ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත නොවැම්බරයේ මැති සබයට | දිනමිණ


 

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත නොවැම්බරයේ මැති සබයට

ප්‍රින්ස් ගුණසේකර
ක්‍රීඩා අමාත්‍යංශයේ නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම උදෙසා කෙටුම්පත් කරන ලද විශේෂ පනත ලබන නොවැම්බර් 5 හෝ 6 පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කිරීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එලෙස සම්මතවන ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම උදෙසා වූ විශේෂ පනත රටේ නීතියක් බවට පත්වන්නේ යැයි ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ පනතට සහය දෙන්නේ කවුරුන්ද? විරුද්ධ වන්නේ කවුරුන්ද යන්න තුලින් ක්‍රීඩාවට ආදරේ පුද්ගලයන් ඉදිරියේදී පහසුවෙන් හඳුනාගත හැකි බව ඒ මහතා සඳහන් කළේය.

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඇමතිවරයා ඒ බව පැවසීය. මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ක්‍රීඩා පනත් සංශෝධන හා තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයේ නීතිමය පසුබිම පැහැදිලි කළේය.

“ක්‍රීඩා ඇමැතිතුමා විසින් ක්‍රීඩා පනතේ සංශෝධන කීපයක් කළා. ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට කිසියම් පුද්ගලයකු හෝ ඔහුගේ ළඟම ඥාතියකු ව්‍යාපාරයට සම්බන්ධ නම් ඔහුට ක්‍රීඩා සංගම්වල නිලතල දැරිය නොහැකි බවට නීතියක් ගෙන ආවා. ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ විය නොහැකි බවට කලින් ලෙස ක්‍රීඩා නීතියේ තිබුණා. නමුත් එහි පැහැදිළි කිරීමක් තිබුණේ නෑ. සංශෝධනයෙන් කළේ ඒ තිබුණ නීතියේ පැහැදිළි කිරීමයි. ඒ සම්බන්ධ රෙගුලාසි පසුගිය අගෝස්තු මාසයේ සංශෝධන කළා. ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නිර්දේශ අනුවයි තහනම පැනවුවේ. සියලු දේ නීත්‍යානුකූලව සිදුව තිබෙනවා” කීර්තිනන්ද මහතා පැවැසීය.අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් තිලංග සුමතිපාල මහතාට එරෙහිව බරපතල චෝදනා එල්ලකර තිබූ බවත්, එම චෝදනා කිසිවක් තමන් හෙළි නොකරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව සුමතිපාල මහතා සම්බන්ධයෙන් කර තිබූ බොහෝ කරුණු දරුණු ඒවා හැටියටයි දැක්කා. අප ඒ සම්බන්ධ නීතියට අනුව කටයුතු කළා. සුමතිපාල මහතාට උත්තර දෙන්න මා සූදානම් නෑ. මා වැඩ කරන්නේ නීති රාමුවක් යටතේ. මම ගනුදෙනු කරන්නෙ ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති සහ ලේකම් සමඟයි. සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජන කිරීම පිළිබඳ විවේචන එල්ල වුණා. ඒ මහතා අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ වගකීම අතට ගත්තා. ඒක සදාචාර විරෝධී බවට පැමිණිලි ලැබුණා. මට එතුමා සමඟ කිසිඳු පෞද්ගලික ප්‍රශ්නයක් නෑ”

“තිලංග මහතාට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන්. එහිදී එතුමාට කරුණු දක්වන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව එවපු ලියවිල්ල උසාවියට ඉදිපත් කරන්න පුළුවන්” ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

නව අදහස දක්වන්න