ගෝඨාභය මාධ්‍ය හමුවේ රණවිරුවන් පාවා දුන්නා | දිනමිණ


 

ගෝඨාභය මාධ්‍ය හමුවේ රණවිරුවන් පාවා දුන්නා

උදුලා පීරිස්

මෙතෙක් මාධ්‍ය හමු වෙනුවෙන් සහභාගී නොවුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉකුත් 15 දා ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී රණවිරුවන් පාවාදීමක් සිදුකළ බවත් එය රණවිරුවන් දන්ගෙඩියට යැවීමට සිදුකළ සෘජු ප්‍රකාශයක් බවත් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

වොක්ෂෝල් වීදියේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පෙරේදා (16)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීය.

පසුගිය වකවානුවේ මෙරට පැවති යුද්ධය අවසානයේදී භාර වූ එල්. ටී. ටී. ඊ්. සාමාජිකයන් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකදී එම රණවිරු පාවා දීම සිදු කළා. රටේ ආර්ථිකය, ජනාධිපති බලතල සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලදීත් ඒ මහතාගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂගේ මුහුණ බලා උත්තර දීමෙන් වැලකී සිටියා. ඒ සම්බන්ධව කරුණු කාරණා දන්නේ නැත්නම් අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් මාධ්‍ය ඉදිරියට එන විට ඒ ඒ විෂයන් සම්බන්ධව දැනුමක් ලබා තිබීම අත්‍යවශ්‍යයි.

එදා මෙරට පැවැති යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් යුද්ධය මෙහෙයවීම සරත් ෆොන්සේකා විසිනුත් සිදුකළ බව කියමින් ගෝඨාභය එහිදී හිටපු හමුදාපතිවරයාව පාවා දුන්නා.

පසුගිය වකවානුවෙත් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් යම් යම් චෝදනා අප රටට එල්ල වුණා. නමුත් ඒ කාලයේ සිටම ඒ සියලු චෝදනා අපි ප්‍රතික්ෂේප කළා. අපි මහින්ද ජනාධිපති සිටි කාලයේ සිටම යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කළා.

රාජපක්ෂලා මේ තරම් කල් රණවිරුවන් සමඟ කතා කළා. රණවිරුවන් දන්ගෙඩියට ගෙනයාම වලක්වනවා කිව්වා. ඔවුන් හිටපු හමුදාපතිව පාවා දුන්නා. මේ රටේ රණවිරුවන් දන්ගෙඩියට දාන්න සැලසුම් කරන්නේ ගෝඨාභයයි.

ගෝඨාභය දේශප්‍රේමීත්වය, ජාතිකත්වය ගැන කතා කරනවා. නමුත් මාධ්‍යට උත්තර දෙන්න හැංගෙනවා. ජනමාධ්‍යට උත්තර දෙන්න සරත් ෆොන්සේකා සමඟ සංවාදයකට එන්න කියා එදා සිටම අපි ගෝඨාභයට කිව්වා. නමුත් එසේ නොකර ඉකුත් 15 මාධ්‍ය ඉදිරියට ඇවිත් විශාල මවා පෑමක් සිදුකළා. රටේ සංස්කෘතිය, දේශපාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්න තරම ගෝඨාභය දැක් වූ චිත්‍රය තුළින් රටම දැක්කා. මේ රටේ ප්‍රශ්න පිළිබඳ අවබෝධය, යුද්ධය අවසානයේ චෝදනා පිළිබඳ මාධ්‍ය හමුවේදී හෙලිදරව් වුණා.

නව අදහස දක්වන්න