තෙවෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යාපනය | දිනමිණ

තෙවෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ යාපනය

කලාපීය ගුවන් ගමන් ඇරැඹේ

ශ්‍රී ලංකාවේ පළමුවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කටුනායක ගුවන් තොටුපොළයි. දෙවැන්න මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. තුන්වැන්න යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.

එම ගුවන්තොටුපොළ පසුගිය සතියේ විවෘත වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතිනි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද විෂය භාර ඇමැතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එම අවස්ථාවට සහභාගී වූහ.

දීර්ඝ කාලයක් තිස්සේ ඇදි ඇදී තිබුණු මේ ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු සඳහා වැය වූ මිලියන 2250ක මුදලින් මිලියන 300කට දායක වූයේ ඉන්දියාවයි. ඉතිරි මුදල වූ රුපියල් මිලියන 1950 ශ්‍රී ලංකා රජයේ ආයෝජනයකි. එහෙයින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පළමුවන අදියරේ මේ විවෘත කිරීමට ඉන්දියාවෙන්ද නියෝජිත පිරිසක් සහභාගී වූහ. ගුවන්තොට පිහිටියේ යාපනය නගරයෙන් කි.මී. 16ක් නුදුරිනි.

කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඔක්තෝබර් 17 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, එයාර් ඉන්දියා සමාගමේ අස්වතී ලොහානි, එලායන්ස් එයාර් ගුවන් සමාගමේ සී.එස්. සුබ්බයියා, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් එස්. බාලචන්ද්‍රන් යන පිරිස මේ උත්සව අවස්ථාවට සහභාගී වූ ඉන්දියා නියෝජිත කණ්ඩායමයි.

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළෙන් පිටත් වූ තිහකගෙන් සමන්විත ඉන්දියා නියෝජිත පිරිස රැගත් ATR 72-600 ගුවන්යානය යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්සවීම සමඟ ගුවන් තොටුපළ විවෘත වීම සනිටුහන් වීම සිදු විය. මහ කොමසාරිස් කාර්යාලීය නිවේදනය ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ කියමනක්ද මෙහිදී සිහිපත් කරවයි. ඉන්දියාව ගැන මා දකින අනාගත අසල්වැසි රටවලද අනාගත සිහිනයක් වනු දැක්ම මගේ අභිලාෂයයි යන්න එම කියමනයි. ඔහු මේ ප්‍රකාශය කළේ 2015 ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දීය.

ගුවන් තොටුපොළක් යනු තවදුරටත් මඟීන් සහ භාණ්ඩ ප්‍රවාහනයේ පහසුකමක් පමණක් නොවේ. ජාත්‍යන්තර ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන බිස්නස් ස්ට්ටැරිජි ප්‍රකාශ කරන්නේ නාවික ගමනාගමනය දුම්රිය අධිවේගී ගමන් මාර්ග ආර්ථික සංවර්ධනය කරා ළඟාවීමේ පිවිසුම් වුවත් අද වන විට ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධාන පිවිසුමක් වන්නේ ගුවන්තොටුපොළ බවයි. ගුවන් සමාගම් කොපමණකට අයත් ගුවන් යානා ප්‍රමාණයක් එම රටට පැමිණෙන්නේද යන්න සොයා බැලීම විදේශ ආයෝජක විශ්වාසය දිනා ගැනීමේ සාධකය'කැයි ද එම සඟරාව කියයි. නව සංවර්ධනයට පිවිසෙන රටවල් සිය ගුවන් තොටුපොළ නවීකරණයටත් නව ගුවන්තොටුපොළ ඉදිකිරීමටත් දැඩි ලෙස අවධානය යොමු කරයි.

ලොව වැඩිම ගුවන් තොටුපොළ සංඛ්‍යාවක් ඇති රට අමෙරිකාවයි. දෙවන රට චීනයයි. තුන්වන ස්ථානයට පත්වීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියා සිවිල් ගුවන් සේවා ලේකම් ආර්.වී. චවුබි ඉතා මෑතකදී ප්‍රකාශ කළේ ඉදිරි වසර 10 ඇතුළත නව ගුවන් තොටුපොළ 100ක් ඉදිකිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි. මේ සඳහා පුද්ගලික අංශයේ සහායද අවශ්‍ය බව ඔහු පවසයි. මේ බව සඳහන් වන්නේ VISION 2040 නම් ඉන්දියා සැලැස්මේය.

