ඡන්ද කාලයේ අමෙරිකන් විරෝධී භීෂණයක් මවා ජනතාව රවටන්න එපා | දිනමිණ

ඡන්ද කාලයේ අමෙරිකන් විරෝධී භීෂණයක් මවා ජනතාව රවටන්න එපා

විපක්ෂ නායකට මුදල් ඇමැතිගෙන් අභියෝගයක්
කාදිනල් හිමිත් විරුද්ධයැයි ව්‍යාජ ප්‍රචාරයක්

අමෙරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳ කිසිදු සඳහනක් නොකර හුදු අමෙරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බවත්, ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවක දී ජනතාව මුළා නොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේ නම් ඒ පිළිබඳ ජනතාවට කරුණු හෙළිකරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන් හට තමන් අභියෝග කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියයි.

මෙයට පෙර මැතිවරණ සමයකදී ද, ‍අමෙරිකන් භීතියක් මවා සීගිරිය, සිංහරාජය හා ගාලු කොටුව අමෙරිකාවට විකිණීමට සූදානමක් වන බවට එදා විපක්ෂය විසින් බොරු ප්‍රචාරයක් ගෙන ගිය බව ද, එම ප්‍රචාරයන්හිද කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනතාවට වැටහී ගිය බව තමන් විශ්වාස කරන බව ද සමරවීර මහතා පවසයි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මේ මිලේනියම් ගිවිසුමට විරුද්ධ යැයි අද වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන බවත් කාදිනල්තුමන් මිලේනියම් ගිවිසුමට විරුද්ධ යැයි යන පුවත ව්‍යාජ ප්‍රචාරයක් යැයි අගරදගුරු නිවෙසින් නිවේදනය කර තිබෙන බව ද පෙන්වා දෙයි. ජනපතිවරණයෙන් පරාජයවීම වැළැක්වීම සඳහා ආගමික සිද්ධස්ථාන ද උපයෝගී කර ගනිමින් සත්‍ය විකෘති කර දේශපාලන වාසි ගැනීමේ පහත් මට්ටමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැටී ඇති බව මෙමඟින් මනාව පැහැදිලි වන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ජනාධිපතිවරණයක් ආසන්නව තිබිය දී ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී එය දරා ගැනීමට නොහැකිව මෙවන් නිවේදන නිකුත් කිරීම පිළිබඳ බෙහෙවින් කනගාටුවට පත්වන අතර, මෙමඟින් ද විපක්ෂය බලාපොරොත්තු වනුයේ ජනතාව රැවටීමට ලක්කර කෙසේ හෝ තම අපේක්ෂකයාගේ ජය තහවුරු කර ගැනීමටය.

මෙරටේ ජනාධිපතිවරණය හරහා ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකන් පුරවැසියකු ජනාධිපති කිරීමටත් හා අමෙරිකන් පුරවැසියකු ආර්යාව කරවීමටත් උත්සාහ දරන බංකොලොත් දේශපාලනඥයන්ම අමෙරිකන් විරෝධී භීෂණයක් රට තුළ මැවීමට කටයුතු කිරීම හාස්‍යජනකයි.

MCC ගිවිසුම පිළිබඳ මුලින් සාකච්ඡා වූයේ 2002 වසරේදීය. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480කට සමාන රුපියල් මිලියන 88,000ක පමණ මුදලක් ලැබෙනු ඇත.

2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් ද මේ ප්‍රදානය ලබාගැනීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විදේශ ඇමැතිවරයා ලෙස MCC මගින් අමෙරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා වන සාකච්ඡාවට මා සහභාගි වූයේ එකල රජයේ ප්‍රධානියා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මතය. එහෙත් එම රජයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ දූෂණ, භීෂණ හා මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා හේතුවෙන් MCC ප්‍රදානය ලබාගැනීමට රජය ගත් උත්සාහය ව්‍යර්ථ විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා MCC පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කර තිබේ. එසේ වුවද, මෙමගින් රටට සිදුවන අහිත කර බලපෑම් පිළිබඳ ප්‍රකාශ කර නොමැත. රටට, ජනතාවට සෙතක් සැලසෙන, ආර්ථික ප්‍රතිලාභ ලැබෙන මේ ගිවිසුම හරහා රටට කිසියම් හෝ අයහපතක් සිදුවන‍්නේ යැයි පවසන්නේනම් මැතිවරණ සමයේ අමෙරිකන් විරෝධී භීෂණ මවාපාමින් ජනතාව නොරවටා රටට කරුණු පැහැදිලි කරන ලෙසට විපක්ෂ නායකවරයාට අභියෝග කරමි.

මේ ගිවිසුමට අත්සන් තැබීමෙන් රටේ ස්වෛරීත්වයට හානියක් වනවායැයි පොදු පෙරමුණට අයත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිල්ලො මවමින් සිටිති. එහෙත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමකට පමණක් තම චෝදනාව සීමා කර ඇති අතර, ජනතාව තුළ බොරු භීෂණ මැවීමේ වගකීම සැමදා බොරු කියන මන්ත්‍රීවරු දෙපළට භාරදී ඇති බව ඔප්පුවේ.

මේ ගිවිසුම මගින් රටේ ආර්ථික වර්ධනයට ඉතාමත් අත්‍යවශ්‍ය වන ප්‍රවාහන සේවය හා ඉඩම් පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව විසින්ම හඳුනාගෙන යෝජනා කර ගිවිසුමට ඇතුළත් කර තිබේ. මෙහි සඳහන් ඉඩම් ගැටලු විසඳීම තුළින් ලක්ෂ 50ක් පමණ පුද්ගලයන්හට තම ඉඩම්වලට අදාළ සින්නක්කර ඔප්පු ලබාගත හැකිවන අතර, ප්‍රවාහනයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70ක ජනතාවකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මේ ගිවිසුමේ ප්‍රථම අදියර යටතේ රටේ දිස්ත්‍රික්ක 07ක තිබෙන්නා වූ පෞද්ගලික හා රජයේ ඉඩම් පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ඉඩම් පිළිබඳ සිතියමක් සකස් කරනු ලබන අතර, එමඟින් රජයේ ඉඩම් පිළිබඳ වෙනමම වට්ටෝරුවක් පවත්වාගෙන යෑමට රජයට අවස්ථාවක් ලැබෙනු ඇත.

මේ ගිවිසුමේ ප්‍රතිපාදන අනුව විද්යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිට්‍රාර් කාර්යාලවල තිබෙන සියලු ඔප්පු විද්යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සඳහා නීතිමය පිළිගැනීමක් ද ලබාදේ.

මහජනතාවට ප්‍රතිලාභ අත්වන මෙවන් ව්‍යාපෘති මඟින් රටේ ස්වෛරීත්වයට තර්ජනයක් වන බවට විපක්ෂය කරන චෝදනා බුද්ධිමත් ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නැතැයි තරයේ විශ්වාස කරමි.

මේ ගිවිසුම නිත්‍යානුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගතවේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වූ සෑම පාර්ශ්වයකටම එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යෑමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී තිබේ.

අමෙරිකාව සමඟ මේ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳ ජනතාව තුළ භීතිකාවක් මවන ඊනියා දේශප්‍රේමීන් මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිත කර බලපෑම් ඇත්නම් වහා හෙළිකළ යුතු යැයි අවධාරණය කරමි.

නව අදහස දක්වන්න