“බැල්ම හා ඇල්ම” | දිනමිණ

“බැල්ම හා ඇල්ම”

සෑම ජනාධිපති අපේක්ෂකයකු ම කාන්තා ඡන්ද කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. එලෙස ම කාන්තා පරපුර සිය හඬ අවධි කරන්නට පටන්ගෙන ඇති බවක් ද පෙනෙන්නට තිබේ. කාන්තාව පෙරමුණට පැමිණ දේශපාලනයට සහභාගී වන බොහෝ අවස්ථාවල දී ලොකු වෙනසක් සිදු වී ඇති බව ඉතිහාසය දෙස බලනවිට පෙනෙයි. ගියවර ජනාධිපතිවරණයේ දී ද කාන්තාව පෙරමුණට පැමිණි අතර දේශපාලන රැලි කඩාගෙන ලොකු වෙනසක් ඇති කිරීමට ඇය සමත් විය. මෙවර ද එය සිදුවන්නට හොඳට ම ඉඩ තිබේ. මෙබඳු තත්ත්වයක් තුළ රටේ කාන්තා පාර්ශ්වයේ අභිලාසයන් දෙස එබී බැලීම ඉතා වැදගත් ය.

දකුණු ආසියානු සාහිත්‍ය සංගමයේ සභාපතිනිය වන අජිට් කොවුර් මහත්මිය පෙන්වා දෙන ලෙස දකුණු ආසියාවේ කාන්තාව සෑම ක්ෂේත්‍රයකදී ම තීරණාත්මක ය. ඇයගේ ශක්තිය හා බලය බොහෝ දේශපාලකයන් වටහාගෙන නැත. ආසියානු සංස්කෘතික පසුබිම ගෙන බැලුවහොත් සිරිත් විරිත් කෙරෙහි වැඩි බලපෑමක් සිදුකරන්නේ කාන්තාව බව පෙනී යයි. ආර්ථික පසුබිම ගෙන බැලුවහොත් නොපෙනෙනසුලු මහා දායකත්වයක් කාන්තාව විසින් දරනු ලැබේ. ජනගහන ප්‍රතිශතය අතින් ගෙන බැලුව ද ආසියාවේ ඇතැම් රටවල කාන්තා නියෝජනය වැඩි ය. ශ්‍රී ලංකාවේ එය 52% ලෙස සටහන් වී ඇත. එහෙත් කාන්තාවට සුවිශේෂී වූ ගැටලු ගැන සංවාද ඇත්තේ ඉතා අඩුවෙන් ය.

අපේ කාන්තාව නිරන්තරයෙන් සංවාද කරන මාතෘකා කිහිපයක් තිබේ. බඩු මිල හා ජීවන බර, රටේ සිදුවන අපරාධ, අධ්‍යාපනය, කාන්තා හිංසනය ඒ අතර ප්‍රධාන බව පෙනී යයි. තෙල් මිල, ඖෂධ මිල, ගෑස් මිල අඩුකිරීමට රජය සමත් විය. රාජ්‍ය සේවයේ වැටුප් 107% කින් වැඩි වී ඇත. උද්ධමනය සටහන් වී ඇත්තේ ද අඩු ප්‍රතිශතයක් ලෙස ය. අපරාධ මර්දනයට පියවර ගෙන තිබේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට කාන්තා පරපුරේ විශේෂ කැමැත්තක් දකින්නට ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලැකිය යුතු වර්ධනයක් ඇතත්; අධ්‍යාපනයේ මාරාන්තික තරගය නිමා වී නැත. කාන්තා හිංසනය ගැන ද කතා කරන්නට බොහෝ දේවල් තිබේ.

කාන්තා හිංසනය හා ළමා අපචාර වැඩි රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබේ. ගෘහස්ත වශයෙන් සිදුවන ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර විශාල ප්‍රමාණයක් වාර්තා වන්නේ නැත. එහෙත් දිනපතා ඒවා සිදුවෙයි. මේ හැරෙන්නට ස්ත්‍රීන් දූෂ්‍ය කොට සාද පවත්වන දේශපාලන සංස්කෘතියක් ද රටේ පැවැතිණි. ප්‍රාදේශීය දේශපාලකයන් ස්ත්‍රී දූෂණ සිදුකරනවිට ඔහු බේරාගැනීමට නායකයන් ඉදිරිපත් වන ක්‍රමයක් ද රට තුළ පැවැතිණි. කාන්තාවකගේ සෞඛ්‍ය ගැටලුවකට ඉදිඑිපත් කෙරෙන විසඳුම අද ඇතැම් දේශපාලන ක්‍රියාවලියන් තුළ සමච්චලයට ලක් කර ඇත. අපේ කාන්තාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ වුව ප්‍රකාශිත නොවූ විශාල විරෝධයක් මේවාට එරෙහි ව පවතී. ඇතැම්විට මැතිවරණයකදී එය පුපුරා යන්නට පුළුවන. ජනාධිපතිවරණයක දී මේවා සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් ඇතිවන්නටත් පුළුවන.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයෝ තිදෙනාම කාන්තා ප්‍රඥප්ති ඉදිරිපත් කළහ. ඒ එකක්වත් නරක නැත. එහෙත් කාන්තාවගේ ගැටලු විශේෂයෙන් සලකා බලා කැපී පෙනෙන විසැඳුම් මාලාවක් ඉදිරිපත් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා යැයි කියන්නට පුළුවන. කාන්තාවන් සඳහා විශේෂ බැංකුවක් ඇති කිරීමේ සිට කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන හිරිහැර වැළැක්වීම දක්වා එම විසැඳුම් මාලාව ව්‍යාප්ත වී තිබේ. “ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවෙමු” යනුවෙන් එම විසැඳුම් මාලාව ආරම්භ වෙයි. කාන්තාවගේ සුරක්ෂිතභාවය හා ගෞරවය තහවුරු කිරීම රටේ පවතින ප්‍රධාන අභියෝගයක් ලෙස සැලැකිය හැකි ය.

