අභියෝග මැද කඩාවැටී තිබුණු රට යළි ගොඩනැඟුවා | දිනමිණ

අභියෝග මැද කඩාවැටී තිබුණු රට යළි ගොඩනැඟුවා

කිරුළපන මහරගම ජන රැලිවල දී අගමැති කියයි

අසීරුවෙන් දියුණු කළ ආර්ථිකය රැක ගනිමින් ඉදිරියට යනවා ද යළි වැටෙනවා ද තීරණය ජනතාව අතේ

ණය බරක්ව පැවැති අපේ රටේ ආර්ථිකය පසුගිය 2018 වර්ෂය වනවිට ඉහළ මධ්‍ය මට්ටමේ ආදායම් ලබන තත්ත්වය දක්වා දියුණු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ තත්ත්වය ළඟාකර ගැනීම සඳහා විවිධ බාධක මැද පැමිණ තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා ආර්ථික අතින් අභියෝගයක්ව පැවතිය ද ආණ්ඩුව බාරගත් බවද මේ තත්ත්වය ආරක්ෂා කරමින් ඉදිරියට යනවා ද නැතිනම් තවදුරටත් වැටෙනවා ද යන්න එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතු බවද පෙන්වාදෙයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (29) රාත්‍රියේ කිරුළපන හා මහරගම දී පැවැති ජනහමු අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

නොවැම්බර් 16 වැදගත් දවසක්. ඒ වැදගත්කම මට හෝ මේ වේදිකාවේ ඉන්න අයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට නොව ඒ වැදගත්කම ඔබ සියලු දෙනාටයි. එදා තීරණය වන්නේ අනාගතය යන්නේ කොතකනට ද කියා. මෙතන සිටින අය හොඳ ජීවිතයකට කැමැතියි. හොඳ ජීවිතයක් ගෙවන්න බැරිනම් වෙනත් රටවලට යන්න බලනවා. හැම අයකුටම රට යන්න බැහැ. හරි තීන්දුව අරගෙන සජිත් ප්‍රේමදාස ජනාධිපති කර අපේ අනාගතය ශන්තිමත් කරන්න. අපි තීරණාත්මක කාල පරිච්ඡේදයක ඉන්නේ. 2005 සිට රාජපක්ෂ පාලනය දැක්කා. යුද්ධය කරන්න එනවා කිවුවා. රට දියුණු කරන්න ඕනේ කිවුවා. මේ රටේ ආර්ථිකයේ ණය බර නිසා රට පාලනය කරන්න නොහැකිව හදිසියේ ජනාධිපතිවරණයක් කළා. රාජපක්ෂලා වෙස්සන්තර පරපුරයට අයිති නැහැ. එදා අවේ හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් තියන්න ඊට පස්සේ ජනතාව මර්දනය කර රට පාලනය කරන්න බැලුවේ. අපි බාර ගත්තේ ණය බරින් යුතු ආර්ථිකයක්.

ණය ගෙවන්න මාර්ගයක් අපිට තිබුණේ නැහැ. එදා කිසිවෙක් අපිව විශ්වාස කළේ නැහැ. එහෙම රටක් අපි බාරගත්තේ. නමුත් බය නැතිව අභියෝගය බාර ගත්තා. බහුතරයක් නොමැති වුණත් සුළුතර ආණ්ඩුවකින් අද දක්වාම රට ඉදිරියට ගෙනාවා. රජයේ සේවකයන්ගේ පෞද්ගලික අංශයේ පඩිය, ආදායම් වැඩි කළා. ආර්ථිකයට අවශ්‍ය මුදල් ලබා දුන්නා. සංවර්ධනය කළා. මුදල් දුන්නා. සෞඛ්‍ය දියුණු කළා. පාසල් දියුණු කළා. සමෘද්ධිය දුන්නා. ගම්පෙරළිය ඇති කළා. මුදල් වෙන්කර ආයෝජනයක් ඇතිකර ජීවිත දියුණු කළා. මේ සියල්ලට වඩා ආර්ථිකය යහපත් අතට ගත්තා. 2015/2016 මේ අය දුක් වින්ද ආකාරය අපි දැක්කා. ජී.එස්.පී බදු සහනය නැතිව තිබුණා. එය ලබා ගන්න පියවර ගත්තා. සංචාරකයන් එන්න කටයුතු කළා. එදා ණය බරක්ව පැවැති ආර්ථිකය පසුගිය 2018 වසර වනවිට ඉහළ මධ්‍යම මට්ටමේ ආර්ථිකයක් දක්වා දියුණු කළා. අමාරුවෙන් අපි එතනට ආවා. අපි ඒක ආරක්ෂා කර ණය නැතිව ආර්ථිකයක් ඇති කරනවා ද නැතිනම් වැටෙනවා ද යන්න අපි තීරණය කළ යුතුයි. ඊළග අවුරුදු 20 අපි ජීවත් වන්නේ කොහොම ද කියා මේ තරුණයන් තීරණය කළ යුතුවෙනවා. තවත් රට පිරිහෙන්න දී රට අතහැර යනවා ද කියා තීරණය කළයුතු වෙනවා.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ඇති කරන්න පළමු පියවර ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්කර තිබෙනවා. හංසයා ලකුණින් දිනවන්න කටයුතු කරන්න. අනාගතය කරන්නේ කුමක් ද. අපි රට දියුණු කරන්න නම් ණය ගෙවන්න නම් ආදායම වැඩිකළ යුතු වෙනවා. අපේ විදේශ විනිමය වැඩිකළ යුතු වෙනවා. ආනයන වියදමට වඩා අපනයන ආදායම අඩුයි. එය වැඩිකළ යුතු වෙනවා. මෙහෙම ආර්ථිකයක් ඇති කළයුතු වෙනවා. අපි නැව් නැති වරාය අරගෙන නැව් එන වරායක් බවට පත්කර තිබෙනවා. අද මත්තල මොනරු විතරයි ඉන්නේ. අපි ඒ ගැන ඉන්දියාව සමඟ කතා කරනවා. මුලික යටිතල පහසුකම් දුන්නා. අපි ගෙව්ව නිසා අධිවේගී මාර්ග හදනවා. අපිට වරායන් සහ ගුවන්තොටුපළ 3ක් තිබෙනවා. ඒවා දියුණු කරනවා. කොළඹ වරාය දියුණු කරන්න කටයුතු කරනවා. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න දැනටමත් වැඩ කරගෙන යනවා. ආයෝජන කලාප ඇති කරන්න පියවර ගෙන තිබෙනවා.

