ජීවි­තයේ සැහැ­ල්ලු­වට විනෝ­දාංශ | දිනමිණ


 

ජීවි­තයේ සැහැ­ල්ලු­වට විනෝ­දාංශ

කාර්යයබහුල සමාජයේ ජීවත් වන බොහෝ අයට විනෝදාංශයකට කාලය මිඩංගු කිරීමට වෙලාවක් ලැබෙන්නේ නැත. ඒ නිසා බොහෝදෙනකු අතින් විනෝදාංශ මඟ හැරේ. නමුත්, පුද්ගල ජීවිතය සතුටින් සහ ප්‍රබෝධමත් ව තබාගන්නට විනෝදාංශ වැදගත් වේ. එය නිසා කායික සහ මානසික සුවයක් ලැබිය හැකි බව සමහර විට ඔබ නොදන්නවා වන්නට පුළුවන්.

 

1. භාවනාව

භාවනාව විනෝදාංශයක් දැයි කියා ඔබට ගැටලුවක් ඇතිවනු නිසැක ය. විනෝදාංශ ගැන කතා කරන බොහෝ උගතුන් පවන්නේ භාවනාව විනෝදාංශයක් බවයි. මෙය ප්‍රගුණ කළ හැකි නම් කෙනෙකුට ඉන් ලැබිය හැකි ප්‍රයෝජන සහ වාසි අපමණ ය. භාවනාව නිසා ඔබේ මානසික ආතතිය, රුධිර පීඩනය පහළ වැටේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ. භාවනාවෙන් මානසික ඒකාග්‍රතාවය ද ඇති කෙරේ.

2. ගෙවතු වගාව

විනෝදාංශයක් බව දැන හෝ නොදැන හෝ සමහරු තම ගෙවත්තේ කිසියම් වගාවක් කිරීමට පෙළඹෙති. ඇතැමුන් වවන්නේ මල් ය. තවත් සමහරු එළවලු හෝ පලතුරු හෝ වවති. කුමක් වගා කළත් ගෙවතු වගාවේ නියැලීම ඉතා වටිනා විනෝදාංශයක් බව ඒ පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති විද්වත්හු පවසති. ගෙවතු වගාවට යොමු වූ කෙනකුගේ සිරුරේ මානසික ආතතිය ඇති කිරීමට හේතු වන ‘කොර්ටිසෝල්‘නම් රසායනිකය පහළ වැටෙන බව තහවුරුව ඇත. ගෙවතු වගාව නිසා ඔබේ සිරුරට ව්‍යායාම ලැබේ. අවුරුදු 16ක් 17ක් වැනි දීර්ඝ කාලයක් ගෙවතු වගාවේ නියැලී සිටිය කෙනෙකුට, මහලු වයසේදී ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීම 36%කින් පමණ අඩු කරගත හැකි බව පර්යේෂණවලින් සනාත වී ඇත.

3. ඉවුම් පිහුම්

තමන්ගේ ආහාර නිවසේදීම සකස් කර ගැනීම පුද්ගල නිරෝගීතාවයට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නැත. නිවසේදී පිළියෙළ කරගන්නා කෑම බීම කන - බොන අය දිගුකලක් ජිවත් වන බව පර්යේෂණවලින් සනාතව තිබේ. පවුලේ සාමාජිකයන්ගේ රුචි අරුචිකම්වලට අනුව නොයෙකුත් ආහාර පාන සැකසීම ඔබේ සිතට සතුටක් නොවන්නේ ද?. ආහාර පාන මිලදී ගන්නා විට එවැනි සතුටක් මතු වන්නේ නැත. අනෙක් අතට, ඒවායේ ඇති ලුණු, තෙල් සහ සීනි පමණක් නොව වෙනත් රසකාරකයන් ගැන අපට තක්සේරුවක් නැත.

4. පොත් කියවීම

පොත් කියවීම, ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමකට රැගෙන ඒමට හේතුවන බව සඳහන් වේ. කියවීම, මානසික ආතතිය 69%කින් පමණ පහළ දමයි. පොත් කියවීම නිසා ඔබේ දැනුම සහ ශබ්ද කෝෂය දියුණු තියුණු වේ. එපමණක් නොව සුව නින්දක් ලබන්නටත් කියවීම ඉවහල් වන බව පැවසේ. විශේෂයෙන්ම, රාත්‍රී නිදා ගැනීමට පෙර ඔබ පොතක් කියවන්නකු නම්, මේ අත්දැකීම වඩාත් හොඳින් ලබන්නට පුළුවන. කියවන්නේ කවර ශානරයකට අයත් කෘති ද, කුමන ලේඛනකයාගේ කෘති ද යන්න, කියවීම ප්‍රගුණ කිරීමෙන්ම ඔබට සොයා ගැනීමට හැකිවනු ඇත.

