ගෝඨාභය බලයට ආවොත් හිට්ලර් පාලනයක් නිර්මාණය වෙනවා | දිනමිණ

ගෝඨාභය බලයට ආවොත් හිට්ලර් පාලනයක් නිර්මාණය වෙනවා

ස්වර්ණා විජේකෝන්

ජාතිවාදී අන්තවාදි කල්ලි යළි හිස ඔසවමින් තිබෙනවා 
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර

අනාගතයක් උදාකළ හැකි ජනාධිපති අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි 
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අංශු මාත්‍රයක හෝ හැගීමක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි අයකු බලයට පත්වුවහොත් හිට්ලර් පන්නයේ පාලනයක් රට තුළ නිර්මාණය වීම කිසිසේත් වැළැක්විය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංවිධානය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදින්ගේ සංවිධානය පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදින්ගේ සංවිධානයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා මෙසේද පැවසීය.

මෙවර ජනාධිපතිවරය තීරණාත්මක වන බවත් දිනු නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගත යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනා සිය දායකත්වය ලබාදිය යුතුයි.

පසුගිය ආණ්ඩුව පළවා හරිමින් 2015 වසරේ ජනවාරි අට වැනිදා අපි වත්මන් ආණ්ඩුව බලයට පත්කළා. වසර ගණනාවක් අහිමි වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගනිමින් රටතුළ ස්ථාපිත කරන්නට හැකිවූවා. ඇති කර ගැනීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස , ලිවිමේ කතාකිරිමේ නිදහස අපි තවදුරටත් ආරක්ෂා කරගත යුතු වෙනවා. උදාකර ගත් නිදහස තවදුරටත් ආරක්ෂා කර ගැනිමේ අපේක්ෂාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය නමින් සංවිධානයක් අපි පිහිටුවනු ලැබුවා. ඒ සංවිධානය සඳහා සෑම මාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරන මාධ්‍යවේදීන් අපි සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. අපි සියළු දෙනාගේම කැපවිමෙන් දිනාගත් නිදහස අපි ආරක්ෂා කර ගත යුතුයි.

මේ මොහොතේදී අපි සියලු දෙනාම ගත කරන්නේ රට තීරණාත්මක මොහොතකට පත්ව ඇති අවස්ථාවකයි. ඉදිරි වසර පහක කාලය සඳහා ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් ලෙස අපිත් ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත , මාධ්‍ය නිදහස ලබා ගැනීමට හැකිවීම, සුදු වෑන් සංස්කෘතිය අවසන් කිරීමට හැකිවීම , ආදිය ඉන් කිහිපයක්. ඒ වගේම පසුගිය පාලනය සමයේදී වගේ නොවෙයි , අදවන විට මාධ්‍යවේදීන් ඝාතනය වන්නේ නැහැ. පහර දෙන්නේ නැහැ.අතපය කඩන්නේ නැහැ. අද වනවිට සමස්ථ රටවැසියාට ප්‍රජාතන්ත්‍රවාදය වගේම , මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස තිබෙනවා. අප ලබාගත් නිදහස අපි ආරක්ෂා කරගත යුතුයි. මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍යවේදින් වන අප පමණක් නොව සමස්ථ රට වැසියාම නිවැරදී තින්දුවක් ගත යුතුයි. එසේ නොවුනොත් සිදුවන්නේ අප ලබාගත් නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය නැවත අහමි විමයි. ඒ නිසා නිවැරදි තීන්දුවක් වෙනුවෙන් රට යොමු කිරීම සඳහා මාධ්‍යවේදීන් වන අපි සියළු දෙනා එක්විය යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්විය යුතුයි. පසුගිය දශක කිහිපය තුළ පුරවැසියන් ලෙස අපි අත්දුටු බොහෝ දේවල් තිබෙනවා.අපි සියලු දෙනාම පාහේ අත්දුටු ඒ දේවල් මතක් කරන විට මේ තීරණාත්මක මොහොතේ දී අපගේ මැදිහත්වීම ඉතා වැදගත්. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් ට සිදු වූ හිරිහැර කාටවත් අමතක නැහැ. මාධ්‍ය ආයතන දැවැන්ත තර්ජනයකට ලක් වුණා. අතුරුදන් වුණා. සමහර මාධ්‍යවේදින් අදටත් අතුරුදන්.මේ දේවල් වෙනුවෙන් අපි සටන් කළා. ඒ නිසාම අපගේ බොහෝ මාධ්‍යව්දීන්ට විවිධ හිරිහැරවලට ලක් වෙන්නට සිදු වුණා. ඇතැම් මාධ්‍යවේදීන්ට රට අතහැර විදෙස් ගතව ජිවත් වන්නට සිදු වුණා. මමත් එවැනි බිහිසුණු අත්දැකීම්වලට ලක්වූවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. බොහෝ කැපවීම් කරමින් දිනාගත් නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකිම වෙනුවෙන් කොන්දේසී විරහිතව කැපවීමේ වගකීම අපි සියලු දෙනාම වෙත පැවරෙනවා.

