නිදහස් මැතිවරණ! | දිනමිණ

නිදහස් මැතිවරණ!

නිදහස් හා ස්වාධීන ජනාධිපතිවරණයක් කාගේත් අපේක්ෂාව වී ඇත. ලෝකයේ බලවත් රටවල් ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය කෙරෙහි අවධානය යොමුකර තිබේ. නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා මීට දින දෙකකට ඉහතදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ජනාධිපතිවරණය ද එක් මාතෘකාවක් බවට පත්ව තිබිණි. නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටොක් ලොග් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව නිදහස් මැතිවරණ පවත්වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස බලවත් රටවල විශ්වාසය දිනාගෙන ඇති බව ය. ජනාධිපතිවරයා කිසිදු පක්ෂයක නියෝජිතයකු නොවී නිර්පාක්ෂික භූමිකාවක් නිරූපණය කිරීමෙන් මේ තත්ත්වය තවදුරටත් තහවුරු වේ.

නෙදර්ලන්තය ඈත අතීතයේ සිටම ලෝකයේ බලවත් රාජ්‍යයකි. මීට දසක කිහිපයකට පෙරත් මෙම රාජ්‍යය හඳුන්වනු ලද්දේ හොලන්ඩ් හෝ ඕලන්දය යන නමින් ය. පහළොස්වන සියවසේ සිට ලෝකයේ වෙළෙඳ තරගය ගෙනගිය එක රාජ්‍යයක් වන්නේ නෙදර්ලන්තයයි. පෘතුගාලය හා එංගලන්තය වෙළෙඳ තරගයට එක් වූ අනෙක් ප්‍රධාන රටවල් දෙක ය. දහසයවන සියවසේ අගභාගයේ දී ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක් යටත්කර ගනිමින් මෙරට දේශපාලනයට - ආර්ථිකයට විශේෂ බලපෑමක් කිරීමට ද නෙදර්ලන්තය සමත් විය. රටවල් දෙක අතර සම්බන්ධයට දිගු ඉතිහාසයක් තිබේ. නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා මේ සංචාරයේ දී ලබාදී ඇති වැදගත් ම පණිවිඩය වන්නේ ඩොලර් බිලියන දාහතරක ආධාරයක් ලබාදීමට පොරොන්දු වීම ය.

ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් සිදුවීම් ගණනාවක් ගෙවීගිය කෙටි කාලය තුළ වාර්තා වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බළකාය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක පිහිටා ඇති අතර පැරීසියේ සිට නිකුත්කරන වාර්තාවක දක්වා ඇත්තේ මූල්‍ය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාව සුබවාදී තැනක ඇති බව ය. එලෙස ම මූල්‍ය ගනුදෙනු පිළිබඳ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාවේ නම ඉවත්කිරීමට ද ඉහත ආයතනය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සාර්ථක ඉසව්වක් කරා ගමන්කරමින් සිටින බවට සහතිකයක් ලබා දී ඇත. මෙය විශේෂ තත්ත්වයකි. ඉන් තහවුරු වන්නේ ගෙවී ගිය වසර කිහිපය තුළ ආර්ථිකය හොඳින් පවත්වාගැනීමට නායකයන් වගබලා ගෙන ඇති බව ය.

2012 සිට 2015 දක්වාම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව දැඩි විවේචනයකට ලක්කර තිබේ. මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා මෙන් ම රටේ විවිධ ක්ෂේත්‍ර තුළ සිදුවී ඇති මහාපරිමාණ දූෂණ - වංචා හා කොමිස් ගැහීම් ද, අක්‍රමිකතා ද ඉහත බිඳවැටීමට හේතු සාධක වී තිබේ. එක අතෙකින් බලයේ සිටි බොහෝ නායකයන්ට දූෂණ හා වංචා පිළිබඳ චෝදනා තිබේ. බොහොමයක් සිදුවීම්වලට අදාළ‍ නෛතික පියවර නිසිලෙස ගෙන නැත. මේ මැතිවරණ සමයේ පවා ඒ ගැන සංවාද පැවැත් වේ. තව අතෙකින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරා ඇත. එහෙත් ප්‍රතිඵලය සියයට - සියයක් සාර්ථක නැත. ඉන් කියැවෙන්නේ බොහෝ ක්ෂේත්‍රවලට ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ය. ජනාධිපතිවරණය ඒ සඳහා කදිම අවස්ථාවක් නිර්මාණය කර තිබේ.

