තුර්කියට එරෙහිව එසවෙන ට්‍රම්ප්ගේ තර්ජනාංගුලිය | දිනමිණ


 

තුර්කියට එරෙහිව එසවෙන ට්‍රම්ප්ගේ තර්ජනාංගුලිය

ධම්මික සෙනෙවිරත්න

සතියකට වැඩි කාලයක් තිස්සේ තුර්කිය සිය හමුදා මෙහෙයුම් ඉදිරියට ගෙනයමින් තිබේ. එය දරුණු සටනක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකාවේ ආර්ථික තහංචි අවිය අලුතෙන්ම එසැවී ඇත්තේ තුර්කියට එරෙහිවය. උතුරු සිරියාවේ කුර්දි සටන් කණ්ඩායම්වලට එරෙහිව දේශසීමාව ඔස්සේ මිලිටරි ක්‍රියාන්විතයක් දියත් කිරීමට තුර්කි ජනාධිපති ටයිප් එර්ඩොගාන් තීරණය කළේ මීට දින 10 කට කලිනි. එදිනම තුර්කි ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉල්ලා සිටියේ එම හමුදාමය ක්‍රියාමාර්ගය නතර කරන මෙනි.

තුර්කි ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ; එකී ලිපිය කුණු කූඩයට දමමිනි. දැඩි පිළිවෙතක පිහිටා නොසිටිනැයි ද, අනුවණ ලෙස ක්‍රියා නොකරන්නැයි ද මේ ලිපියෙන් ඉල්ලා තිබේ. මෙවැනි ඉල්ලීමක් කිරීමට අමතරව අමෙරිකාව සිය උප ජනාධිපති මයික් පෙන්ස් අන්තාරා නුවරට යැවීමට ද කටයුතු කළේ සටන් විරාමයක් ආරම්භ කිරීම සඳහා ය.

ට්‍රම්ප්ගේ ලිපිය

මෑත වසර කිහිපයේදී කුර්දින්ගේ නායකත්වයෙන් යුතු සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය නම් සංවිධානය සිරියාවේ අයි. එස්. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රියාත්මක විය.

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ සක්‍රීය බලවේගය කුර්දි සටන්කාමීන්ගෙන් සමන්විත මහජන ආරක්ෂණ ඒකකය (YPG) ය. එය කුර්දි කම්කරු පක්ෂයේම (PKK) දිගුවක් බව තුර්කිය කියා සිටී. PKK පක්ෂය එම කලාපයේ කුර්දි පාලනයක් වෙනුවෙන් සටන්කළ කණ්ඩායමකි.

ජනාධිපති ට්‍රම්ප්, ජනාධිපති එර්ඩොගාන් වෙත යැවූ ලිපියෙන්, ‘ඔබ දහස් ගණන් මිනිස් ජීවිත වැනසීමට වගකිවයුතු නැතිවීමටත්’ මම තුර්කි ආර්ථිකය විනාශ කිරීමට දායක විය යුතු නොවීමටත් වගබලා ගැනීම සුදුසුයැයි සිහිපත් කර තිබිණි. එමඟින් විශාල ලෙස වෑයම් කර තිබුණේ තුර්කිය මිලිටරිමය ක්‍රියාපිළිවෙතකට අවතීර්ණවීම වැළැක්වීමට ය. කෙසේවුවද, තුර්කි බලධාරීන් බී. බී. සියට පවසා සිටියේ ජනාධිපතිවරයාට එම ලිපිය ලැබුණු බව සහ ඔහු එය කුණු කූඩයට දැමූ බවටය. එදිනම හමුදා මෙහෙයුම් දියත් කිරීමට ද ජනාධිපති වර්ඩොගාන් පියවර ගෙන තිබිණි. හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම පිළිබඳ තුර්කි හා අමෙරිකා ජනාධිපතිවරු අතර ඉකුත් දෙසැම්බරයේදී සාකච්ඡා සිදුවිය.

සිරියාවේ තුර්කි හමුදා මෙහෙයුම්වලට අමෙරිකාව දායක නොවනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉකුත් බදාදාය. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ එය සිය දේශසීමාවට අයත් ප්‍රශ්නයක් නොවීමය. අනුන්ගේ ප්‍රශ්නයකට ‍අමෙරිකානුවන්ගේ ජීවිත විනාශ කරගැනීම අනවශ්‍ය බව ට්‍රම්ප් කියා තිබිණි. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තුර්කි - සිරියා දේශසීමාවේ ඇතිවන තත්ත්වය අමෙරිකාවට උපායමාර්ගිකව විශිෂ්ට අවස්ථාවක් වනු ඇති බවය. මෙහිදී, කුර්දින් ගැන සඳහන් කරන ජනාධිපති ට්‍රම්ප්, අමෙරිකාව සමඟ එක්ව සිටිමින් සටන් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇතැයි ද කියා සිටී.

