නාවික හමුදාව වසරේදී ඇල්ලූ K G ප්‍රමාණය ටොන් 3යි | දිනමිණ


 

නාවික හමුදාව වසරේදී ඇල්ලූ K G ප්‍රමාණය ටොන් 3යි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරේ මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී සහ තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේදී  කේරල ගංජා කිලෝ ග්‍රෑම් 221 ක් හා කිලෝ ග්‍රෑම් 164 ක ප්‍රමාණයක් 2019 ඔක්තෝබර් මස 19 දින අත්අඩංගුවට ගත් අතර, මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2019 වර්ෂය තුලදී මේ වන විට කේරල ගංජා ටොන් 03 කුත් කිලෝ ග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා 105 කදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම් වලදී ඒවාට සම්බන්ධ පුද්ගලයින් හා යාත්‍රාද අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් යොදා ඇති මාර්ග බාධකයේදී අද අළුයම සැකකටයුතු සුඛෝපබෝගී ජිප් රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී රථය නාවික හමුදාවේ අණ නොතකා පලා යාමට උත්සාහ කර ඇත. එහිදී, නාවික හමුදා ක්‍රමවේදයට අනූව පලා යමින් සිටි සැක කටයුතු ජිප් රථය වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු සැක කටයුතු ජිප් රථය නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, අදාල රථය පරික්ෂා කිරිමේදි පාර්සල් කිහිපයක බහා තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 ක් සොයා ගැනීමට සමත් වීය. එහිදී රථයේ රියදුරු කළුවන්කර්නි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙකුත් සැකකරු මොණරාගල, මැදගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් සැකකරුවන්, ඔවුන් ගමන්ගත් සුඛෝපබෝගී ජිප් රථයක් සහ කේරල ගංජා තොගය මන්නරම පොලිසියට භාර දීමට නියමිතව ඇත.

එමෙන්ම උතුරු මුහුදේ නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (ඔක්තෝබර් 19) අළුයම සිදු කල සෝදිසි මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 221 සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) සහ ඔවුන් ගමන් ගත් ඩිංගි යාත්‍රා දෙකක් ‍(02) නාවික හමුදා බාරයට ගෙන ඇත

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වශයෙන්ම සාගර කලාපය යොදා ගනිමින් සිදුකරනු ලබන අතර, ලද තොරතුරු වලට අනුව මෙම මත්ද්‍රව්‍ය ඉන්දියානු සාගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පෙනී යයි. මෙම නීතිවිරෝධී කාර්යය මැඩලීම සඳහා නාවික හමුදාධිපතිගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් උපායමාර්ගිකව ක්‍රියාවේ යොදවා ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අංශයත් සියළුම ප්‍රාදේශීය බලධාරීන් සහ ඔවුන් යටතේ සිටින සියළුම නිලධාරින් සහ නාවිකයිනුත් ඉතා උද්යෝගයෙන් සහ කාර්යක්‍ෂමව දිවා රාත්‍රී නොබලා තම රාජකාරීන් හා වගකීම් නොපිරිහෙලා සිදුකරනු ලබන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සාර්ථකව සිදුකිරීමට හැකිවී ඇත. මෙවැනි මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පිළිබිඹු වන්නේ රටතුල මත්ද්‍රව්‍ය සඳහා පවතින දැඩි ඉල්ලුමයි. වර්තමානයේ තරුණ පරම්පරාවත් වැඩකරන කම්කරු ජනතාවත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේවාට අබ්බැහි වී සිටින අතර, තරුණ පාසැල් ළමුන්ද මෙම මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් නිරීක්‍ෂණය වන අතර, මේ නිසා මෙම මත්ද්‍රව්‍ය උවදුර ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා අනාගතයට දැඩි තර්ජනයක්ව පවතී.

මෙම මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන පෞද්ගලික හා සමාජීය හානිය මේන්ම මෙමගින් අනාගත පරපුරට සිදුවන හානිය සලකා බැලීමේදී මෙය සමාජයේ ඉතා බැරෑරුම් ගැටළුවක් බවට පත්වී ඇති බව පෙනීයන අතර, මේ නිසා මේවාට පෙළඹී ඇති පුද්ගලයින් සහ ඒ සඳහා යොමු වන පුද්ගලයින් ඉන් වළක්වා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය පියවරක් වේ. මෙම අත්අඩංගුවට ගැනීම් මගින් මෙම කර්තව්‍ය සඳහා සෘජු දායකත්වයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර මහජනතාවගේ බදු මුදලින් නඩත්තුවන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන්ම නාවික හමුදාවේ සම්පත් උපරිම ආකාරයෙන් යොදා ගනිමින් දැඩි කැපවීමෙන් යුතුව මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම තම සේවය හා වගකීම නොපිරිහෙලා ඉටු කරන බව නාවික හමුදාවේ මාධ්‍ය  ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.

 

නව අදහස දක්වන්න