ධර්මානුකූල සමාජයක් බිහි කරන්න සජිත් ජනපති කළ යුතුයි | දිනමිණ


 

ධර්මානුකූල සමාජයක් බිහි කරන්න සජිත් ජනපති කළ යුතුයි

සන්ධ්‍යා කරුණාරත්න

මහජනතාව සමඟ කාලය ගත කරමින් මිනිසුන්ගේ හිසට සෙවණක් සෑදීමෙන් පමණක් නොව ධර්මානුකූල සමාජයක් බිහි කිරීම උදෙසා කාලය කැප කළ ජනතා නායකයකු වන සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට මහජනතාව පියවර ගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

වොක්ෂෝල් ස්ට්‍රීට්හි පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව ඊයේ (18) ප්‍රකාශ කෙළේය.

ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසුවේය.

වසර 20 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කිසිදු දූෂණ චෝදනාවකට ලක් නොවූ ජනතාව ගැන සිතන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතුයි.එමඟින් ජනතාව අපේක්ෂා කරන රටක් නිර්මාණය කර ගැනීමට හැකි වෙනවා.

පොහොට්ටුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා මාධ්‍යයට හරිම බයයි. අද පදනම් ආයතනයේදි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සියලුම පක්ෂයන් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් කරන්න තීරණය කර තිබුණා. අවසන් මොහොතේ ඔවුන් දෙදෙනා නොපැමිණෙන බවට දැනුම් දී තිබුණා. මාධ්‍යයට ගෝඨාභය කෙතරම් බයද කියලා ඉන් පෙනෙනවා. එජාප අපේක්ෂකයා පිළිබඳව රටේ ජනතාව බලාපොරොත්තු රැසක් සමඟ දෑස් දල්වා බලා සිටිනවා. සජිත් ප්‍රේමදාස යනු රටේ අනාගත බලාපොරොත්තුව බවට පත්ව හමාරයි. ගෝඨාභය රාජපක්ෂ යනු බයේ නිර්මාතෘවරයා බවට පත්ව ඉවරයි. මාධ්‍යයේ කැමරාවට, මයික් එකට මේ තරම් බය නම් රටේ ප්‍රශ්නවලට කොහොම බය ඇතිද?. බලය තිබෙන වේලාවට වීරයා. අයියා ජනාධිපති වෙන තෙක් තනතුරු දරන්නට බැරි වුණා. අයියා ජනාධිපති වුණාට පසුව තමයි සියලු තනතුරු ගෝඨාභයට ලැබුණේ. බලය තිබෙන වේලාවට චණ්ඩියෝ, වීරයෝ. බලය නැති වේලාවට නිවටයෝ, බයගුල්ලෝ. යාපනය ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පැය 24 ක් ගත වුණා. එහි දෙමළ භාෂාවෙන් සටහන් කර තිබෙන දේ සමාජ ජාලාවල පළ කරමින් විවිධ ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාදායකය නොදන්නා අය විවිධ කතා කියනවා. මෙරට රාජ්‍ය භාෂාව ලෙස සිංහල හා දෙමළ භාෂාව සඳහන් කර තිබෙන අතර වැඩිපුර දෙමළ ජනතාව සිටින තැන දෙමළ භාෂාවත් වැඩිපුර සිංහල ජනතාව සිටින තැන සිංහල භාෂාවත් ප්‍රමුඛව කටයුතු කරනවා. එය තමයි නීතිමය බලය. ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් යාපනයේ ඉදි කළ එක ගැන විවිධ කතා විවිධ පුද්ගලයන් කියනවා. ඉන් ජනතාවට සිදු වන වාසි ගැන කතා කරන්නේ නැහැ. උතුරේ ජනතාවට සිදු වන වාසි ගැන හිතන්නේ නැහැ. ගුවන්තොටුපොළ ඉදි කිරීමත් සමඟ ජනතාවට ප්‍රයෝජන රැසක් ලැබෙනවා. ද්‍රවිඩ ජනතාව ඉන්දියාවට යනවා නම් කොළඹට ඇවිත් යන්න ඕනෑ. ඒ සඳහා කාලය, ශ්‍රමය, මුදල් බොහොමයක් නාස්ති වෙනවා. යාපනයේ ගුවන්තොටුපළ නිසා ඔවුන්ට කොළඹට පැමිණ කාලය, ශ්‍රමය, මුදල් නාස්ති කරන්න අවශ්‍ය නැහැ.

රාජපක්ෂලා අනුරාධපුරයේ මංගල රැළිය පැවැත්වූවා. සල්ගාදුපිටියේ සිට මංගල රැළිය ඇමතුවා. එහිදී කාරණා ගොඩක් ඔහු කිව්වා. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් අවුරුදු 22 ක සේවා කාලය සම්පූර්ණ කර තිබෙනවා නම් ජනාධිපති රාජපක්ෂ මීට පෙර අවස්ථාවක පොරොන්දු වුණා වගේ විශ්‍රාම වැටුපක් ලබාදීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා. සිවිල් ආරක්ෂක බලකායේ 36,000 කට වැඩි පිරිසක් තවමත් සේවයේ යෙදී සිටිනවා. 2015 අප්‍රේල් 23 වැනිදා කැබිනට් පත්‍රිකාවක් යහපාලන ආණ්ඩුවෙන් ඉදිරිපත් කළා. එමඟින් සිවිල් ආරක්ෂක බලකායේ සියලු සාමාජිකයන් ස්ථිර සේවාවට අනුයුක්ත කර අවසන්. ඔවුන්ට විශ්‍රාම වැටුප් හිමිවෙනවා. ඒ අනුව මංගල රැස්වීමේදිම බොරු කී අපේක්ෂකයෙක් විදියට ගෝඨාභය නම් කළ හැකියි. වෙන්න සිටින ජනාධිපතිවරයාගේ දැනුම ගැන සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් හිනා වෙනවා. සිවිල් ආරක්ෂක බලකායේ 1328 ක් වයස අවුරුදු 60 සම්පූර්ණ වී සේවයෙන් ඉවත් කරනවා. ඒ අයට පාරිතෝෂිකයක් ගෙවීමට අපි තීරණය කළා. රාජපක්ෂ ආණ්ඩුවෙන් බොරු පොරොන්දු දෙමින් රැවටූ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට අපේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු කළා.

නව අදහස දක්වන්න