විදු­ලිය කන ඉස්ති­රි­ක්කය | දිනමිණ


 

විදු­ලිය කන ඉස්ති­රි­ක්කය

 

ගෙදර විදුලි බිල ගැන මැසිවිලි නඟන බොහෝ දෙනෙකුට තමන් එදිනෙදා කරන විදුලිය නාස්තිය ගැන මතක් වන්නේ නැත. රෙදි මැදිල්ල අප අතින් විදුලිය වැඩි වශයෙන් නාස්ති විය හැකි එක් අවස්ථාවකි. මේ කරුණු අත්හදා බලමින් රෙදි මැදිමේදී විදුලිය අරපිරිමසා ගන්න ඔබටත් හැකි ය.

 

1. එකවර රෙදි මැදීම

පාසැල් යන දරුවන් සහ රැකී රක්ෂාදියට යන අය සිටින විට දිනපතාම වාගේ රෙදි මදින්නට සිදු වේ. එවැනි නිවෙසක, විනාඩි 20ත් 30ත් අතර කාලයක් රෙදි මැදීමට දිනකට වෙන් කෙරේ. ඉන් මසකට විදුලි ඒකක 8 ත් 24 ත් අතර ප්‍රමාණයක් විදුලි බිලට එකතු වේ. සාමාන්‍ය විදුලි ඉස්තිරිත්කයක් ඇත්නම් සතියක රෙදි එකවර මැදීමට පුරුදු වීමෙන් මෙය වෙනස් කරගත හැක.

2. සාමන්‍ය විදුලි ඉස්තිරිත්කයේ වටිනාකම

රෙදි මැදීමේ කාර්යය සඳහා බොහෝ අය මිලදී ගන්නේ වෙළඳපොළේ අලෙවියට තබා ඇති සාමාන්‍ය විදුලි ඉස්තිරිත්කයකි. එහි කාර්යක්ෂමතාව පිළිබඳ නොසලකා කටයුතු කිරීම නිසා හෝ ඒ ගැන නොදන්නා නිසා හෝ ඔබ එබඳු ඉස්තිරිත්කයක් මිලදී ගන්නවා විය හැකි ය. එවැනි සාමාන්‍ය ඉස්තිරිත්කයක් අඩු වොට් ගණනකින් සමන්විත බව අමතක නොකරන්න. එවැන්නක් රත්වීමටත්, රෙදි මැදීමටත් වැඩි කාලයක් ගනී. එය ඔබේ විදුලි බිල වැඩි කරයි.

3. ජල වාෂ්ප විදිය හැකි ඉස්තිරිත්ක

ජල වාෂ්ප විදිය හැකි ඉස්තිරිත්කයකින් රෙදි මැදීමේදී වැඩිපුර පොඩි වී ඇති තැන් එක් වරක් මැදීමෙන් යතා තත්ත්වයට ගත හැකි ය. ඒ ජල වාෂ්ප විදිය හැකි නිසයි. එවැනි ඉස්තිරිත්කයක් රෙදි මැදීමට ගන්නා කාලය, සාමාන්‍යය ඉස්තිරිත්කයක් ඒ සඳහා ගන්නා කාලයට වඩා 50%කින් පමණ අඩු බව තහවුරුව ඇත. එනිසා ජල වාෂ්ප පිටකරන විදුලි ඉස්තිරිත්කය ඵලදායිතාවයෙන් ඉහළ මට්ටමක පවතින බැව් කිව හැකි ය. ඇඳුම් විශාල ප්‍රමාණයක් මදින පවුලකට එවැනි ඉස්තිරිත්කයක් යෝග්‍ය වේ.

4. රෙදි මැදීමට පෙර වර්ගීකරණය

විදුලිය පිරිමසා ගන්නට නම් රෙදි මැදීමට ගන්නා කාලය අවම කළ යුතුය. රෙදි මැදීමට පළමුව, මැදිය යුතු ඇඳුම් සහ රෙදි සූදානම් කර ගැනීම එක් පියවරකි. රෙදි එල්ලීමේ රාමු ද (Hangers) රෙදි මැදිල්ලට පළමුව ම සූදානම් කරගන්න. ඉස්තිරිත්ක කිරීමේ අවශ්‍යතාවය අනුම රෙදිපිළි වර්ගීකරණය කරගන්න.

