කතාවට සීමා වූ යාපනය ගුවන්තොට සැබෑවක් කළා | දිනමිණ

කතාවට සීමා වූ යාපනය ගුවන්තොට සැබෑවක් කළා

නිමල් රාජපක්ෂ

වසර 30ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී තිබූ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු කෙටිකාලයකින් නිමකර කලාපීය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) විවෘත කෙරිණි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැයකර නොමැති බවත්, වැය වූ මුදල් වසරකින් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් කීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපීය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමේ උත්සවයට ඊයේ (17)‍ සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීම පිළිබඳ වසර 20 – 30 ක් පමණ සාකච්ඡා කළා. එම සාකච්ඡා සියල්ල වචනයට පමණක් සීමා වී තිබූ බව කිව යුතුයි. නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සාකච්ඡා කිරීමට අපට හැකි වුණා.

ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු, මැයි මාසයේ දී මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ රටේ පැවැති තත්ත්වය සමඟ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි දැයි ඇතැම් අය ප්‍රශ්න කළා. කෙසේ හෝ මෙම කටයුත්ත සිදු කිරීමට අප තීරණය කළා. ඒ අනුව මාස 6ක් ගත වීමට පෙර ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලබාදීමට අපට හැකි වුණා.

අද අප විවෘත කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පළමු අදියර පමණයි. විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළ ආකාරයට තවත් අදියර කිහිපයක් ආරම්භ කිරීමට තිබෙනවා. මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ 320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදා වෙනවා.

මෙම ගුවන් තොටුපොළ සහ එහි ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් වැය කළේ නැහැ. මාස කිහිපයක් ඇතුළත මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට අපට හැකි වුණා. ඒ සඳහා වැය වූ මුදල් වසරකින් නැවත උපයා ගන්න පුළුවන්.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු , ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, ඊ. සර්වනභවන්, අංගජන් රාමනාදන්, කේ.කේ. මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, යාපනය නගරාධිපති ඉමානුවෙල් ආර්නෝල්ඩ්, උතුරු පළාත් සභා හිටපු සභාපති ජී.වී.කේ. සිවඥානම්, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් දෙනායන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීහු රැසක් සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න