අපි සියලු දෙනා විවිධ කැප කිරිම් සිදුකරමින් බලයට පත්කළ වත්මන් ආණ්ඩුව විසින්ද අපි අපේක්ෂා කළ බොහෝ දේවල් සිදු වූයේ නැහැ. විශේෂයෙන්ම මාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු විවිධ මාධ්‍යවේදින්ට සිදු කළ පහරදිම් සම්බන්ධයෙන් සිදුවන පරික්ෂණ පිළිබඳව අපට සතුටු වන්නට බැහැ. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් විහාල පිරිසක් ඉදිරිපත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස , අනුර දිසානායක, මහේෂ් සේනනායක වැන්නවුන් ඒ අතරින් ප්‍රධානයි. අනුර දිසානායක වැනි අපේක්ෂකයන් පෙනි සිටින්නේ වාමාංශික කඳවුර වෙනුවෙන්. ගෝඨාභය රාජපක්ෂ පසුගිය පාලන සමය තුළ සිදු කළ දේවල් අපි කාටවත් අමතක නැහැ.ගෝඨාභය රාජපක්ෂ වැනි චරිතයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමම ගැටලු සහගතයි. අතිවිශාල චෝදනා සමුදායක් එල්ල වී ඇති ගෝඨාභය රාජපක්ෂ වැන්නෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරිම ඒ පක්ෂය පිළිබඳව ජනතාවට තේරුම් ගන්නට ප්‍රමාණවත්. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් හැගීමක් තිබෙන උදවිය ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මේ රටට , මාධ්‍යවේදීන්ට සිදු කළ දේවල් අපට අමතක නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ දී අපි තෝරාපත් කර ගත යුත්තේ රටට සුදුසුම අපේක්ෂකයායි. ඒ සඳහා සුදුසුම අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. අපි කවුරුත් සජිත් ප්‍රේමදාස මහතාගේ අනුගාමිකයින් නොවෙයි. නමුත් අපි දිනාගත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුදුසුම නායකයා වන්නේ එතුමා බවයි අපගේ මතය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා-

