නිහ­ත­මානී ආඩ­ම්බ­ර­ය­කින් ජීවත් වෙනවා | දිනමිණ


 

නිහ­ත­මානී ආඩ­ම්බ­ර­ය­කින් ජීවත් වෙනවා

ආ ශ් ච ර් යා    ජ ය ­කො ඩි

ලොව එකම දෑස් නොපෙනෙන මෝස්තර ශිල්පිනිය ඇය ය. 2001 වසරේදී කුරිරු ත්‍රස්තවාදය නිසා දෑස අහිමි වූ ආශ්චර්යා ජයකොඩි ලෝකයට බලපෑම් කළ කළ හැකි කාන්තාවන් සියදෙනා අතරට තේරී පත් වෙමින් පසුගිය දා ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූවාය. ආර්යා පදනම හා එක්ව ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඇය සිදුකරන්නේ ආශ්චර්යවත් සේවයකි. පෞරුෂ වර්ධන හා නායකත්ව පුහුණු උපදේශකවරියක වශයෙන්ද ප්‍රකට ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙසද ලෝකප්‍රකට ය. සම්මාන රැසකින් පිදුම් ලද ඇය උත්සාහයට හා ආත්ම ශක්තියට කළ නොහැක්කක් නොමැති බව ලෝකයට පසක් කර දී තිබේ.

 

ඔබ ගැන කෙටියෙන් පැවසුවොත්?

මම රටේ සමාජ, ආර්ථික, දේශපාලන සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි අත්දැකීම් ඇති ජීවිතයේ රස - නීරස හොඳින් විඳිමින් ශ්‍රී ලංකාවේ ජීවත්වන අභිමානවත් පුරවැසියෙක්. මවක්, බිරිඳක්, වෘත්තිමය නිර්මාණ ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක්, පෞරුෂ වර්ධන උපදේශකවරියක් ලෙස ක්‍රියාකාරී සේවයක නිරතවන කාන්තාවක් වගේම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කැපවෙන සහ අවතැන් වූ දරුවන් වෙනුවෙන් සේවය කරන බාරකාර මවක් වන නිසා මම නිහතමානී ආඩම්බරයකින් ජීවත්වන කාන්තාවක් කිව්වොත් නිවැරැදියි.

පවුලේ විස්තර ‍මොනවද?

මම ධනවත් පවුලක එකම ගැහැනු දරුවා. මවුපියන්ගේ බලාපොරොත්තුව වුණේ මා ඉහළ රැකියාවකට යොමු කරලා මුදල් ඉපැයීමට යොමු කිරීම. නමුත් ‍මගේ ආබාධිත තත්ත්වයත් එක්ක ඔවුන් මගෙන් දුරස් වුණා. දැන් මම විවාහකයි. මට ආදරණීය සැමියෙක් සහ දියණියක් ඉන්නවා. ඔවුන් දෙදෙනා මගේ දෑසින් දැක නොතිබුණත් මනසින් දකිනවා. මගේ සැමියා චන්දන ජයකොඩි.

ඔබ ආදරය ගැන හිතන්නේ මොනවාද?