හමුදා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සාධාරණීකරණය කරමින් තුර්කිය සඳහන්කරන්නේ මිලියන 2ක් පමණ සිරියානු සරණාගතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීමට ද එය හේතුවනු ඇති බවය. කෙසේවුවද, මෙම මෙහෙයුම් දියත්වූ පසු සිවිල් වැසියන් 71 දෙනකුවත් බදාදා දිනය තුළ පමණක් ජීවිතක්ෂයට පත්වූ බව සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් කණ්ඩායමක් පවසා තිබිණි. බ්‍රහස්පතින්දා වනවිට එම සංඛ්‍යාව 200 ඉක්මවූ බව ඇතැම් මූලාශ්‍රවල සඳහන් විය. කුර්දි සටන්කාමීන් 185ක් තුර්කි හිතවාදී කැරැලිකරුවන් 164ක් හා තුර්කි සොල්දාදුවන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ද එම මානව හිමිකම් කණ්ඩායම (SOHR) පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ ආර්ථික සම්බාධක තර්ජනය ගැන ප්‍රතිචාර දක්වමින් තුර්කි විදේශ ඇමැති මෙවිලුම් කැවුසොග්ලු කියාසිටින්නේ තුර්කිය බිය නොවනු ඇති බවය. තුර්කියේ ප්‍රමුඛතාව වනු ඇත්තේ ජාතික ආරක්ෂාව බව ද ඔහු කියා තිබේ. සිය රටේ ස්ථාවරය මිතුරු පාර්ශව විසින් අවබෝධ කරගන්නවා ඇතැයි ද ඔහු විශ්වාසය පළකර තිබිණි.

අමෙරිකා ආර්ථික තහංචි ක්‍රියාත්මක වීමත් සමඟ තුර්කියෙන් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත නව බදු ද පැණවෙනු ඇත.

විශේෂයෙන්, තුර්කියෙන් අමෙරිකාවට අපනයනය කරන වානේ වැනි භාණ්ඩවලට මේ තත්ත්වය දැඩිව බලපානු ඇති බවට ට්‍රම්ප් කරන ප්‍රකාශය සමඟ ඇතැම් විචාරකයන් එකඟ නොවේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෑත වසර කිහිපයක් තිස්සේ වානේ අපනයනය පහත වැටී ඇති බවය. එබැවින් ඉන් ආර්ථිකයට වන බලපෑමද අවම බව ඔවුන්ගේ අදහසය. 2018 වසරේදී තුර්කිය අමෙරිකාවට අපනයනය කළ භාණ්ඩ අතරින් වානේ පංගුව 0.5 x බව ඔවුහු පෙන්වාදෙති.

ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කරන අය පෙන්වා දෙන්නේ අමෙරිකාව සිය භට පිරිස් ආපසු කැඳවා වෙනත් පාර්ශ්වවලට අයි. එස්. අයි. එස්. සමඟ ගනු - දෙනු බේරා ගැනීමට ඉඩහැර ඇති බවය. තවත් අය පෙන්වා දෙන්නේ සම්බාධක තර්ජනය මඟින් තුර්කි බලධාරීන් නම්මවා ගැනීම ට්‍රම්ප්ගේ උපායමාර්ගය වූ බවය. තුර්කියේ ආර්ථික තත්ත්වය යහපත් මට්ටමක පවතින අතර අමෙරිකා තහංචි මඟින් එය අවගමනයට ලක්වීමට ඉඩ තිබේ. 

දශක හතකට වැඩි කාලයක් තිස්සේ අමෙරිකාව සහ තුර්කිය මිතුරු රාජ්‍ය ලෙස කටයුතු කරති. එසේ වුවද ආසන්න දශකය හෝ දශක දෙකක කාලසීමාව තුළ දෙරට අතර බරපතළ ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතිවිය. ඊට අසල්වැසි රටවල් 2ක යුදමය තත්ත්වයද බලපෑවේය. ඉරාක යුද්ධයේදී අමෙරිකාවට වැඩි වැඩ කොටසක් මෙන්ම තුර්කියට අඩු වැඩ කොටසක් තිබිණි. සිරියානු යුද්ධයේදී තුර්කිය වැඩි වශයෙන් ඊට යොමුවනවිට අමෙරිකාවේ අදාළත්වය අඩුවිය.