කාන්තාවන් වෙනුවෙන් ජාතික ලැයිස්තුවේ 25% ක් වෙන් කිරීමට ද සජිත් මහතා යෝජනා කර තිබේ. පාර්ලිමේන්තු නියෝජකත්වයෙන් 25% ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමටද යෝජනා කරයි. මේ යෝජනා දෙක ම ඉතා වැදගත් ය. කාන්තාවන්ගේ නායකත්වය, කාන්තාවගේ සමාජ ක්‍රියාකාරිත්වය වර්ධනය කළ යුතු අවධියක් දැන් එළැඹී ඇත. අද පවතින තත්ත්වය නිරීක්ෂණය කළහොත් රාජ්‍ය අංශයේ කාර්යාලවලදී පවා කාන්තාව නොසැලකිල්ලට ලක්වන බව රහසක් නො වේ. පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවට සිදුවන ලිංගික හිරිහැර ගැන දිනපතාම පාහේ පුවත්පත් වාර්තාවලින් හෙළිදරව් වෙයි. එහෙත් ඒවා සංවාදයට පමණක් සීමා වෙයි. එය අවසන් කොට කාන්තාවගේ සුරක්ෂිතතාව තහවුරු කළ යුතුව තිබේ.

කාන්තාවගේ සුවිශේෂ ගැටලු ගැන කතා කරනවිට එය හාස්‍යයට ලක්කරන පිරිසක් ද සමාජයේ සිටිති. එය වැළැක්විය නො හැකි ය. හේතුව බමුණු මත දරන පුද්ගලයන් තවදුරටත් සමාජයේ ජීවත්වීම ය. බමුණු මතයට අනුව ස්ත්‍රිය පුරුෂයා යටතේ පැවැතිය යුතු ය. කුඩා කළ මාපියන් යටතේ ද, තරුණ කාලයේ ස්වාමි පුරුෂයා යටතේ ද, අවසන් ලෙස දරුවන් යටතේ ද ස්ත්‍රිය පැවැතිය යුතු ය. ඇයට ස්වාධීන ලෙස තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත. මේ ආකල්පය වෙනස් කිරීමට අපේ නායකයන් උත්සාහ දරා නැත. එය වැරැද්දකි. ස්ත්‍රිය සමාජමය වශයෙන් පාරිභෝගික භාණ්ඩයක තත්ත්වයට වැටී ඇත්තේ ආකල්පවල වරද නිසා ය. සජිත් ප්‍රේමදාස මහතා එය වෙනස් කිරීමට වෑයම් කරන බව පෙනෙයි.

අපේ රටේ ජාතික ආදායමේ ඉපැයීම්වලින් වැඩි කොටස කාන්තාවගේ ශ්‍රමය මත ලැබෙන බව පිළිගත හැකි ය. ඇඟලුම් ක්ෂේත්‍රය, වතු ක්ෂේත්‍රය, විදේශීය ගෘහ සේවය වැනි ක්ෂේත්‍ර දෙස බලනවිට එය පැහැදිලි වෙයි. විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගවලට ද කාන්තාව විශේෂ දායකත්වයක් සපයයි. ගෘහස්තව කාන්තාව රටේ පැවැත්මට කරන වැඩකොටස ගණනය වන්නේ නැත. කුටුම්භ සංරක්ෂණයේදී ශ්‍රී ලංකාවේ කාන්තාව ඒ වෙනුවෙන් සිදුකරන කැපවීම පුරුෂ පාර්ශ්වය වෙතින් ඉටුවන්නේ නැත. මේ පසුබිම අපට කියා සිටින්නේ රටේ නායකයන් කාන්තාව පිළිබඳ සිය අවධානය වහා ම යොමු කළ යුතු බව ය.

ජනාධිපතිවරණය දෙස බලනවිට පෙනී යන්නේ සෑම අපේක්ෂකයකුගේම බැල්ම කාන්තාව කෙරෙහි යොමු වී ඇති බව ය. ඒ බැල්ම තිබුණ ද කාන්තාවගේ ඇල්ම පහසුවෙන් ලබා ගත නො හැකි ය. මෙවර ජනාධිපතිවරණයේදී කාන්තාවගේ ඇත්ත ප්‍රශ්න වටහාගත් නායකයා කවුද? ඔහුට කාන්තා පරපුරේ ඇල්ම හිමිවනු ඇතැ’යි සිතන්නට පුළුවන.

නව අදහස දක්වන්න