ජාතික හෙළ උරුමයේ බෙදීමක් යැයි පළවූ මාධ්‍ය වාර්තාව අසත්‍යක් | දිනමිණ

ජාතික හෙළ උරුමයේ බෙදීමක් යැයි පළවූ මාධ්‍ය වාර්තාව අසත්‍යක්

හෙළ උරුමයේ උප සභාපතිනි නිරෝෂා අතුකෝරළ

ජාතික හෙළ උරුමයේ බෙදීමක් සිදුව ඇතැයි යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තාව අසත්‍යය බව ජාතික හෙළ උරුමයේ උප සභාපතිනි, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී සහ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නිරෝෂා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

බත්තරමුල්ල, පන්නිපිටිය පිහිටි ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (30) ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මේ බව ද කියා සිටියාය.

එම අසත්‍ය පුවත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ කණ්ඩායම ජාතික හෙළ උරුමය සමඟ 2010 වසරේ පමණ සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවූ පිරිසක්. එවැනි පසුබිමක් තුළ මෙවැනි සදාචාරාත්මක නොවන දේශපාලන ක්‍රියාවල නිරතවීම කනගාටුදායකයි.

අද වනවිට මෙරට සෑම පුද්ගලයකුටම ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අපේක්ෂාවක් පවතී . එයට සුදුසුම වාතාවරණය එක්සත් ජාතික පෙරමුණ රජයක් යටතේ සැලසෙනවා. ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ හැකි සුදුසුම පුද්ගලයා හැටියට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයාව ආරක්ෂාව සම්බන්ධ වගකීම් රාශියක් පැවරීමේ සැලසුමකින් පසුවෙනවා. ඒක ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවක් වෙනවා. ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදීමේ එක් ප්‍රධාන අරමුණක් ලෙස ද ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්ති දැක්විය හැකියි.

මේ තත්ත්වය මනාව අවබෝධ කරගෙන මෙවර ඡන්ද දායකයන් බුද්ධිමත්ව ක්‍රියාකරනු ඇතැයි විශ්වාස කරන බව ඇය මෙහිදී සඳහන් කළාය.

සහෝදර පදනමක් සහිතව රටේ ජනපති හා අගමැති ධූරය හෙබවීම සාර්ථක ක්‍රමයක් නොවේ. ජනතාව එවැනි ක්‍රමයක් ඇතිකිරීමට ද බලාපොරොත්තු නැත. සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇත. සදාචාරාත්මක දේශපාලනයක් කරා සියලු දේශපාලනඥයන් යොමු විය යුතු බවත් අතුකෝරළ මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

සුනිල් රන්දුණු, මන්ත්‍රිනී නදීකා ප්‍රියංගනී, රෝෂානි කරුණාරත්න, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද ජාතික හෙළ උරුමයේ බියගම ආසන සංවිධායක සංජීව පින්නවල, ජා ඇල සංවිධායක චමින්ද රණසිංහ මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

මානෙල් පුෂ්ප කුමාරි
ඡායාරුපය-කැළුම් ලියනගේ 

නව අදහස දක්වන්න