බංග්ලාදේශ් නම් රට බිහි වූයේ ඉතා මෑතකදීය. මේ වන විට බංග්ලාදේශය සතු අන්තර්ජාතික ගුවන්තොටුපොළ සංඛ්‍යාව 3කි. මනා ලෙස ක්‍රියාත්මක වන අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංඛ්‍යාව 6කි. තවත් ගුවන්තොටුපොළක් බග්රහාට් නම් නගරයේ ඉදිවෙමින් තිබේ. මියන්මාරයට ගුවන්තොටුපොළ 41කි. අප්‍රිකා මහාද්වීපයේ ‍ඉතියෝපියාව කලකට පෙර ප්‍රසිද්ධව තිබුණේ සාගින්න සහ සිවිල් යුද ගැටුම් නිසාය. අද ඉතියෝපියාව ශීඝ්‍ර සංවර්ධනය කරා පියවර තබන රටකි. රටේ ගෝත්‍රික ගැටුම් සමනය කර ඇති අතර එරට අගමැතිවරයාට 2019 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය පවා හිමි විය. 2012 දී ඉතියෝපියාව සතුව ගුවන්තොටුපොළ 52ක් ක්‍රියාත්මක විය. අද වන විට එම සංඛ්‍යාව 61 දක්වා වැඩිව තිබේ.

ශ්‍රී ලංකාවද යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ පිහිටුවාලීමෙන් ගුවන් ගමන් සංවර්ධන මාවතට පිවිසෙයි. එසේම රත්මලාන සහ මඩකළපුව යන ගුවන්තොටුපොළ දෙකද ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙකක් ලෙස ළඟදීම ජාත්‍යන්තරයට සම්බන්ධ වෙයි.

යාපනය ගුවන් තොටුපොළේ අතීතය දෙවන ලෝක යුද සමය දක්වා ඈතට ගමන් කරයි. ඒ වන විට නිදහස ලබා නොසිටි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කොළනියකි. දෙවන ලෝක මහා යුදබිය ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත වෙතද එල්ල වෙත්ම සිය යටත් විජිත රැකගැනීමට බ්‍රිතාන්‍යය උත්සුක විය. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව සඳහා බ්‍රිතාන්‍ය විසින් පලාලි ගුවන්තොට ඉදි කරන ලදී.

රාජකීය ගුවන් හමුදාවේ RAF 160, 203, 292 සහ 354 යන බලඝන ස්ථානගත කර තිබුණේ පලාලි ගුවන් හමුදා තොටුපොළට අනුබද්ධිතවය. යුද්ධය නිමාව සමඟ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ඉවත්ව ගියෙන් එම ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා අංශයට අයත් විය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටේ සංවර්ධන කටයුතු පියවර තුනකි. ආරම්භක වශයෙන් මඟීන් 72 ප්‍රමාණයේ ගුවන්යානා ඉන්දියාව සහ ලංකාව අතර ගමනාගමනයේ යෙදෙනු ඇත. ආරම්භයේ සතියට ගමන්වාර 3කි. පසුව ගමන් වාර 7 දක්වා වැඩිවනු ඇත. විවෘත කිරීමේ උත්සවයේදී ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කෙළේ ඉතා අඩු මිලකට ඉන්දියාවට යෑමට ශ්‍රී ලංකාවාසීනට අවස්ථාව උදාකර දෙන බවයි.

දෙවන පියවර ඊට වඩා විශාල ගුවන් යානා සඳහා ඉඩකඩ සැලසීමයි. තුන්වන පියවර අවසන්වීම සමඟ චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල A320 / BOING 737 / A 318 / A319 යන දැවැන්ත ගුවන්යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලැසේ. එසේම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහාද ගුවන්තොටුපොළ පහසුකම් සැපයේ.

යාපනය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් සඳහා ඉන්දියාවේ ALLIANS AIR සමාගමේ ගුවන් යානා දැන් ඉදිරිපත්ව සිටී. එය එයාර් ඉන්ඩියා සමාගමට අනුබද්ධිතය. යාපනය කොළඹ සහ අභ්‍යන්තර මඟී ගමන් හා භාණ්ඩ ප්‍රවාහනයට ගුවන් සමාගම් 7ක් ඉදිරිපත්ව සිටී.

සංචාරක කර්මාන්තය සහ අපනයන අංශය දියුණුවීම සමඟ ශ්‍රී ලංකාව අභ්‍යන්තර ගුවන් ගමන් පහසුව වර්ධනය කර ගත යුතුව තිබේ. මේ සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශය සඳහා අභ්‍යන්තර ගුවන් තොටක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය වන මඩකළපු ගුවන් තොටුපොළ 1958 නොවැම්බර් 17 වන විවෘත වූ අභ්‍යන්තර ගුවන් තොටකි. මඩකළපුව නගරයට කි.මී. 2.4ක දුරින් පිහිටියේය. 2018 මාර්තු 25 දින සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වූයේ රුපියල් මිලියන 1400ක් වැය වූ ප්‍රතිසංස්කරණ වලින් පසුවය. යුද ගැටුම් සමයෙන් පසු පටන්ගත් ප්‍රතිසංස්කරණ ඇරැඹුණේ 2012 දීය. ඒ අනුව මීටර් 1070ක් වූ ධාවන පථය මීටර් 1560 දක්වා දීර්ඝ කරන ලදී. රුපියල් බිලියන 1.4ක් වැය වූ තවත් ප්‍රතිසංස්කරණ වලින් පසු 2016 ජුලි 10 වනදා නව ඉදිකිරීම් විවෘත කරන ලදී. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතිනි. ගුවන් තොටුපොළ විශාලත්වය අක්කර 358.8කි. අක්කර 187ක් ගුවන් හමුදාව සඳහාය.