5. ඝනකම රෙදි පළමුව මැදීම

මැදීමට පෙර ඝනකම අනුව රෙදි වර්ග කරන්න. ඝනකම වැඩි රෙදිවලින් මැදීම ආරම්භ කරන්න. ඝනකම අඩු රෙදි අවසානයේදී මැදීම සඳහා තබා ගන්න. ඝනකම අඩු එම රෙදිවලට සරිලන පරිදි ඉස්තිරිත්කයේ උෂ්ණත්වය අනුක්‍රමයෙන් අඩු කරන්න.

6. රෙදි වර්ගයට සරිලන උෂ්ණත්වයක්!

ඒ ඒ රෙදි වර්ගයට සරිලන උෂ්ණත්වය, ඉස්තිරිත්කයෙන් තෝරා ගැනීම වැදගත් කාර්යකි. කපු (cotton) ඇඳුම් සඳහා ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය ය. එම උෂ්ණත්වය ඔබ කෘත්‍රීම රෙදි වර්ගයක් සඳහා භාවිත කළහොත් එම රෙදි වර්ගය පිළිස්සී යා හැකි ය. මැදීමට ඇති රෙදි, වර්ග කරගත යුත්තේ ඔබ ඒ පිළිබඳ ව සැලකිලිමත් වෙමිනි.

7. ඇඳුමේ ලේබලයේ වැදගත් තොරතුරු

බොහෝ නිමි ඇඳුම්වල ලේබලයක් ඇත. මේ ලේබලයේ සඳහන් තොරතුරු අතර එකී ඇඳුම සේදිය යුතු අන්දම ගැනත්, එය මැදිය යුතු අන්දම ගැනත් උපදෙස් තිබේ. එකී උපදෙස්වලට අනුව ඇඳුම් මදින්නේ නම් ඇඳුමේ පැවැත්මට එය හොඳ ය. එමෙන්ම මැදීමට රෙදි වර්ග කර ගැනීමේදී ඒ ඒ ඇඳුම් තබා ගත යුත්තේ අනුපිළිවෙළෙහි කවර තැනෙක ද යන්න ගැන ඔබට තීරණයක් ගත හැකි ය. ඒ තීරණය ඔබේ විදුලි බිල අඩු කිරීමට හේතුවක් වනු නිසැක ය.

8. ඉස්තිරික්කයේ කාර්යක්ෂමතාව

අමු කෙසෙල් කොළයක් මැදීමෙන් ඉස්තිරිත්කයේ පතුල පිරිසිදු කර ගැනීමට ඔබට පුළුවන. ජල වාෂ්ප ඉස්තිරිත්කවලට ආසවනය කළ ජලය (Distilled water) භාවිත කරන්න. ජල වාෂ්ප පිටවන සිදුරු අවහිරවීම වැළක්වීමට, ඉස්තිරිත්කයේ නිෂ්පාදකයන් ලබා දී ඇති උපදෙස් පිළිපදින්න. වාෂ්ප සිදුරු පුළුන් කැබැල්ලකින් නිතර පිරිසිදු කරන්න.

9. රෙදිවල මිරිකුම් ලකුණු අඩු වීම

ඔබ රෙදි සෝදා ගන්නේ යන්ත්‍රයක් භාවිතයෙන් නොවේ නම්, සේදූ රෙදි මිරිකා ගැනීමේදී වැඩි නැවුම් පාර ඇති නොවන ලෙස රෙදි මිරිකා ගන්න. එසේම රෙදි වේලා ගැනීමේදීත්, වේලන ලද රෙදි අසුරා ගැනීමේදීත් ඒවා එල්ලා තබන්න. රෙදි මැදීමට වැය වන විදුලිය සහ කාලය එයින් ඔබට ඉතිරි කරගත හැකි ය.

10. රෙදි මැදීමේදී මේ ගැනත් සිතන්න

අවසන් රෙදි කිහිපය මැදීමට පළමුව ඉස්තිරිත්කයේ විදුලිය විසන්ධි කරන්න. එයින් විදුලිය පිරිමසා ගන්නට පුළුවන. රෙදි මැදීම අතරතුර ඉස්තිරිත්කය පසෙකින් තබන විට එහි පතුල සිරස්ව තබන්න. රෙදි මැදීමේදී මේස කවරයට යටින් තුනී ඇලුමිනියම් ෆොයිල් කැබැල්ලක් යොදන්න. එවිට රෙදිවල දෙපැත්තම එක විට හොඳින් මැද ගත හැකි ය. එකම රෙද්ද වැඩි වෙලාවක් මැදීමට සිදුවීම නිසා වැය වන විදුලිය ප්‍රමාණය අඩු කරගන්නට එය මඟකි.

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න