විදෙස් ආයෝජන ලබාගෙන නව කර්මාන්ත ශාලා ඇති කරන්න අවශ්‍ය පියවර ගන්නවා. කර්මාන්ත ශාලා වැඩි කරන්න ඕනේ. පසුගිය කාලයේ වෙළෙඳ කලාප ඇති කළා. මේ කර්මාන්තශාලා හැම ආසනයකටම ලබා දුන්නා. ඒවා වේගවත්ව ගෙනයන්න අපි කටයුතු කරනවා. මේ රජය ඉන්නවා නම් ඒ විදෙස් ආයෝජන වසරක් ඇතුළත අපේ රටට එනවා. අපේ සංචාරක ආදායම දෙගුණකයක් වී තිබෙනවා. ආදායම් වැඩි කරන්න, දියුණු වෙන්න ඕන. ඊළඟ වසර හතරේ වැඩි ආදායමක් එන්නේ සංචාරක කර්මාන්තයෙන්. අපි අලුත් ව්‍යාපාර පටන් ගන්නවා. පාසල්වලට පරිගණක, ටැබ් යන්ත්‍ර දෙනවා. මේවා අලුත් සේවාවන්. වරාය නරගය ඉන්දියන් සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කරන්න ඕනේ. මේවා ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා. සජිත් ප්‍රේමදාස දේශපාලනයට පැමිණි සංවිධායකයෙක් වුණා. පාර්ලිමේන්තුවට ආවා. නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළා.

විපක්ෂයට ගියා. ආණ්ඩුවට ආවා. නිවාස, සංස්කෘතික ඇමැති වුණා. ඒ පළපුරුද්ද මත ජනාධිපති අපේක්ෂකත්වයට ආවා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව නොදැක්ක අයෙක් තමයි ඉන්නේ. කොහොමද රටක් කරන්නේ. ඊළඟ වසරවල සංචාරක කලාප 6ක් ආරම්භ කරනවා. මඩකලපුව ගුවන් තොටුපළ පටන් ගන්නවා. මේවායේ සංචාරක කර්මාන්තයට දියුණු කරන්න පුළුවන්. මෙහෙම සැලසුම් ගෝඨාභයගේ වේදිකාවේ දී පුළුවන් නම් කියන්න. මේ ප්‍රදේශවල දියුණුව බලන්න. එහෙම නැත්නම් මොනරු බලන්න ඕනේද? ගුවන් යානා ඕනේ ද ?. අපි සැලසුමකට වැඩ කරනවා. දියුණුව ඇති කරන්නේ කොහොමද. අපි දේශපාලනය පටන් ගත්තේ මෙහෙන්. අපිට අනාගතයක් ඇති කරන්න සජිත්ට ඡන්දය දෙන්න.