මඟී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය අතින් ඉහළ ප්‍රගතියක් පෙන්වා ඇති මඩකළපුව ගුවන් තොටුපොළ 2018 වසරේ ගුවන් යානා මෙහෙයවීම් 1176ක් සිදු කර ඇත. මගී හැසිරවීම් 3854කි. එසේම මෙට්‍රික්ටොන් 48.8ක් භාණ්ඩ මෙහෙයවීම් සිදු කර ඇත.

මඩකළපුව ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළක් බවට පත්කිරීමට 2019 දී තීරණය කරන ලදී. එසේම ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවිය. 2020 ජනවාරියේදී මඩකළපුව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස කටයුතු කිරීම ආරම්භ වීමට නියමිතය. දැනටම ඒ සඳහා ගුවන් සමාගම් සිය අභිමතය පළ කර ඇත.

මීට අමතරව රත්මලාන ගුවන් තොටුපොළද ළඟදීම ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්වු පසු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංඛ්‍යාව 5කි. මේ හැර සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතේ පවතින කොග්ගල, හිඟුරක්ගොඩ සහ සීගිරිය ගුවන් තොටුපොළද සංවර්ධනය කිරීමට නියමිතය.

රත්මලාන ගුවන් තොටුපොළේ ඉතිහාසය ද 1930 තරම් ඈතට දිව යයි. 1930 දී සැහැල්ලු ගුවන් ගමන් වෙනුවෙන් මේ ගුවන්තොට ආරම්භ කෙළේ බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය මඟිනි. ඒ වන විට ලංකාව යටත් විජිතයකි. 1947 වන විට කොළඹ මදුරාසිය දක්වා ගුවන් ගමන් ආරම්භ විය. එම යානා මදුරාසියට ගමන් කෙ‍ළේ යාපනය පලාලි ගුවන්තොටේ ගොඩබෑමකින් පසුවය. එසේම රත්මලාන ගුවන් තොටුපොළ හැඳින්වුණේ කොළඹ ගුවන් තොටුපොළ වශයෙනි. කොළඹ සිට යාපනය, චෛනබේ (ත්‍රි,මලය) අම්පාර, වීරවිල සහ මඩකළපුව දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සිදු විය. 1932 ඉන්දියා ලංකා මහා බ්‍රිතාන්‍ය ගුවන් තැපැල් සේවාව ඇරැඹුණේ රත්මලානෙනි. 1934 රාජ්‍ය මන්ත්‍රණ සභාව රත්මලාන ගුවන් තොටුපොළ වැඩිදියුණු කිරීමේ තීරණයක් ‍කර නව ගොඩනැඟිලි ඉදිකරන ලදී. 1937 රාජ්‍ය මන්ත්‍රණ සභාව ගුවන් ගමන් හා ගුවන් තොටුපොළ පිළිබඳ නීති රීති සම්මත කරන ලදුව එතැන් පටන් මෙරට ගුවන් ගමන් සේවා සංවර්ධනය වීම ඇරැඹිණ. රත්මලාන ගුවන් තොටුපොළ විවෘත වූයේ 1938 පෙබරවාරි 28 වැනි දිනදීය.

1942 දෙවන ලෝක යුද සමයත් සමඟ රත්මලාන ගුවන් තොටුපොළ පාලනය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව යටතට පත්වුවද ලෝක යුද්ධය නිමාවීම නිසා 1946දී සිවිල් ගුවන් සේවා අංශය වෙත එය නැවත භාර දෙනු ලැබීය.

1964දී කටුනායක ගුවන් තොටුපොළ ඉදිකිරීම ඇරැඹිණ. 1967 එය ජාත්‍යන්තර ගුවන්‍ තොටුපොළ ලෙස භාවිතයට ගැනීම සමඟ රත්මලාන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා සම්පූර්ණයෙන්ම වෙන් විය. 2012 දී නැවත රත්මලාන ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට පියවර ගත්තේ කොළඹ නගරය සඳහා තවත් ප්‍රධාන ගුවන් තොටුපොළක අවශ්‍යතාව ඉස්මතු වීම සමඟය. රත්ලාන පිහිටියේ කොළඹ නගරයට කි.මී. 15ක් නුදුරිනි.