5. සංගීත භාණ්ඩ වාදනය

දීර්ඝ කාලයක් සංගීත භාණ්ඩයක් වාදනයට හුරු වූ අයගේ සාමාන්‍ය දැනුම ඉහළ මට්ටමක පවතින බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. සංගීත භාණ්ඩ වාදනය පුහුණු කිරීමෙන් ඥානමය වර්ධනයක් සිදුවන බවත් සඳහන් වේ. එසේම අත හා ඇස අතර සම්බන්ධීකරණය එමඟින් මුවහත් කෙරේ.

6. චෙස් ක්‍රීඩාවේ නියැළීම

ඥානය දියුණු තියුණු කෙරෙන ක්‍රීඩාවක් හැටියට වෙස් ක්‍රීඩාව ප්‍රකට ය. චෙස් ක්‍රීඩාවේ යෙදෙන විට මොළයේ වම් අර්ධය පළමුවෙන් වැඩිපුර භාවිතයට ගැනේ. එකී අර්ධය භාවිත වන්නේ වස්තූන් හඳුනා ගැනීමේ කාර්යය සඳහා ය. මොළයේ දකුණු පස අර්ධය භාවිතය වීම ආරම්භ වන්නේ දෙවනුවයි. එය අවශ්‍ය වන්නේ රටා හඳුනාගැනීමටයි. ස්මරණ හැකියාව සහ උපාය මාර්ගික චින්තනය වැඩි දියුණු කිරීම චෙස් පුහුණුව මඟින් වර්ධනය කෙරෙන බව මනෝ විද්‍යාඥයෝ පවසති.

7. නර්තනය

නර්තනයේ යෙදීම නිසා ආහ්ලාදයක් ලැබිය හැකි බව සත්‍යයකි. එහෙත් නර්තනය නිසා දේහ ක්‍රියාකාරීත්වය වැඩි වීම ඇතුළු වාසි රැසක් ද ලබන්නට පුළුවන. නර්තනය මානසික ආතතිය අඩු කිරීමට හේතු වේ. නැටුමක නිරත වනවිට එම පුද්ගලයාගේ දේහයේ ඇති ‘සොරොටොනින්‘නමැති රසායනිකය ඉහළ යන්නට පටන් ගනී. එවැනි රසායනික වෙනසක් ශාරීරික සහ මානසික සුවතාව පවත්වාගෙන යෑමට හේතුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. නර්තනය යෙදෙන විට එමඟින් ඔහුගේ හෝ ඇයගේ හෝ කඩවසම් බව සහ දේහ නම්‍යශීලීතාව වැඩි කෙරේ.

8. ක්‍රීඩා කිරීම

ක්‍රීඩාවෙන් කය වෙහෙසෙන බැවින් ශාරීරික සෞඛ්‍යට එය හොඳ ය. කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරන විට එයටත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබේ. එනම් කෙනෙකුගේ පාළුව, හුදකලාව සහ තනිකම වැනි තත්ත්වයන් බැහැර වීමයි. හුදකලා බව හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග රැසක් ඇති කරන්නට හේතුවක් බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. හුදකලාව, ස්ථුලතාවයට වඩා දෙගුණයක් භයානක බව විද්වත්හු මේ නිසා පවසති.

9.ලේඛනය

තමන්ගේ සිතුවිලි, අත්දැකීම්, හැඟීම් සටහන් කර තබන්නට කැමැති අය ද සමාජයේ වෙසෙති. ලේඛනය, මානසික ආතතිය අඩු කරන මඟක් ලෙස හඳුනාගෙන තිබේ. තමන් ලබන අත්දැකීම්, තමන්ගේ ඉලක්ක, ගැටලු සහ හැඟීම් ආදිය ලියා තැබුවහොත් මතු දිනෙක ඔබට, ඔබවම කියවා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ ජේම්ස් පෙනේබේකර් පවසන්නේ නිරන්තරයෙන් ම ලේඛනයට යොමු වී සිටීම නිසා T- ලිම්ෆොසයිට් නැමැති ප්‍රතිශක්තීකරණ සෛල ශක්තිමත් වන බවකි.

10. භාෂා හැදෑරීම

භාෂා හැදෑරීම ඉතා සතුටින් කරන පුද්ගලයන් කලාතුරකින් වුව අපට හමු වේ. භාෂා දෙකක් හෝ තුනක් හෝ ප්‍රගුණ කිරීම ඔබේ පෞරුෂයට ඉතා වැදගත් වේ. එමෙන්ම සංචාරයන්හි යෙදීමේදී ඒ හැකියාව අමිල සම්පතක් වනු නිසැක ය. භාෂා දෙකක් ප්‍රගුණ කළ කෙනකුගේ මොළය ක්‍රියාත්මක වන්නේ, මවු භාෂාව පමණක් පරිහරණය කරන කෙනකුගේ මොළය ක්‍රියාත්මක වන ආකාරයට නොවන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. මේ වෙනස පුද්ගල පෞරුෂය මත ඇති කරන්නේ ධනාත්මක තත්ත්වයක් මිස ඍණාත්මක තත්ත්වයක් නොවේ.

අන්තර්ජාලය ඇසුරිනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න