දැනට සතියකට වැඩි කාලයක් තිස්සේ තුර්කිය සිය හමුදා මෙහෙයුම් ඉදිරියට ගෙනයමින් තිබේ. එය දරුණු සටනක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇතැම් විචාරකයන් දක්වා ඇත්තේ මෙය එතරම් කල්ඇදෙනු නැති බවය. කෙසේවුවද, දැනට එය දරුණු යුද ගැටුමක් ලෙස පෙරට යමින් තිබේ.

ආරථික සම්බාධක

උද්ගතව ඇති තත්ත්වය ගැන තුර්කි ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට ද කරුණු පැහැදිලි කරනු ඇති බව වාර්තා වී ඇත. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට එන ලෙස රුසියානු ජනාධිපති පුටින්ගෙන් ජනාධිපති එර්ඩොගාන්ට දුරකතනයෙන් ආරාධනයක් ලැබී ඇතැයි සඳහන් වේ. ඉදිරි දිනවලදී එර්ඩොගාන් රුසියාවේ සංචාරය කරනු ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ (SDF) ප්‍රධානී මසාලොම් ආබ්දි අමෙරිකා ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ. එහිදී දේශපාලන විසැඳුමක් කෙරෙහි අවධානය යොමු වූ බව ද සඳහන් ය.

සිරියාවේ සිටි අමෙරිකානු භට පිරිස් ආපසු කැඳවීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය පිළිබඳ කොන්ග්‍රස් මණ්ඩලයේ විවාදයක් තිබිණි. එහිදී එම තීරණයට එරෙහිව ඡන්ද 354ක් ලැබුණු අතර පක්ෂව ලැබු‍ෙණ් ඡන්ද 60ක් පමණි. රිපබ්ලිකන් මන්ත්‍රීවරු පිරිසක් පවා ට්‍රම්ප්ගේ තීරණයට එරෙහි වූහ.

ජනාධිපති ට්‍රම්ප් පවසන පරිදි, කුර්දිස්තාන් කම්කරු පක්ෂය (PKK) අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ටත් වඩා තර්ජනයකි. දශක ගණනක් තිස්සේ ඔවුන් සටන් කරමින් සිටින බව ඔහු පෙන්වාදී තිබුණි. කෙසේවුවද හමුදා ඉවත්කරගැනීම මඟින් යුද්ධයකට අවතීරණ වීම සඳහා තමන් තුර්කියට කොළඑළි නොදැල්වූ බව ද ඔහු කියා සිටී. ඒ කෙසේවුවද, තුර්කිය යුද බිමට පිවිස සිටී. තුර්කිය ආපසු කැඳවීම බලහත්කාරය පෑම මඟින් කළ හැකිද යන්න සිතා බැලිය යුතුය.

තුර්කියට පැණවූ ආර්ථික තහංචි සමඟ දැනට රටවල් කිහිපයකටම ජනාධිපති ට්‍රම්ප් ආර්ථික සම්බාධක හා තහංචි පණවා ඇත. ඒ අතර ඉරානය හා වෙනිසියුලාව ද තිබේ. මේ දෙරටටම එකී තහංචි හා සම්බාධක ආර්ථිකමය වශයෙන් පීඩනයක් එල්ල කිරීමට හේතුවී ඇත. තුර්කිය සම්බන්ධයෙන් ද එය එසේම වනු ඇත්දැයි පැවසීමට තවමත් ඉක්මන් වැඩිය.

සම්බාධක දේශපාලනය දෙස අවධානය යොමුකරන විට තමන්ට නොරිසි හා අවනත නොවන රටවල් මෙල්ල කිරීමට ආර්ථිකමය අවියක් ලෙස එය භාවිත කෙරෙමින් ඇති බව පැහැදිලිව දක්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි සෙසු සංකල්ප මෙන්ම එයද අධිපතිවාදී ලෝක රටාවක් තුළ මෙහෙයවෙමින් ඇත්තේ මනුෂ්‍ය සංහතියේ උන්නතිය සඳහාම නොවන බව සත්‍යයකි.

නව අදහස දක්වන්න