මේ වන විට අන්තර්ජාතික ගුවන් තොටකට අවශ්‍ය අංගෝපාංග රාශියකින් සමන්විත රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර රාශියක් සම්පූර්ණ කර ඇත. එය ශ්‍රී ලංකාවේ සිව්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බවට පත්වීම සමඟ රටේ සංවර්ධනයට අවශ්‍ය තවත් පියවරක් සම්පූර්ණ වනු ඇත.

ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පහට අමතරව අම්පාර, අනුරාධපුර, දඹුල්ල, ගාල්ල, වීරවිල, කටුකුරුන්ද, ඉරණමඩු, හිඟුරක්ගොඩ, පාලවිය, චයිනබේ සහ වවුනියාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටුවා ඇත. මහනුවර ගුවන් තොටුපොළ අඩි 6600ක ධාවන පථයක් සහිතව ඉදිවනු ඇත. මේ හැම ගුවන් තොටුපොළක්ම හමුදා සහ සිවිල් ගුවන් ගමන් සඳහා විවෘතය.

සංචාරක කර්මාන්තය දියුණුවීම සමඟ රටේ අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබේ. යාපනය ගුවන් තොටුපොළ සඳහා වැය වූ මුදල් වසරක් ඇතුළත නැවත උපයා ගැනීමට හැකියාව ලැබෙන බව එම ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවේදී කියැවිණි. ගුවන් තොටුපොළක ආර්ථික වාසිය එමඟින් හෙළිවේ. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යාපනයට සීමාවූවක් නොවේ. එය මුළු රටටම අයිතිය. රටේ මුළු ජනතාවටම අයිතිය.

කොළඹ කොටස් වෙළෙඳපොළ

ව්‍යාපාරික දින 7ක් නොකඩවා වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සතියේ අඟහරුවාදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 29කින් පහත වැටුණි. තමන් සතු සමාගම් කොටස් මිල නොකඩවා වර්ධනය වීම සමඟ ඒවා විකුණා ලාබ ඉවත් කර ගැනීම වෙළෙඳ පොළේ සාමාන්‍ය ලක්ෂණයයි.

එදින විශේෂ සිද්ධියක් වූයේ ගලධාරි හෝටල් කොටසක මිල රුපියල් 8.40 සිට රුපියල් 9.80 දක්වා ඉහළ යෑමය. ගලධාරි කොටස් 1752592ක් එදින හුවමාරු විය.

බදාදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 3කින් පහත වැටුණි. එහෙත් බ්‍රහස්පතින්දා නැවත වෙළෙඳ‍පොළ සක්‍රීය වී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 23කින් වර්ධනය විය. බදාදා පිරිවැටුම රුපියල් දසලක්ෂ 540කි. බ්‍රහස්පතින්දා පිරිවැටුම රුපියල් දසලක්ෂ 526කි

සිකුරාදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 3ක වැඩිවීමක් පෙන්නුම් කළේය. එසේම පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවීය. වැවිලි අංශයේ සමාගම් කොටස් සක්‍රීයවීම සිකුරාදා දක්නට ලැබුණු විශේෂත්වයයි. ඩයලොග් කොටස් 61899645ක් රුපියල් 11.30 සිට රුපියල් 12.10 අතර මිල ගණන් වලට හුවමාරු වීම පිරිවැටුම ඉහළ යෑමට හේතුව බව රොයිටර් මූල්‍ය වාර්තාව කියයි.

මස්කෙළිය, මඩොල්සිම, බලන්ගොඩ, මල්වත්ත සහ හපුගස්තැන්න සක්‍රීය වූ වැවිලි සමාගම්ය.

ඔක්තෝබර් 18 ශ්‍රී ලංකා මහ බැංකු සති අග ආර්ථික දර්ශකයට අනුව සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 751කි. සමස්ත කොටස් මිල දර්ශකය ඉකුත් සතිය තුළ ඒකක 29ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

2019 අවුරුද්දේ මුල් මාස 9 තේ නිෂ්පාදනය 2018 එම කාලසීමාවට සාපේක්ෂව තේ කිලෝ දසලක්ෂ 9.7ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඔක්තෝබර් 15 - 16 තේ වෙන්දේසියට තේ කිලෝ දසලක්ෂ 6.3ක් ඉදිරිපත් විය. සැප්තැම්බරයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් දසලක්ෂ 21.7කි. පසුගිය වසරේ සැප්තැම්බරයට සාපේක්ෂව මෙය කිලෝග්‍රෑම් දසලක්ෂ 2.3ක වර්ධනයකි.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න