නිර්මාණය කරන ලද පදක්කම් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට මෙන්ම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලටද උපයෝගී කර ගැනේ.
ඔලිම්පික් පදක්කම් නිර්මාණය කිරීම උදෙසා සංවිධායකයෝ මුලින්ම කළේ ජපානයේ වෘත්තීය නිර්මාණකරුවන් සහ පාසල් සිසුන් අතර තරගයක් පැවැත්වීමය. එයට 400කට අධික නිර්මාණකරුවන් සහභාගීවී සිටි අතර පාසල් සිසුන් සමූහයක්ද සිටියහ. එහිදී විවිධ යෝජනා සහිතව නිර්මාණ ඉදිරිපත්කර තිබූ අතර පදක්කම් නිර්මාණය කළ යුත්තේ ජංගම දුරකතන ප්‍රතිචක්‍රීය ක්‍රියාවලියකින් බව ජුනිචී කවානිෂි පදක්කම් සාම්පල ද සහිතව ඉදිරිපත් කොට තිබිණි. එම යෝජනාව පිළිගෙන එය යථාර්තයක් කිරීමට 2020 ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයෝ වහාම තීරණය කළහ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ හා සහය දැක්වන්නන්ගේ යෝධ ශක්තිය හා කැපවීම සංකේතවත් කිරීම මේ ඔලිම්පික් පදක්කම් නිර්මාණයෙන් නිරූපණය කර ඇති බවත්, ඒ සඳහා විවිධ කෝණවලින් සකසා ඇති පදක්කම් පිටත සංයුතියේ සෑම ස්ථරයක්ම ආලෝකය වෙනස් ලෙස සකසා ඇති බවත් ජුනිචී කවානිෂි සදහන්කර ඇත. එම පදක්කම් නිර්මාණකරුට අනුව, දීප්තිමත් පරාවර්තනයෙන් ‘මිත්‍රත්වයේ උණුසුම’ සංකේතවත් කරන බව පවසයි. කවානිෂි ඔලිම්පික් පදක්කමෙන් මනාව සංකේතවත් කොට ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උත්සාහය හා ජයග්‍රහණය යන සංකල්ප නියෝජනය වන පරිදි බව පැවැසේ.
ටෝකියෝ 2020 ලාංඡනය එල්ලන රිබන් පටිය ජපානයේ කිමොනෝ සඳහා භාවිතා කරන ලේයරින් තාක්ෂණය වැනි සාම්ප්‍රදායික ජපන් මෝස්තරයකින් ලබාගෙන ඇත. කවානිෂි පවසන පරිදි, එම රිබන් පටිය නිර්මාණය කර ඇත්තේ ජපානයේම පිළිබිඹුවක් ලෙසින් වන අතර එයින් ‘විවිධත්වයේ එකමුතුව‘ විදහා දැක්වේ.
ටෝකියෝ 2020 ඔලිම්පික් පදක්කම් ව්‍යාපෘතිය සඳහා ජපන් ජාතිකයන් භාවිතයෙන් ඉවතලූ ජංගම දුරකථන හා කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ ටොන් 80,000 ක් පරිත්‍යාග ලෙස ලබාගෙන ඇත. එයට ඉවතලූ ජංගම දුරකතන පමණක් මිලියන 6.21ක් ඇතුළත්ව තිබේ. ක්‍රීඩා උළෙලට අවශ්‍ය පදක්කම් 5000ක් නිර්මාණය කිරීම සඳහා රත්තරන් කිලෝග්‍රෑම් 30.3ක්, රිදී කිලෝග්‍රෑම් 4100ක් හා ලෝකඩ කිලෝග්‍රෑම් 2700ක් ජංගම දුරකතනවලින් ලබා ගැනීමට හැකිව තිබේ. පදක්කමේ දිලිසෙන ස්භාවය ඇතිකර ගැනීම සඳහා ජපන් වැසියන් පරිත්‍යාග කළ ජංගම දුරකතනවල ලෝහ 100% ක්ම භාවිතාවීම ජපන් වැසියන්ගේ නිහතමානී ආඩම්බරයට හේතුවී ඇත.
තම නිර්මාණය ටෝකියෝ 2020 ඔලිම්පික් පදක්කම සඳහා තෝරා ගැනීම ඉමහත් ගෞරවයක් බව පදක්කම් නිර්මාණ ශිල්පී කවානිෂි සඳහන් කළේය. “මගේ නිර්මාණය හා සැලසුම තෝරා ගනු ඇතැයි මා සිහිනෙන්වත් හිතුවේ නෑ. ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මෙම ව්‍යාපෘතිය පරිසර හිතකාමී සහ තිරසාර සමාජයකට දායක වීමට දරන උත්සාහයක්” ලොවට කදිම ආදර්ශයක් ලබාදුන් ජුනිචී කවානිෂි පැවැසීය.
නව අදහස දක්වන්න