අක්ක­ගෙයි නංගි­ගෙයි අපූරු ව්‍යාපා­රය | දිනමිණ


 

අක්ක­ගෙයි නංගි­ගෙයි අපූරු ව්‍යාපා­රය

කවියන්ගේ පන්හිඳට, සිත්තරුන්ගේ තෙලිතුඩට වඩාත්ම හසුවූයේ කාන්තාව ය. ඒ ඇය කලාවට උල්පතක් වීම හේතුවෙනි. සහජයෙන් රැගෙන ආ කලා රසය නවමු නිර්මාණ මඟින් ලෝකයට දායාද කරන්නටත් එයින් ම ශක්තිමත් ආර්ථිකයකට පදනම සකස් කර ගන්නටත් කාන්තාවට ඇත්තේ සහජ හැකියාවකි.

කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි නදීෂා රසාංජලී පෙරේරා කලාත්මක නිර්මාණකරණයෙන් ජීවිතය ජයගන්නට උත්සාහ දරන දිරිය දියණියකි. ඇය අතින් නිමවන සුන්දර නිර්මාණ වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත.

"අත්කම් නිර්මාණවලට මම පුංචි කාලේ ඉඳලම ආසාවක් දැක්වූවා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මගේ යෙහෙළියක් paper quiling නිර්මාණ කරනවා දැකලා මටත් ඒ පිළිබඳව ආශාවක් ඇති වුණා. මම මුලින්ම හැදුවේ paper quilling key tag එකක්. ඒක සාර්ථක වුණා. බොහෝ දෙනෙක් ලස්සනයි කිව්වා. ඉන්පසුව මම නිර්මාණය කළ card හිතවතුන්ගේ ඇගයීමට ලක්වුණා. දක්ෂතාවය තිබුණත් හැදෑරීමකින් තොරව දෙයක් ඉදිරියට පවත්වා ගෙන යන්න අපහසුයි. ඒ නිසා මම මේ කලාව සම්බන්ධව මුහුණු පොතේ කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා, youtube video බලලා තවදුරටත් ඒවා ඉගෙන ගත්තා"

උත්සහයෙන් ඉගෙනගත් paper quilling කලාව ඇගේ ජීවන වෘත්තිය බවට පත් වන්නේ නිරායාසයෙනි.

"මගේ නිර්මාණවලට ඉල්ලුම වැඩිවන විට ව්‍යාපාරයක් විදිහට එය ආරම්භ කළා. “Sha creation and craft“ නමින් ආරම්භ කළ මගේ ව්‍යාපාරයේ වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් මට මුණ ගැසෙන්නේ මුහුණුපොත හරහා. මගෙ නංගි ගඟුලි නුවන්තාරා තමයි කාඩ්වලට අවශ්‍ය නිර්මාණ පරිගණකය හරහා මට අවශ්‍ය ලෙස සකස් කර දෙන්නේ. ඒ වගේම ඇයත් කාඩ් නිර්මාණය කරනවා Sha creation and craft කියන මගේ ෆේස්බුක් පේජ් එකේ අපේ නිර්මාණ දැකගන්න පුළුවන්. මම මේ වන විට සාම්ප්‍රදායික card කලාවෙන් මිදී වෙනස් ආකාරයේ නිර්මාණවලට යොමු වී සිටිනවා. Zigzag Pop up card, Boomf Box, Explosion Box, Card in box සහ Scrap book එකක් ආකාරයට සකස් කරන ලද ඇල්බම් ආදී විවිධ වර්ගයේ කාඩ් අවශ්‍යතාවයට අනුව නිර්මාණය කර දෙන්නට මට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ වනවිට මම විවාහ මංගල අලංකරණ කටයුතු සිදුකරනවා."

ඇය මේ වන විට තවත් නවතම නිර්මාණ කටයුත්තකට අත ගසා තිබේ.

"ඉතාම මෑතකදී ‘pop stick’ වලින් නිර්මාණ කරන ආකාරය මම අත්හදා බැලුවා. ඒ නිර්මාණවලටත් ඉතාම යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ තුළින් ලද විශ්වාසය මත මේ වන විට මා pop stick නිර්මාණවලට යොමුවී සිටිනවා. එසේම foam sheetවලින් මල් සකසන ආකාරය පිළිබඳවත් මේ වන විට හදාරමින් සිටිනවා“

"මගේ වැඩිම පාරිභෝගික පිරිස සිටින්නේ මුහුණු පොත ආශ්‍රිතව. සාමාන්‍ය වළෙඳපොළට ගොස් නිර්මාණ අලෙවි කර ගැනීම ටිකක් අසීරු කාරණයක්. නමුත් මුහුණු පොතෙන් සම්බන්ධ වන ගනුදෙනුකරුවන් බොහෝමයක් මට සිටිනවා. තවදුරටත් අලුත් අත්හදා බැලීම් තුළින් නව නිර්මාණ බිහි කරන්නට මම අදහස් කරනවා. මගේ මේ ගමනට මගේ ආදරණීය සැමියා, දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාම ලබාදෙන සහයෝගය ඉතාම විශිෂ්ටයි."

 

සටහන- දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න