කැෆේන් හොඳද? | දිනමිණ


 

කැෆේන් හොඳද?

කැෆේන් යනු තේ හා කෝපිවල වැඩි වශයෙන් අඩංගු වන ස්නායු උත්තේජක රසායනික ද්‍රව්‍යයකි. තේ කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 80 ක් ද, කෝපි කෝප්පයක මිලිග්‍රෑම් 108 ක් ද අඩංගු වේ. ඉතා අඩු ප්‍රමාණවලින් එනම් අඬු කෝප්ප 3 ක අඩංගු තේ ප්‍රමාණයක අඩංගු කැෆේන්වලින් ස්නායු උත්තේජක ගුණය හෙවත් උද්දීපනය, ක්‍රියාශීලී වීම ඇතිවේ.

නමුත් ඊට වැඩි වූ විට කුඩා ළමුන් තුළ ක්‍රියාශීලී වැඩිවීම, දඟකාර වීම, මුරණ්ඩු වීම, නින්ද නොයෑම ආදී ලක්ෂණ ඇතිවේ. වැඩිමහළු පුද්ගලයන්ගේ නම් කොලෙස්ටරෝල් වැඩිවීම, හෘද රෝග වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම වැනි රෝග ලක්ෂණ ඇතිවේ. තවද මානසික රෝගීන්ගේ Manic Depressive Psychosis තත්ත්වය වැඩි වී agitation ඇතිවීම, තරහා යාම වැනි චර්යාවන් ඇතිවේ. එසේම ආවේගශීලී වීම, නුරුස්නා ගතිය, නින්ද නොයෑම ද මානසික රෝගද හට ගනී.

කැෆේන්වලට ඇබ්බැහි වූ විට එය මානසික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වේ. හෘදයාබාධ ඇතිවේ. කුඩා ළමුන්ගේ ද චර්යා වෙනස්වීම්, නොයෙකුත් මානසික ආබාධ තත්ත්ව ඇතිවේ. නමුත් කම්කරුවන් ගත සහ මනස උද්දීපනය නම් දිනකට තේ කෝප්ප 3 කට වඩා බීමට පුරුදු වී සිටී. ඔබ දිනකට තේ හෝ කෝපි කෝප්ප 3 කට වඩා පානය නොකරන්න. මේ වර්ග දෙකෙන්ම ගන්නවා නම් එය ද දිනකට කෝප්ප 3 කට වඩා නොගන්න.

මීට අමතරව ක්ෂණික පානයක් ලෙසින් අප පානය කරන නෙස්කැෆේවලද කැෆේන් අඩංගුය. මේවාද දිනකට කෝප්ප 3 කට වඩා පානය නොකරන්න. ගර්භණී සමයේ තේ, කෝපිවලට ඇබ්බැහි වූ කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය එතරම් සුබ වන්නේ නැත. අභ්‍යන්තර රුධිර වහනය වීම්, දරුවාට අනිටු ප්‍රතිඵල ඇතිවිය හැක. නිතරම අඬන දරුවකු විය හැක. සංජානීය ආබාධ පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. තේ හා කෝපි පානය සීමා කර ලබාගැනීමෙන් අහිතකර තත්ත්වයන් වළක්වා ගත හැකිය. ඒවායේ ඖෂධීය හා පෝෂණමය ගුණ ද ඇති බැවින් මේවා පානය කිරීම සම්පූර්ණයෙන් අත් නොහරින්න.

 

උපදෙස් - ආහාර හා පෝෂණ

විශේෂඥ වෛද්‍ය

සෙලී ප්‍රනාන්දු

යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න