රටට අහිතකර විදෙස් ගිවිසුම් සියල්ල සංශෝධනය කරනවා | දිනමිණ

රටට අහිතකර විදෙස් ගිවිසුම් සියල්ල සංශෝධනය කරනවා

අස්ගිරි මහානායකහිමි හමුවේ සජිත් කියයි

ජනපතිවරණය ජය ගැනීමෙන් පසු විදේශ රටවල් සමඟ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති සියලු ගිවිසුම් පරිශීලනය කර එ්වාහි අඩංගු රටට අහිතකර කරුණු සියල්ල සංශෝධනය කිරීමට කඩිනමින් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය.

විදේශ රටවල් සමග අත්සන් කරන ලද ගිවිසුම් මගින් මෙරට දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර වලට සිදුවන බලපෑම අධ්‍යයනය කරන බවද ගිවිසුම් සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා කීය.

නව ප්‍රජාතන්තනත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරේදා (31) අස්ගිරි මහනායක හිමියන්ට පිළිගැන්වීමට ගිය අවස්ථාවේදී මේබව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව අත්සන් කරන ලද සෑම ගිවිසුමක්ම රටට ගුණාත්මක හා හරාත්මක වශයෙන් වැදගත් නම් පමණක් ඒවාට අනුමැතිය ලබා දෙන බවද හෙතෙම අවධාරණය කළේය.

ගිවිසුම් සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නය සහ රටේ පොදු ජනතාව කිසිසේත්ම තැතිගැන්මක් ඇතිකර නොගත යුතු බවත් නොවැම්බර් මස 16 වන දිනෙන් පසු සෑම ගිවිසුමකම ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑර තමන් හොඳින් අධ්‍යයනය කරන බවත් කී ඒ මහතා අගතිගාමී යමක් තිබෙනවා නම් ඒ සියල්ල වහාම අහෝසි කරන බවද පැවසුවේය.

යම්කිසි හානියක් සිදුවන්නේ නම් එය වහා නතර කිරීමටත් රටට හිතකර කාරනා ඇත්නම් ඒවා ඉදිරියට ගෙන යාමටත් කටයුතු කරන්නේ යැයි ප්‍රේමදාස මහතා කීය.

ගිවිසුම් පිළිබඳව කවුරුත් කලබල විය යුතු නැති බවත් පසුගිය රජය අත්සන් කරන ලද ඇතැම් ගිවිසුම් නිසා හානි දායක තත්වයන් ඇතිව බව වාර්තා වී තිබෙන බවත් කී ඒ මහතා රජය සහ පාක්ෂිකත්වය කුමක් වුවත් රටට හිතකර ප්‍රතිපත්ති පමණක් ක්‍රියාත්මක කිරීමට තමන් ක්‍රියා කරන බවද අවධාරණය කළේය.

පවතින ගිවිසුම්වල සියලු ගැටලු ඉවත් කර එම ගිවිසුම් සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසුවේය.

දේශීය විදේශීය කිසිදු පාර්ශ්වකරුවකුට හෝ වෙනත් පාර්ශ්වයකට තමන්ව පාලනය කරන්නට නොහැකි බවත් කිසිදු පාර්ශවයක් සමඟ තමන් ගිවිසුම් මගින් බැඳී නොමැති බවත් ප්‍රේමදාස මහතා කීය.

බලයට පත්වූ පසු කිසිවකුගේ ගිවිසුම් මත ක්‍රියාත්මක වීමට තමන් බැඳී නොමැති බවත් අලුත් ගමනක් සහ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් යන තම ගමන බලපෑම් නිසා නතර නොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආපසු හැරී පිටුපසට ගමන් කිරීමට සූදානම් නොමැති තමන් රට හමුවේ බලහත්කාරකම් ඉස්මතු නොකර සෑම දෙයක්ම විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීය.

අවශ්‍ය දේ ජන සභාවක් සමග සාකච්ඡා කොට ජනතාව වෙනුවෙන් අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන්නේ යැයිද ජනතාවගේ හඬට සහ ජනතාවගේ කොටස්කරුවන්ගේ හඬට සවන් දී ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් තමන් පෙනී සිටින්නේ යැයිද හෙතෙම පැවසීය.