මම ධනවත් පවුලක එකම දරුවා වුණත් මානසිකව තැලුණු පෙලුණු චරිතයක්. මානසික සතුට නැත්නම් භෞතික සම්පත් කොතරම් තිබුණත් වැඩක් නැහැ. ආදරණීය බැඳීම් ශක්තිමත් වෙන්නේ මුදල්, රූපය, බලය මත නෙමෙයි කියලා මම අද ලෝකයටම ඔප්පු කරලා තිබෙනවා. ආදරය ගැන කතා කරද්දි අපි හැමෝටම මතක් වෙන්නේ පෙම්වතුන් සහ පෙම්වතියන්. ආදරය රැ‍ඳෙන්න තවත් ඕනෑ තරම් දේවල් තියෙනවා. මගේ ජීවිතය සිනමා නිර්මාණයක් වගෙයි. තාත්තාගේ ආදරය මට මගහැරුණේ ඔහු කාර්යබහුල ජීවිතයක් ගත කළ නිසා. විවාහය ආදරය මත පදනම් විය යුතු බවයි මගේ අදහස. විවාහයෙන් පසු ස්වාමි පුරුෂයා බිරිඳටත්, බිරිඳ ස්වාමි පුරුෂයාටත් දැඩි සේ ආදරය සහ ගෞරවය දැක්විය යුතුයි. එවිට පවුලේ බැඳීම් ශක්තිමත් වෙනවා. පවුලෙන් බැහැරව අසල්වාසීන්ට, මිතුරු මිතුරියන්ට වගේම ලෝකයාටම ආදරය කරුණාව දක්වන්න ඕන. පළමුව එය නිවසින් ආරම්භ කළ යුතුයි. මගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස එයයි.

ඔබේ සැමියා ගැන සඳහන් කළොත්?

ඔහු මාව විවාහ කරගත්තේ 2010 වසරේ මම ආබාධිතව සිටියදී. එතකොට මට තිබුණේ මගේ නොසැලෙන පෞරුෂය විතරයි. ඔහු ලංකාවේ පිළිගත් රැකියාවක නිරත වූ කෙනෙක්. දැන් ඔහු Kith Computer Services නමින් ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඔහු කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් මම ගැන හොයලා බලනවා‍. මම ඔහු තුළින් දකින විශේෂත්වය තමයි ඔහු මට කවදාවත් පව් කියලා නැහැ. ඔහු මා තුළින් දැක්කේ සාමාන්‍ය විදිහට එදිනෙදා වැඩ කටයුතු නොපිරිහෙළා ඉටුකරන බිරිඳක් විතරයි. අපේ ආදරය පරිණතයි. අපි සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. පවුලේ සාමාජිකයන් අතර දැඩි බැඳීමක් තියෙනවා. ගෙදර ඉවුම් පිහුම් හා නිවසේ සියලුම කටයුතු ඉටුකරන්නේ මම. දෑස ‍නොපෙණනුත් මම පවුල වෙනුවෙන් මගේ වගකීම් සහ යුතුකම් ඉටුකරනවා.

ඔබ ලබාගත් සම්මාන මොනවාද?

2014 වර්ෂයේදී හොඳම නව්‍ය නිර්මාණ සඳහා වඩා කැපවීමෙන් කටයුතු කළ ශිල්පිනියට හිමි සම්මානය හිමිවුණා. 2017 දී ලංකාවේ නිර්මාණශීලී කාන්තාවන් දහදෙනා අතරට තේරීපත්වුණා. මට විශ්වවිද්‍යාල, විවිධ සංගම්වලින් සම්මාන හිමිවෙලා තියෙනවා. BBC සේවය 2019 වසරේ නම් කළ ලෝකයේ සිටින වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තාවන් සියදෙනා අතරට තේරීපත්වීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරැදියි.

ඔබේ ජනතා සේවය විස්තර කළොත්?

බිඳ වැටුණු ජීවිත යළි ගොඩනැගීමේ අරමුණින් දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ට පෞරුෂ වර්ධන හා නායකත්වය පුහුණු වැඩමුළු පවත්වනවා. ආබාධිත රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඔවුන්ට මානසික ශක්තිය ලබාදීමට වැඩමුළු පවත්වනවා. ආර්යා පදනම හා සම්බන්ධ වෙමින් පුස්තකාල පහක් ස්ථාපනය කරන්න සැලසුම් කරලා තියෙනවා.

ඔබ ජීවිතයේ මුහුණ දුන් අභියෝග විස්තර කළොත්?

