එජාපය කොන්දේසිවලට යටත්වී දේශපාලනය කරන්නේ නෑ | දිනමිණ


 

එජාපය කොන්දේසිවලට යටත්වී දේශපාලනය කරන්නේ නෑ

එක්සත් ජාතික පක්ෂය කිසි දිනෙක කොන්දේසිවලට යටත්වී දේශපාලනය කරන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසීය.

කෑගල්ල, රුවන්වැල්ල, අඟුරුවැල්ල නගරයේ ඉකුත් දා (15) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කබීර් හෂීම් මහතා මෙසේ ද පැවසීය.

ඉතිහාසයේ විශාලතම ජනතාව පසුගිය 10 දා කොළඹ ගාලුමුවදොර පිටියට පැමිණ, රට තුළ දැවැන්ත පිබිදීමක් ඇති කළා. මහවැලි, කැලණි, කළු, වලවේ සතර මහා ගංගා හැරෙවූ අයුරින් මහා ජන ගංගාවක් සජිත් බලන්න, සජිත්ට සහාය දෙන්න, එක් රොක් වුණා. ඒ මහා ජන බලවේගය අද වනවිට රට පුරාම සජිත් ප්‍රේමදාසගේ විජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරනවා.

එක්සත් ජාතික පක‍ෂය හැමදාම මේ රටේ දේශපාලන බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගන්න අරගල කරපු, දුක් විඳපු පක‍්ෂයක්. 2015 වසරේ එහෙම අරගල කරල ලබාගත්තේ සීමිත බලයක්. ඒ නිසා හැදුවේ ජාතික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව තුළ වැඩ කරන්න සිදුවුණේ අභියෝග රාශියක් එක්ක. විශ්වාසභංග, කුමන්ත්‍රණ, ආවා. අපේ ආණ්ඩුව අගමැතිකම පස්ස දොරෙන් අරගෙන, විපක‍්ෂය විසින් දින 52ක පාලනයක් හදාගත්තා. අපි මේ හැම කුමන්ත්‍රණයකටම ඔරොත්තු දුන්නා. අපේ එකමුතුකමේ ශක්තිය පෙන්නුවා. එක්සත් ජාතික පක‍්ෂය අභියෝග මැද වුවත් විශාල වැඩ කොටසක්, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ඉටුකළා. එක්සත් ජාතික පක‍්ෂය තනිවම කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තෙ මේ වසරේ ජනවාරි මාසෙදි. ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ අත දිගහැරල වැඩ කරන්න පටන් ගත්තා. ඒ කාල පරිච්ඡේදයේ අපේ ආණ්ඩුව ජනතාවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ගම්පෙරලිය, රන්මාවත්, සමෘද්ධිය, සුවසැරිය, ඖෂධ මිල අඩුකිරීම, මහපොල ශිෂ්‍යත්වය වැඩිකිරීම, ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම, ආබාධිත පුරවැසි දීමනාව දෙගුණයකින් වැඩි කිරීම, සසුනෝදය වැඩසටහන, සුරක‍්ෂා රක‍්ෂණය, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය, නව රැකියා ලබාදීම, හමුදා නිලධාරීන්ගේ දීමනාව වැඩිකිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටු කරන්න අපට ශක්තිය තිබුණා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස ජනපති අපේක‍්ෂක කරන්නත් අපි ලොකු සටනක් දුන්නා. අපේ ප්‍රතිවාදීන් හිතුවේ එක්සත් ජාතික පක‍්ෂය බෙදිලා, වෙන්වෙලා පක‍්ෂය විනාශ වෙයි කියා. නමුත් මේ දැවැන්ත පක‍්ෂය සියලු දෙනාම එකතුකර ගෙන එක්සේසත්කර ගෙන, රට ඉල්ලන අපේක‍්ෂකයා වන සජිත් ප්‍රේමදාස ජනපතිවරණයට ඉදිරිපත් කරන්න අපි සියලු දෙනාම එකාවන්ව රොද බැඳ ගත්තා. මේක තමයි එජාපයේ ශක්තිය. අපි දිනන අපේක‍්ෂකයා රටට ලබාදුන්නා.

ඊළඟට කියනවා ජාතික ආරක‍්ෂාව ගැන. එක්සත් ජාතික පක‍්ෂය සුළු පක‍්ෂ සමඟ එකතුවෙලා ඉන්නවලූ. එදා සුළු පක‍්ෂ මහින්ද රාජපක‍්ෂ සමඟ එකතුවෙලා හිටියෙ. සුළු පක‍්ෂවල අය, මහින්ද රාජපක‍්ෂ ආණ්ඩුවේ අවුරුදු 10ක් ඇමැතිකම් දැරුවා. නමුත් අද ඒ සුළු පක‍්ෂවල අය සජිත් ප්‍රේමදාස ජනපති අපේක‍්ෂක කරන්න එකතු වූ අය. ඒ කිසිම පක‍්ෂයක් සමඟ, කිසිදු කොන්දේසියකට එක්සත් ජාතික පක‍්ෂය හෝ සජිත් ප්‍රේමදාස හෝ යටත්වෙලා නැති බව අවධාරණයෙන් යුතුව කියනවා.

කිසි දවසක එක්සත් ජාතික පක‍්ෂය සන්ධාන ගතවන විට කොන්දේසිවලට යටත් වූ පක‍්ෂයක් නොවෙයි. මේ සියළු පක‍්ෂ, සජිත් ප්‍රේමදාස ජනපති අපේක‍්ෂකගේ ප්‍රතිපත්ති හා ජනතාවාදී වැඩපිළිවෙල කෙරෙහි එකඟතාව දක්වා තිබෙනවා. රට ගොඩනඟන, රට හා ජනතාව ආරක‍්ෂා කරන ජාතික වැඩපිළිවෙල අප තුළ තිබෙන නිසා සියලු දෙනාගේ එකඟතාව හිමිව තිබෙනවා. තොණ්ඩමන් මහතා, මහින්ද රාජපක‍්ෂ සහ ගෝඨාභය රාජපක‍්ෂට සහය දෙන්න එක් වුණාලූ. නමුත් තොණ්ඩමන් මහතා කියනවා ඒ එකතු වුණේ කොන්දේසි 32කට අස්සන් කළාට පසුවයි කියලා. එතකොට කොන්දේසිවලට යටත් වෙන්නෙ කවුද?

එක්සත් ජාතික පක‍්ෂය මේ රටට නිදහස ලබා දෙන්න කැප වූ පක‍්ෂය විදිහට මේ රට ආරක‍්ෂා කරමින් රට දියුණු කරන්න සියලු දෙනාගේ සහාය ඇතිව කටයුතු කරනවා.

රුවන්වැල්ල එක්සත් ජාතික පක‍්ෂ ප්‍රධාන සංවිධායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, යටියන්තොට එක්සත් ජාතික පක‍්ෂ ප්‍රධාන සංවිධායක සුජිත් සංජය පෙරේරා, දැරණියගල එක්සත් ජාතික පක‍්ෂ ප්‍රධාන සංවිධායක රංජිත් පොල්ගම්පොල, අරණායක එක්සත් ජාතික පක‍්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලලිත් දිසානායක යන මහත්ම මහත්හු ඇතුලු පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න