කිසිඳු පාර්ශ්වයක රූකඩයක් වන්නට සූදානම් නොමැති තමන් කිසිදු රටකට,කිසිදු කොට්ඨාශයකට බැඳී නොමැති බවත් ජනපති අපේක්ෂකත්වය තුළ පවතින වැදගත්කම එය බවත් අවධාරණය කළ ඒ මහතා විවිධ හේතුන් මත විවිධ පුද්ගලයන් විවිධ රටවල් හා කණ්ඩායම් සමඟ බැඳීම් ඇතිකර ගන්නා බවත් තමුන් එවැනි බාහිර බැඳීමක් නොමැති තමන්ගේ එකම බැඳීම ඇත්තේ මෙරට ජනතාව සමඟ පමණක් බවත් කීවේය.

රටේ ජනතාව සමඟි සම්පන්න කර රට එක්සේසත් කිරීම තම අපේක්ෂාව බවත් ජනතාවට සේවය කළ හැකි පිරිසිදු දේශපාලනයක් රටේ ස්ථාපිත කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.ජනපති අපේක්ෂකත්වය භාර ගන්න විට බොහෝ දෙනෙක් විවිධ දේ පැවසූ බවත් කොන්දේසි වලට යටත් නොවී අපේක්ෂකත්වය ලබාගත නොහැකි වනු ඇතැයි ඇතමුන් ප්‍රකාශ කළ බවත් කී ඒ මහතා තමන් අපේක්ෂකත්වය ලබා ගත්තේ කිසිදු කොන්දේසියකට යටත් නොවී බවද පැවසුවේය.

ආත්ම ගරුත්වය පාවාදී ජනපති අපේක්ෂකත්නය ගන්නට තමන් කිසිසේත් කටයුතු නොකළ බවත් රට, ජාතිය හා ආගම තමන් කිසිවිටෙකත් පාවා නොදෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

සැබැවින්ම රට ඒකීය ස්වෛරී රටක් බවට පත්කළ යුතු බවත් ඒ බව ව්‍යවස්ථාවේ එක් වගන්තියක සඳහන්වූ පමණින් ඵලක් නොවන බවත් කී ඒ මහතා ඒකීය භාවය ආරක්ෂා වන ස්වෛරී රටක් යන හැඟීම සෑම ජනතාවකගේම හදවතේ තිබිය යුතු බවද අවධාරණය කළේය.

ජාතික අනන්‍යතාවය තුළ රටේ සභ්‍යත්වයට මුල්තැන දිය යුතු බවත් විවිධ පාර්ශ්වයන්ට මෙරටට පැමිණ රට ගිනි තැබීමට හැකි සුදුසුම කාලයක් දැන් පවතින බවත් කී ඒ මහතා ඔවුන් ගිනි තැබීම සඳහා පිදුරු ගොඩවල් සොයමින් යන බවද පැවසුවේය.

කවුරුත් මේ රට ගිනි තැබීමට උත්සාහ කළත් තමන් මෙම පූජනීය දේශය රැකගැනිමට හදවතින්ම ක්‍රියාකරන බවද ඒ මහතා කීය.

ජනාධිපතිවරයෙකුට ජනතාව විසින් රට බාර දෙන්නේ රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කිරීමට මිස විනාශ කිරීමට නොවන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවසූහ.

ජනපති ධූරයට දැනට සුදුස්සකු වශයෙන් ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව ජනතාව දැඩි අපේක්ෂාවෙන් පසුවන බවද උන්වහන්සේ කීහ.

විවිධ බලවේග වලින් රට වෙසෙසින්ම ආරක්ෂා කර ගැනීම ජනපති අපේක්ෂකයාට ඉදිරියේදී පැවැරෙන බවත් ඒ ජනතා අභිලාෂය ඒ අයුරින්ට ඉටු කිරීමට කටයුතු කළ යුතු බවත් කී උන්වහන්සේ එවැනි අයට මහා සංඝරත්නයේ නිරතුරු ආශිර්වාද හා මඟ පෙන්වීම් හිමිවන බවද අවධාරණය කළහ.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න