ඇත්තටම මම ජීවිතයේ ‍නොයෙක් දුක් පීඩාවන්ට ලක් වූ කාන්තාවක්. මින් වසර 19 කට ඉහතදී රාජගිරිය ආයුර්වේද රෝහල අසල පුපුරා ගිය බෝම්බය නිසා මගේ දෙනෙත සදහටම අහිමි කළා. ආදරය, කරුණාව අවශ්‍ය මොහොතක මගේ මාපියන් මා අතහැර දැමුවා. මට ජීවිතය අභියෝගයක් වුණා. ආහාර පවා නිසිපරිදි ලැබුණේ නෑ. මගේ මිතුරා වුණේ තනිකම. පියා නාගරිකව ජීවත්වන රැකියාවක් කරන කෙනෙක්. මව ඊට හාත්පසින්ම වෙනස් ග්‍රාමීයව ජීවත්වන තැනැත්තියක්. ආබාධිත තත්ත්වයට පත්වන්නට පෙර මම උසස් රැකියාවක නිරත වුණා. පාදයකට බරපතළ ලෙස හානි වූ නිසා දීර්ඝ කාලයක් රෝද පුටුවක ගත කරන්නට සිදුවුණා. එදා සිට අද වනතුරු මගේ මව දුරකථන ඇමතුමක්වත් දුන්නේ නැහැ. නමුත් දැන් මට ලෝකයේම ජනතාව ආදරය කරනවා.

ඔබ කලාවට යොමුවුණේ කොහොමද?

ළමා වියේ සිටම කලාවට කැමතියි. මාපියන්ගෙන් ඊට සහය ලැබුණේ නැහැ. ඔවුන්ට වුවමනා කරලා තිබුණේ වැඩියෙන් මුදල් උපයන රැකියාවකට යොමුකර ධනවත් පවුලකින් විවාහයක් සිදුකරදීමට පමණයි. මම සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා දැනට වසර 18 කට වැඩියි. මම මෝස්තර නිර්මාණයට පිවිසෙන්නේ එවැනි පසුබිමකයි. මගේ සියලු නිර්මාණ මැවෙන්නේ මගේ මනස තුළ. මනසින් වර්ණ සංයෝජනය කළ හැකි නිසාත් නිර්මාණ අනුකරණය නොකරන නිසාත් මගේ නිර්මාණවල සුවිශේෂී බවක් තිබෙනවා. මගේ වර්ණ පරාසය බොහොම පුළුල්. මට අවශ්‍ය වර්ණ තෝරාගන්නේ සොබාදහමේ වර්ණ හා සසඳමින්. මට මනසින් බොහෝ දේ දකින්න පුළුවන්. මගේ මනස තියුණුයි. හැමවිටම නව නිර්මාණයක් මනසින් නිර්මාණය කරන නිසා මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ දුර ගමනක් යනවා.

පාසල් වියේ කලා කටයුතුවලට දැක්වූ දායකත්වය සඳහන් කළොත්?

පාසල් කාලයේ මම කලාවට දස්කම් පෑවා. උඩරට නර්තනය හැදෑරුවා. චිත්‍ර අඳින්නත් පුළුවන්. අවුරුදු අටේදී පුද්ගලයකුගේ රූපයක් ඒ ආකාරයෙන්ම සිතුවම් කිරීමේ හැකියාව තිබුණා. ගෙදර පරිසරය නිසාත්, පියා රටින් බැහැරව සිටි නිසාත් ඒ ගැන ඔහුට අවධානය යොමු කරන්න බැරි වෙන්න ඇති.

නූතන කාන්තාවන්ට ඔබ දෙන ආදර්ශය කුමක්ද?