ඇමැති සුජීව සේනසිංහ මහතා - ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස තරාදියේ දෙපැත්තට දාන්න. අපේ සටනේ මුල සිට සටන් කළ පිරිසක් අද මෙහි ඉන්නවා. අපේ පැත්තේ ඉන්න අය බලන්න. මෙහි සියලු දෙනාම හොරකම් නොකරන දක්ෂ පිරිසක්. 77 කැබිනෙට්ටුව යළි නිර්මාණය වෙනවා. අපෙත් එකක් දෙකක් කුණු බිත්තර තිබෙන්න් පුළුවන්. නමුත් මේ වැස්සට ඒවත් සේදී යනවා. අපේ ඉන්නේ නියම පිරිසක්. නමුත් අනෙක් පැත්තේ අය බලන්න. ජාතිකත්වය විකුණනවා. මේ රටේ මිනිස්සු අසු වෙනවා. ජාතිකත්වය දේශපාලනයට එනවිට විතරයි තිබෙන්නේ. කොම්පඤ්ඤ වීදියේ නඩුවට බැස්සා. මට පණිවුඩයක් එවුවා. මහත්මා දේශපාලානයක් අපි කරන්නේ. කිසිම අවස්ථාවක පොලීසියට බලපෑම් කරන්නේ නැහැ. අපේ පවුල් රජ කරවන්න නොවෙයි අපි දේශපාලනයට ආවේ. මම මාසයකට ලක්ෂ 7ක් පමණ කාන්තා වැඩසටහන් වෙනුවෙන් වියදම් කරනවා.

ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙන්නේ පවුලක් සඳහා නොවෙයි. ඒ මහතා ඉදිරිපත් වෙන්නේ රට වෙනුවෙන්. කොළඹ නගරයේ ජීවත් වනවිට සියලු ජාතීන්, සියලු ආගමිකයන් ඉන්නවා. රාජපක්ෂලා ඡන්දය කරන්නේ එක් කණ්ඩායමකට පමණයි. ඔවුන්ට අවශ්‍ය නම් පුළුවන් අනෙක් අයටත් කතා කරන්න. නමුත් ඔවුන්ට ඒක අවශ්‍ය නැහැ. අපි ඉදිරිපත් වෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද ගන්න විතරයි කියා ඔවුන් කියනවා. අපි මේ සියලු ජන කොටස් සමඟ තමයි හැදුනේ, වැඩුනේ. එක් ජන කොටසකට කතා කරන අයට පමණක් නොව සියලුදෙනා සමඟ ජීවත්වන නායකයෙක් අපිට අවශ්‍යයි. අපිත් කලක් ඇමෙරිකාවේ සිටියා. ඇමෙරිකානු පාස්පෝට් ගන්නා විට කිසිවකු එපා කිවුවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ 2002 ඇමෙරිකාවේ පාස්පෝට් එක ගන්නා විට ශ්‍රී ලංකා පාස් පෝට් එක එපා කියා තිබෙනවා.

රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා- අද ජනාධිපතිවරණයක් අභියස අපි ඉන්නවා. මේ රටේ ලබන වසර පහේ දී කවුද මේ රටට නායකත්වය දෙන්නේ. නොවැම්බර් මස 16 දා පුද්ගලයන් දෙදෙනෙක් අතර පමණක් නොව ක්‍රම විධි දෙකක් අතර තෝරා ගැනීමක් තිබෙනවා. මේ ගැන වාද විවාද කරන්න යන්නේ නැහැ. මාස ගණනාවකටම මේ රටේ හැම තැනම යනවිට අපිට කිවුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ලෙස දාලා දෙන්න කියායි. අපිට ඒක ඉටුකර ගන්න හැකි වුණා. සජිත් ප්‍රේමදාසට විශාල අත්දැකීම් තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස සම්බන්ධයෙන් අපි දන්නවා. දුප්පත් පුද්ගලයෙක් ලෙස කොළඹ නගර සභාවට පැමිණ පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති කෙනෙක් වී අගමැති වී ජනාධිපති වුණා. මේ රටේ ඉහළම පුටුවට යන එක පහසු දෙයක් නොවෙයි. මේ රටේ දේශපාලනය සැකසී තිබෙන්නේ එහෙමයි. පියාගෙන් පසුව පුතා ඉල්ලනවා. ඒක තමයි දේශපාලන සංස්කෘතිය. නමුත් සාමාන්‍ය කෙනෙකුට එවැනි අවස්ථාවක් නැහැ. එවැනි අවස්ථාව තමයි එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළේ.

මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය- නොවැම්බ්ර් 16 ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් සුරක්ෂිත කරනවා ද යන්න තීරණය වෙනවා. ගෝඨාභය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ට බයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා - මේ රටේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම පමණක් නොව හාමුලා පරද්දා පොඩි මිනිහා ජයග්‍රහණය කරන මැතිවරණයක් එළඹෙන නොවැම්බර් මස 16දාට එනවා. මේ දිනවල ඒ අයගේ වේදිකාවේ කියනවා, මේ රට බේරා ගන්න අන්තිම අවස්ථාව මෙයයි කියා. මිනීමරුවන්ගෙන්, කුඩ්ඩන් ඒ අය අතර ඉන්නවා. හාමුලාගෙන් වලව්කාරයන්ගෙන් රට බේරා ගන්න තිබෙන අන්තිම අවස්ථාව මේක. මේ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව දන්නවා ලංකාවේ ලොකුම පාසල් තිබෙනවා. ඒත් මේ ජනතාවගේ දරුවන්ට යන්න බැහැ. ඒ වගේම හොඳම ආයතන තිබෙනවා. ඒවාට මේ අයගේ දරුවන්ට රැකියා සඳහා යන්න බැහැ. හොඳම හෝටල් තිබෙනවා. මේ සමාජ විසමතාව වැඩිවෙන්න පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස මහතා මියගිය පසුවයි. සජිත් ප්‍රේමදාස කියන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද ඇති නායකයෙක්. කිසිම චෝදනාවක් නැහැ. ඒ නිසා ඇතැමුන් කිවුවේ කොහොමද. සජිත්ට දෙන්නේ නැහැ කිවුවා. දැන් ඒ අපේක්ෂක්වය ගත් පසුව වෙනත් දේ කියනවා.

කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය - මම මගේ දේශපාලනය ඉගෙන ගත්තේ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් සහ හේමා ප්‍රේමදාස මහත්මියගෙන්. එක්සත් ජාතික පක්ෂය මේ රටේ හැමදාමත් ජනතාව වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව කටයුතු කර තිබෙනවා. සියලු ජාතීන් එක් කරගෙන සුබසාධන කටයුතු කර තිබෙනවා. සියලු දෙනාට නිදහසේ ජීවත්විය හැකි ලෙස පරිසරය නිර්මාණය කර තිබෙනවා. ජාතියේ පියාණන් වන ඩී.එස් සේනානායක මහතාගෙන් පටන්ගත් පසුව රනිල් වික්‍රමසිංහ මහතා දක්වා සියලු නායකයන් විශාල සේවාවක් මේ රටට ඉටුකර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ රටේ වාරි කර්මාන්තය දියුණු කරන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. විශාල ව්‍යාපෘති නිසා මේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න හැකිව තිබෙනවා. සිරිමාවෝ මැතිණිය බලයට පැමිණ මේ රටේ ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කළා. අපේ රටේ ජනතාව විවිධ දුෂ්කරතා පසුකර යනවිට ජේ.ආර් ජයවර්ධන මහතා මේ රටේ විප්ලවයක් ඇති කරන්න කටයුතු කළා.

හිටපු පළාත් සභා මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා- මේ මැතිවරණයේ දී අපි අපේක්ෂකයන් දෙදෙනෙක් නොව පාලන ක්‍රම දෙකක් පිළිබඳවයි දකින්නේ. සජිත් ප්‍රේමදාස මහතා එක් පැත්තකින් ඉදිරිපත් වී තිබෙනවා. අනෙක් පැත්තෙන් රට හොරා කෑව පවුලක් රජ කරවන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්ව සිටිනවා. අපි එකිනෙකින් කල්පනා කරන්න ඕන. රටේ ඉහළම පුටුවේ වාඩි කරවන්නේ කවුරුන්ද යන්න අපි තේරුම් ගතයුතු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහා ලොකු රණවිරුවෙක්ලු. ඔහු 1990 වසරේ දී හමුදාවෙන් පැනගිය පුද්ගලයෙක්.

හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා- අපි නිදහස ලබලා වසර 70 ට වඩා වෙනවා. මේ කාලයේ විවිධ ගැටුම් තිබුණා. විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. නමුත් මේ සියල්ලට පොදු වූ කාරණය වුණේ දුප්පත්කමයි. විවිධ පක්ෂ මේ රට පාලනය කළා. මේ ජනතාවගේ බහුතරයක් තවමත් දුප්පත්. මේ රට පාලනය කළ කිසිඳු පක්ෂයකට මේ දුප්පත්කම තුරන් කරන්න නොහැකි වී තිබෙනවා.

රටට සාමකාමී පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් වන්නේ දුප්පතාගේ පොඩි මිනිසා සජිත් ප්‍රේමදාසට විතරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමාර් චන්ද්‍රප්‍රකාශ් මහත්මිය මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට එක්ව සිටියාය.

ඇමැතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, රවී කරුණානායක, මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, මුජිබර් රහුමාන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර, උපාලි කරුනණාරත්න, ආරියරත්න ගණේගොඩ, සෙනෙවිරත්න කහටපිටිය
ඡායාරූප - සරත් පීරිස් සහ රංජිත් අසංක 

නව අදහස දක්වන්න