නිලධාරීන්ගේ හැසිරීම | දිනමිණ

නිලධාරීන්ගේ හැසිරීම

මැතිවරණ සමයක් තුළ දේශපාලකයන් කෙසේ ක්‍රියා කළ යුතුද, ඔවුන්ගේ චර්යාවන් කෙසේ විය යුතුද යන්න පිළිබඳ තීන්දු තීරණ ගත හැකි නෛතික හා සදාචාරාත්මක පසුබිමක් අපට තිබේ. නීතිය යන්නෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ ක්‍රියාවලිය ආදිය හැඳින්වෙන අතර සදාචාරාත්මක යන්නෙන් අපේ සංස්කෘතිය හා සම්ප්‍රදාය අපේක්ෂා කෙරේ. දේශපාලනයේදී මේ එකදු වැදගත් කරුණක් හෝ සැලකිල්ලට ලක් නොවන බව පෙනෙන්නට තිබේ. ඒ අතරින් ද නිලධාරීන්, ඉහත සාධක නොසලකා හැරීම භයානක තත්ත්වයක් ඇති කරන්නට හේතු සාධක වන්නට පුළුවන.

යුද්ධය හා යුද ජයග්‍රහණ අලෙවි කිරීම සහ ඒ ඔස්සේ ජනතාවගේ ඡන්දය කොල්ලකෑම දිගින් දිගටම සිදුවිය. අදටත් එය එලෙසම සිදුවෙයි. 2000 ගණන්වල සිට 2009 දක්වා එක ආකාරයකටත් 2009 සිට 2015 දක්වා තවත් ආකාරයකටත් එය ගලාගෙන ගියේ ය. 2009 – 2015 දක්වා කාලය තුළ යුද්ධය හා යුදමය ජයග්‍රහණය උපරිම ආකාරයෙන් දේශපාලන වාසිය සඳහා යොදාගත් බව පෙනෙන්නට තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නිර්දේශවලට අනුව යුද්ධය විකිණීම තහනම් ය. යුද ජයග්‍රහණ විකිණීම තහනම් ය. වීරයන් හුවාදැක්වීම තහනම් ය. මෙය අයහපත් දෙයක් නොවේ. සමාජ වීරයන් බිහිවිය යුත්තේ ඇත්ත අරගල සමඟය. මෑත කාලයේ එබඳු අරගල තුළ කිසිදු කෙනෙක් නැත. ජනතාවගේ ඡන්ද කොල්ලකෑම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක වෙයි. ඒ අතර රාජ්‍ය නිලධාරීන් ද ඒවාට සම්බන්ධ වන අවස්ථා ද තිබේ.

රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන බලවත් තනතුරු දරන පුද්ගලයන් කිසියම් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීම වැරැදි ය. කිසිදු දේශපාලන න්‍යායක් වෙනුවෙන් පෙනී සිටීම වැරැදිය. කිසිඳු දේශපාලන විවේචනයක් කිරීම ද වැරැදිය. එලෙසම කිසිඳු දේශපාලන ප්‍රවාහයක් වෙනුවෙන් පෙනී සිටීම ද වැරැදිය. එහෙත් අපේ රාජ්‍ය නිලධාරීන් අඩු වැඩි වශයෙන් ඒවා සිදු කරන බව පෙනෙන්නට තිබේ. වත්මන් යුද හමුදාපතිවරයා වෙත ද එම චෝදනාව එල්ල කළ හැකි ය. එය අපගේ නිගමනයක් නොවන අතර මහජනයාගේ නිගමනයක් ලෙස සැලකීම වඩා නිවැරැදිය.

යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් සහ පරණ ප්‍රකාශයක් ද උපුටා දක්වමින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකර තිබිණි. එය කෙළින්ම ජනාධිපතිවරණය සඳහා බලපෑමක් කරන සාධකයකි. කිසිඳු රාජ්‍ය නිලධාරියකුට දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීමේ නෛතික පසුබිමක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ නැත. සම්ප්‍රදාය තුළ ද නැත. සදාචාරය තුළද එය වැරැදිය. හමුදාපතිවරයා තමන්ගේ ඡායාරූපය සහ පැරැණි ප්‍රකාශය උපුටා දැක්වීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් මේ වන තෙක් දක්වා නැත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටින්නේ ඔහු ඒ පිළිබඳ ප්‍රකාශයක් කරන්නේ නම් වඩා වැදගත් බවය. එහෙත් වත්මන් හමුදාපතිවරයා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම අවුල් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් එක පැත්තකින් උසස් දේශපාලන සංස්කෘතියක් අපේ දේශපාලන සංස්කෘතිය වෙත හඳුන්වාදිය යුතුය. අනෙක් පැත්තෙන් අපේ රාජ්‍ය නිලධාරීන් ද වැදගත් සංස්කෘතියක් වෙත කැඳවාගෙන යා යුතුය. දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් තම තමන්ගේ යුතුකම් හා වගකීම් හරිහැටි ඉෂ්ට කරන්නේ නම් රටේ පවතින දේශපාලනික හා ආර්ථික ගැටලුවලින් බොහොමයක් විසඳාගත හැකිය.

 

නව අදහස දක්වන්න