සමීපතයන් මා හැර ගියත් මම මා වෙනුවෙන් ජීවත්වුණා. අසරණියක් ලෙස සමාජයේ අනුකම්පාවට පාත්‍රවුණු අවස්ථා පවා තිබුණා. කාන්තාවන් සෙසු අයට වඩා සුවිශේෂී වන්නේ දරා ගැනීමේ ශක්තිය නිසා. කාන්තාවන්ට නොසැලී ඉදිරියට යන්න ජීවිතයේ සාර්ථකත්වයට දෙවියන් වහන්සේ ලබාදුන් ඒ අවස්ථාවම ඇති. පැහැදිලි දැක්මක් තිබුණොත් කාන්තාවකට වරදින්නේ නැහැ. උත්සාහය සහ ධෛර්යය ඇත්නම් කළ නොහැක්කක් නැහැ. අනතුරෙන් පසු ආබාධිත බව බාධාවක් කර නොගනිමින් ඉදිරියට යන්න මට ඕනවුණා. අපි හැමෝටම විවිධ ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. අභියෝගවලින් තොර ජිවිතය නීරසයි කියලා දැන් මට හිතෙනවා. මාපියන් මාහැර ගියත් අද මගේ සහයට තනියට සැමියා ඉන්නවා.

ඔබේ අරමුණු, සැලසුම් මොනවද?

අසරණ දරුවන්ට, ආබාධිත රණවිරුවන්ට සරණක් වීම මගේ අරමුණයි. මම බාරකාර මවක්. ඔවුන්ව රැකබලා ගනිමින් මානසික ශක්තිය ලබාදීමට මෙන්ම ඒ ජීවිත වෙනුවෙන් කටහඬ අවදි කිරීමට මම සූදානම්. ලංකාවේ ආබාධිත පිරිස් ලක්ෂ තුනකට වඩා ජීවත්වෙනවා. ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න කවුරුත් නැහැ. මම ශාරිරිකව හා මානසිකව අසීමිත දුක්වින්ද නිසා ඒ වේදනාව මට දැනෙනවා. මිනිස්සු ශක්තිමත් වන්නේ මානසික වශයෙන් ධනාත්මක ආකල්ප පැවතුණොත් පමණයි. රටට වැඩදායි සුබවාදී ආකල්පවලින් පිරිපුන් මිනිසුන් තනන්නට මනස ශක්තිමත් කළ යුතුයි. රටේ දේශපාලනය පවා නිවැරදි මාවතකට යොමුකිරීමට මෙය බලපානවා. එය සාර්ථකව සිදුකරන ගමන් අසරණ පිරිස් වෙනුවෙන්. ඔවුන්ට පැමිණ නොමිලයේ ආහාරපාන ගැනීමට, විවේකව ගත කර යෑමට නිවහනක් හදන එක මගේ සැලසුමක්. කවදා හෝ එය ඉටුකිරීමට මම සිහින දකිනවා.

මවුපියන් වෙනුවෙන් ඔබට කියන්න යමක් තියෙනවද?

සමහර මාපියන් තමන්ගේ ජීවිතයේ තමන්ට ඉටුකර ගැනීමට නොහැකි වුණු හීන අපේක්ෂා දරුවන් ලවා ඉටුකර ගැනීමට උත්සාහ කරනවා. ඔබේ දරුවන්ගේ ජීවිත අත්තනෝමතිකව හසුරුවන්නට එපා. දරුවන්ට ආදරය, කරුණාව දක්වන්න. එවිට ඔවුන් ඔබට වෛර කරන්නේ නැහැ. මගේ මව නිසා වේදනාවට පත්වුණු කෙනෙක් වුණත් මම මගේ දරුවට වගේම අනෙක් දරුවන්ටත් හොඳ මවක් ලෙස කටයුතු කරනවා. දරුවකු ප්‍රසූත කළ පමණින් ස්ත්‍රියක් මවක් වන්නේ නැහැ. තිස් වසරක රුදුරු ත්‍රස්තවාදයේ ගොදුරක් වුණු මම ඉදිරියට සිදුවිය හැකි විනාශයන් අභිමුව නිහඬව සිටින්න සුදානම් නැහැ.

 

සංවාදය -

පමුදිනි සමරනායක

ඡායාරූප -

කැලුම් කුමාර මොහොට්ටිගේ

නව අදහස දක්වන්න