පෝර්ට් සිටි ඉඩම් වටිනාකම වසර 3කින් ට්‍රිලියන ගණනක් | දිනමිණ

පෝර්ට් සිටි ඉඩම් වටිනාකම වසර 3කින් ට්‍රිලියන ගණනක්

ඇමැති පාඨලී චම්පික

පෝට් සිටි හිස් ඉඩමෙහි වර්තමාන වටිනාකම රු. බිලියන 506ක් පමණ වන අතර, එක් පර්චසයක් රුපියල් මිලියන 7ක් පමණ වෙයි. මෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් සමඟ වසර 2-3 ක් ඇතුළත වටිනාකම ට්‍රිලියනය දක්වා ඉහළ යනු ඇතැයි මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. පෝර්ට් සිටි සඳහා ගොඩ කරන ලද ඉඩම් හෙක්ටයාර 269ක ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවැරීමේ උත්සවය අමතමින් පසුගිය දා ඇමැතිවරයා මේ බව පැවැසීය.

‘වරාය නගරය එක්වීමත් සමඟ, නාගරික සංවර්ධන අධිකාරියේ වත්කම් පදනම රාජ්‍ය බැංකුවලින් පසු රාජ්‍ය ආයතනයක් සතු විශාලතම වත්කම බවට පත්වනු ඇත.‘ ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

මේ සතිය මුලදී, රජය සහ චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) පෝට් සිටි කොළඹ අතර ඇති කර ගත් එකඟතාවකට අනුව, ගොඩ කරන ලද ඉඩම් හෙක්ටයාර් 269ක්ම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇති අතර, එම ඉඩමෙහි පූර්ණ අයිතිය රජය වෙත පැවැරී ඇති අතර, මහජන භාවිතය සඳහා අක්කර 91ක්, වාණිජ අක්කර 62ක් භාවිත කිරීම සහ අක්කර 116ක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC ) පෝට් සිටි කොළඹට බදු දීමට නියමිතය.

නව අදහස දක්වන්න