පළමුව සිදුවිය යුත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා රටට ගැලපෙන බුද්ධිමත් රාජ්‍ය නායකයකු පත්කර ගැනීම ය. මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා ගෙනයන වැඩපිළිවෙළ බොහෝ‍ දෙනකුගේ අගය කිරීමකට ලක්වී ඇත. මැතිවරණ සමයක දී රාජ්‍ය බලය ඇති දේශපාලන ව්‍යාපාරය මහජන දේපළ සාවද්‍ය ලෙස භාවිත කිරීමට පටන් ගනී. එය දිගින් දිගටම සිදුවී ඇත. එහෙත් මෙවර ඊට උපරිම බාධාවන් පමුණුවා තිබේ. කොමිසමේ සභාපතිවරයා පෙන්වාදෙන අන්දමට ජනමාධ්‍ය පවා සිය උපමාණ අකුරට පිළිපැදිය යුතු ය. තරංගමාලා මහජන අයිතියක් හා දේපළක් ලෙස හඳුන්වාදෙන සභාපතිවරයා එය සාවද්‍ය ලෙස භාවිත කරන්නේ නම් නීතිමය පියවර ගන්නා බව ස්ථිර ලෙසම කියා සිටී. එය යහපත් ප්‍රවණතාවකි. නිදහස් මැතිවරණයක් සඳහා ජනමාධ්‍ය අපක්ෂපාතී විය යුතු ය.

රාජ්‍ය දේපළ පමණක් නොව ඇතැම්විට රාජ්‍ය නිලධාරීන් ද දේශපාලන අරමුණු සඳහා සෘජු ලෙස යොදාගන්නා අවස්ථා තිබේ. වත්මන් යුදහමුදාපතිවරයා ට අදාළ සිද්ධිය ඊට කදිම නිදසුනකි. කිසිදු රාජ්‍ය නිලධරයකුට දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතියක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි. ඔහුට ඇති එකම දේශපාලන අයිතිය කැමැති පක්ෂයකට ඡන්දය දීම පමණක් යැයි අවධාරණය කෙරේ. මේ තත්ත්වය පවත්වාගත හැකි නම් මැතිවරණ දූෂණ හැකිතාක් අවම කරගත හැකි ය. රාජ්‍ය නිලධරයකුට මහජනයා වෙනුවෙන් කළ හැකි බලපෑම බලවත් නිසාය. ඇතැම් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ජාතිවාදය, යුද්ධය හා යුද ජයග්‍රහණ තමන්ගේ වාසියට යොදාගැනීම තවම නතරකර නැත. ඊට ප්‍රායෝගික සාක්ෂි ඕනෑ තරම් තිබේ.

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට උසස්කොට විවෘත කිරීම රටේ ආර්ථිකයේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් එ‍ය නොසලකා හැර ගුවන්තොටුපළේ බෝඩ්ලෑල්ල ප්‍රශ්නයක් කරගත් දේශපාලන ව්‍යාපාර රටේ පවතී. දෙමළ භාෂාව ඉහළින්ම යෙදීම කෙනකුට ප්‍රශ්නයක් වී ඇත. එය ජාතිවාදී ප්‍රශ්නයක් කරා ගෙන යෑම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව පෙනේ. මෙබඳු නොදියුණු හා නොහික්මුණු දේශපාලන උපාය මාර්ග ජනාධිපතිවරණය තුළ ‍හොඳින් භාවිතවන බවක් ද පෙනේ. නීතියෙන් එය තහනම් කළ හැකි තත්ත්වයක් නැත. අවශ්‍ය වන්නේ මහජනයාට දේශපාලනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම ය. එහෙත් එය හරිහැටි සිදුවන්නේ නැත.

නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් යන්න වචනයට සීමා නොවී එය ක්‍රියාවෙන් ද සනාථ කළ හැකි ප්‍රායෝගික තලයක් වෙත අප ගමන් කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ඉතා වැදගත් බව පෙන්වාදිය යුතු ය. ජනාධිපතිවරයා නිර්පාක්ෂික වීමෙන් මහඟු ආදර්ශයක් සපයා ඇත. මේ අයුරින් ජනාධිපති අපේක්ෂකයන් ද වැදගත් දේශපාලනයක යෙදෙන්නට වෑයම් කළහොත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වඩාත් පහසු වනු ඇත.

නව අදහස දක්වන්න