2015 ජනවාරි අටවැනිදා අපි වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගත්තා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර පැවැති ආණුඩුව සිදුකළ දේවල් මේ රටේ ජනතාවට අමතක නැහැ. විශේෂයෙන්ම මාධ්‍ය වේදීන් බොහෝ පිරිසක් රට හැර ගියා. පසුගිය පාලනය සමයේ දී අවස්ථා හයක් මමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කළා. මාව ඉවත්කරන ලෙස ලක්බිම පුවත්පතේ කලමණාකාරීත්වයට බලපෑම් කළා. ඒ වගේම රාජපක්ෂ රෙජිමයට අයත් අයකුගේ බිරියකගේ ඡායාරූපයක් පළ කිරීම යන වරද යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළා. අවසානයේදී අපව රටහැර ගොස් ජීවත් වන තැනට පත්කළා. පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය වැන්නන් අදටත් ජීවත් වන්නේ විදෙස් රටවල. පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය වැනි මාධ්‍යෙවේදින් කැඳවා ගෝඨාභය රාපක්ෂ මහතා තර්ජනය කළා. ගෝඨාභය රාජපක්ෂට සම්බන්ද මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග දිගින් දිගටම ලිව්වා. වසානයේදී ඔහුව ඝාතනය කළා. නමුත් අදටත් පරීක්ෂණ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දේවල් කෙළේ තමන්ගේ සහෝදරයා දැනුවත්වයි. පොද්ද්ල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන් විශාල පිරිසක් විවිධ හිරිහැර වලට ලක් වුණා. කොළඹ නගරය සංවර්ධනය කරන මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ කොළඹ හිටිය යාචක මිනිසුන් පවා ඝාතනය කළා. ගෙනිහිල්ලා දැම්මා. ඒ විතරක් නොවෙයි. බේරේ වැව වටේ ගස්වල සිටි කුරුල්ලෝ පවා බේරේ වැවටම දැම්මා. අහිංසක කුරුල්ලන්ට පවා ජීවත් වීමට තිබූ අයිතිය ඔහු අහිමි කළා. මෙවර ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන් ඉදිරිපත් වූවා නම් කිසිඳු ගැටලුවක් නැහැ. නමුත් හිට්ලර්, පොල්පොට් වැනි පන්නයේ කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමයි තිබෙන ගැටලුව. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැගීමක් නැති මේ වගේ කෙනකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන්න පුළුවන්ද. ඒ නිසයි අපි කියන්නේ මේ වේලාව තීරණාත්මකයි. රටට යහපත් අනාගතයක් උදාකළ හැකි ජනාධිපති අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුණොත් සිදුවන්නේ හිට්ලර් පන්නයේ අයකු බලයට පත්වීමයි. ඒ නිසා මේ තැනැත්තා බලයට පත්වීම වැළැක්විය යුතුයි. මේ භයානක සතුරා පරාජය කිරීම වෙනුවෙන් කළහැකි සියල්ල අපි කළ යුතුයි. ඒ නිසා අපගේ සතුරු බලවේගය පරාජය කළ හැකි සුදුසුම පුද්ගලයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. ඒ වගේම මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් විශ්‍රාම ගිය හමුදා නිලධාරින්, පොලිස් නිලධාරීන් යොදවා ගනිමින් බලකායවල් හදනවා.

ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ලේකම් ප්‍රසන්න දේශප්‍රිය මහතා-

2015 වසරේ ජනවාරි සිට මාධ්‍යවේදීන් වන ඔබ නිදහසක් භුක්ති විදිනවා. අසිරුවෙන් දිනාගත් මේ නිදහස නැවත අහිමි කර ගැනීම වෙනුවෙන් ඔබ දායක වෙනවාද, එසේත් නොමැති නම් දිනාගත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ඔබ කැප වෙනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබ විසින්මයි.රාජපක්ෂ රෙජීමය කියන්නේ වියරු මිනිසුන්ගේ කඳවුරක්. නැවත බලයට එන්නට උත්සාහ කරන්නේ ඒ වියරු මිනිසුන්ගේ රෙජීමයයි. ඒ නිසා මේ වෙලාවේ අපි සියලු දෙනාටම දැවැන්ත වගකීමක් පැවරී තිබෙනවේ. මේ කඳවූර නැවත බලයට පත්වීම වැළැක්වීම වෙනුවෙන්. මාධ්‍යවේදීන් වන ඔබ සියළු දෙනාගෙන් ම මම වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නේ දිනූ නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරට එන්න කියලයි. මෙය ඔබේ වේලාවයි. මේ ස්වර්ණමය අවස්ථාව අපතේ හැරියොත් අනාගතයේදී අපට පසු තැවෙන්නට සිදුවේවි. ඒ වගේම ඔවුන්ගේ ගොදුරු බවට අපි පත්වීම වළක්වන්නටත් බැරිවේවි. ඒ නිසා මාධ්‍යවේදීන් වන ඔබ සියලු දෙනා මේ යථාර්ථය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඔබගේ පෑන පාවිච්චි කරන්න. ගෝඨාභය රාජපක්ෂ වේදිකාවට ගොඩවන ආකාරය බලන්න. මිනිසුන් තල්ලු කරගෙන, මාධ්‍යවේදීන් තල්ලුකර ගෙන ඔහු එන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ දුප්පත් මිනිසුන්ගේ දුක හදුනන අවංක මිනිසෙක්. ඒ වාගේම මේ රාජපක්ෂ රෙජිමය යම් හෙයකින් බලයට පත්වුණොත් සිදු වන්නේ මේ රටේ තවත් පවුල් ගණනාවක් ජනතාව නඩත්තු කිරීමට සිදුවීමයි. සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳවත් විවිධ දේවල් මාධ්‍ය ඔස්සේ පළ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා පළදින පාවහන් යුගල, අදින ඇඳුම, එතුමා ක්‍රිකට් ගසන ආකාරය ආදිය විවේචනය කරනවා. නමුත් මම මේ වෙලාවේ කියනවා මාධ්‍යවේදීන්ටත් ඒ දේවල් රටේ ආර්ථිකයට බලපාන්නේ නැහැ. ඒ නිසා ඵලදායි දේවල් වෙනුවෙන් පමණක් ඔබගේ පෑන භාවිත කරන්න. අවසාන වතාවටත් මම ආදරණීය මාධ්‍ය වේදින්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. වියරු මිනිසා පරාජය කරන්න.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා-

