අවසන් හතරට එක්නොවූවත් ජපාන ක්‍රීඩකයන්ට ඉහළින් හරසර | දිනමිණ

අවසන් හතරට එක්නොවූවත් ජපාන ක්‍රීඩකයන්ට ඉහළින් හරසර

රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූවත් ජපානයේ ක්‍රීඩාලෝලීහු සිය ක්‍රීඩකයන්ට ඉහළින් හරසර දැක්වූහ.

මීට පෙර සූමෝ ක්‍රීඩාවට පමණක් අතිශය ජනප්‍රියත්වයක් ලබා සිටි ජපානය දැන් රග්බි ක්‍රීඩාවෙන්ද මිලියන ගණනාවක ක්‍රීඩාලෝලීන්ගේ සිත් දිනාගත් බව ඔවුහු කියති.

සෑම ජපාන ජාතිකයකුම රග්බි ක්‍රීඩාලෝලීන් බවට පත්වී ඇති බව පෙරේදා දකුණු අප්‍රිකාව හමුවේ පරාජයෙන් පසුව තහවුරු විය.

‘මේ දිරිගැන්වීමට ඔවුන්ට ස්තූතියි‘ 32 හැවිරිදි ජපාන ක්‍රීඩාලෝලියකු එසේ කීවේය.

‘අපේ ඉලක්කය වුණේ ලෝක කුසලානයයි. ඒත් ඉතිහාසයේ පළමුවතාවට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් ජයග්‍රහණයක්‘ තවත් ක්‍රීඩාලෝලියකු සඳහන් කළේය.

‘මුළු ජපානයම රග්බි ක්‍රීඩාවෙන් මේ විදියට උමතුවීම මට නම් හිතාගන්නත් බෑ. ඒක හරියට පාපන්දු ක්‍රීඩාව වගේ. පුදුමාකාර විනෝදයක් ලැබුවා.‘ කිසිදිනෙක රග්බි තරගයක් නරඹා නොමැති තවත් ජපාන ජාතිකයකු එසේ කියා සිටියේය. මේ නව ප්‍රවණතාව හේතුවෙන් අනාගතයේදී ජපානයේ දරුවන් සූමෝ ක්‍රීඩාවෙන් මිදී වැඩි වශයෙන් රග්බි ක්‍රීඩාවට යොමුවනු ඇතැයි ද අනාවැකි පළවී තිබේ. ලෝක කුසලාන රග්බි තරගමාලාවට සත්කාරකත්වය ලබාදෙමින් ජපානයේ දී පසුගිය මාසයේ එම තරගමාලාව ආරම්භ වනවිට තිබුණු ජනප්‍රියත්වය සිය දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර ජපාන රග්බි කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම එරට ක්‍රීඩා තරු බවට පත්වී සිටි.

‘අපි දකුණු අප්‍රිකාවට පරාජය වුණත් රග්බි ක්‍රීඩාවෙන් තවත් පියවරක් ඉදිරියට තැබුවා. අයර්ලන්තය සහ ස්කොට්ලන්තය පරාජය කිරීම විශාල ජයග්‍රහණයක්. අපට දැන් අවශ්‍ය එංගලන්තයත්, වේල්සයත් පරාජය කිරීමටයි.‘ ජපාන කණ්ඩායම ක්‍රීඩා කළ සෑම තරගයක් නැරැඹීමට පැමිණි තවත් ක්‍රීඩාලෝලියකු එසේ කීවේය.

නව අදහස දක්වන්න