මේ වේලාවේ මම අදහස් දක්වන්නට තීරණය කෙළේ හෘද සාක්ෂිය සමඟ ගනුදෙනු කරන පුරවැසියකු ලෙසයි. අපගේ රට තුළ දශක ගණනාවක් පුරා සිදු වූ දේවල් අපි දැක්කා. යුද්ධයක් නිසා අපි දශක ගණනාවක් බැට කෑවා. 2015 වනතෙක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විවිධ ගැටලු තිබුණා. නමුත් 2015 න් පසුව අපි නිදහසේ සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්දා. යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව අපි විවිධ සමාජ ප්‍රතිසංස්කරණයන් සිදුකරන ආකාරය දැක්කා. අපට ලැබුණු මේ අවස්ථාව දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා ඒ දුර්ලභ අවස්ථාව අපි ආරක්ෂා කළ යුතුයි. රට තුළ උද්ගත තත්ත්වයන් හමුවේ රටේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් අපට දැනෙනවා. ඉස්සරහට මොනව වෙයිද යන බය දැන් දැනෙනවා. ජාතිවාදී අන්තවාදි කල්ලි යළි හිස ඔසවමින් තිබෙනවා. ඒ වගේම දිගන , මහනුවර සිදුවීම් සිදු වූ අවස්ථාවේදී මම මාධ්‍යවේදියෙක් ලෙස සටහන් කළා. මේ සියල්ල පසුපස අවසානයේදී මුස්ලිම් අන්තවාදයක් ඇතිවීමේ අවදානම තිබෙන බවට. අදවනවිට අපි ලියපු දේවල් සියල්ල ඇත්ත බවට පත්වෙලා.අද මේ සිදුවීම් සියල්ලම නිවැරදිව විමර්ශනය කරන අයට පැහැදිලිව පේනවා, මේ වියරු මිනිසා සිංහල අන්තවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් යන කණ්ඩායම් දෙකම තමන් වෙත ග්‍රහණය කර ගෙන තිබෙනවා. මේ කණ්ඩායම් දෙකම හීලා කැරගෙන තමන්ට ඕනෑ විදිහට නටවනවා. පසුගිය දිනවල ඇති වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වූ නාටකය අපි කවුරුත් දැක්කා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලය තුළ සිදු වූ දේවල් මේ රටේ ජනතාවට හොදින් මතකයි. දේශප්‍රේමීත්වයේ අවසානය අන්තවාදීන්ගේ තිප්පොළයි. දැන් සිදුව තිබෙන්නෙත් එවැන්නක්. ඒ නිසා සියලු දෙනාම මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මකව කටයුතු කළ යුතු වෙනවා. ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු ව ඇති විනාශය දැක්කම දැනෙන්නේ විශාල දුකක්. ශ්‍රීලනිප ය අද හක්කේ තියල සෙම ඇරලා. කවුරු මොනව කිව්වත් අද වනවිට රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා.

මෙහිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි දීප්ති ප්‍රමිතා අධිකාරි, මහත්මිය , තිනකරන් පුවත්පතේ මාධ්‍යවේදි ශ්‍රී කාන්ත් මහතා ඇතුළු පිරිසක් ද අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න