දරුවා හුරු­කි­රීම | දිනමිණ


 

දරුවා හුරු­කි­රීම

 

දරුවන්ට හොඳ නරක නිවැරදිව හදුනා ගැනීම පුරුදු කළ යුත්තේ කුඩා කල පටන් බව දෙස් විදෙස් මනෝ විද්‍යාඥවරුන්ගේ අදහස ය. තම දරුවන්ට කුඩා කල පටන් යහපත් පුරුදු, ඇති කරලීමට අවට පරිසරය තනා දිය යුත්තේ මවුපියන් ය. දරුවන් වැරදි ජීවන පුරුදුවලට ඇබ්බැහි වුවහොත් එය පාලනය කිරීම ද ලෙහෙසි නොවේ. මවුපියන්ගේ වගකීම් කිහිපයක් ගැන " Entrepreneur Asia Pacific ( family ) " වෙබ් අඩවියෙහි මෙසේ සඳහන්ව තිබුණි.

 

දරුවන් යහ අසල්වාසීන් වෙතට

මවුපියන් නෑදෑයින්ට අමතරව දරුවන් අවට සමාජය පිළිබඳව දැන ගන්නේ තම අසල්වාසීන්ගෙනි. යහපත් ගුණ ධර්මවලින් හෙබි අසල්වැසියන් ආශ්‍රීය කිරීමට ඉඩ ලබා දීම වැදගත් ය. පවුලේ සාමාජිකයින්ගෙන් සමාජානුයෝජනය වන දරුවන් අසල්වැසියන් තුළින් ද බෝහෝ දේ උකහා ගන්නා බව විදෙස් මනෝ විශ්ලේශකයෝ පර්යේෂණවලින් සනාථ කර තිබේ. මවුපියන්ට දරුවන් සමඟ කාලය ගත කිරීමට නොහැකි අවස්ථාවල යහපත් අසල්වැසියන් සමඟ ඔවුන්ට බාධාවක් නොවන අකාරයට කාලය ගත කිරීමට ඉඩ සැලසීම වැදගත් ය.

මවුපියන්ගේ සතුට දරුවාටත්

දරුවන් කුඩා කල සිටම මවුපියන්ගෙන් බොහෝ දෑ ඉගෙන ගනී. මවුපියන් මානසික අසහනයෙන් නොසිටිය යුතු ය. කොපමණ ගැටලුකාරී වාතාවරණයන්ට මුහුණ දීමට සිදු වුව ද, එබදු දෑ දරුවන්ට සඟවා ඔවුන් සමඟ සතුටින් කාලය ගතකළ යුතු ය. මවුපියන්ගේ ගැටලුකාරී තත්ත්වයන් දරුවන් දැනගත හොත් ඔවුන් මානසික ආතතියෙන් පෙළෙන බව මනෝ විශ්ලේශකයන් පර්යේෂණ මඟින් හෙළි කර ඇත.

දරුවන්ට ගෙදර දොරේ වැඩ කටයුතු පුරුදු කරන්න

දරුවන්ට කුඩා කල සිටම කාලයේ වටිනාකම පුරුදු කළ යුතු ය. සෙල්ලමට කාලය ලබා දුන්නද, ඔවුන්ට නිවසෙහි තිබෙන සුළු කාර්යයන් පැවරිය යුතුය. එය දරුවන්ට අනාගතයේ දිනක තමන්ගේ වැඩ තනියම කර ගැනීමේ හැකියාව ඇති කරයි. එය ඔවුන්ට වටිනා දායාදයකි.

පොත් කියවීම හා ගණිත විසඳුම්

ජීවිතයට අගනාකමක් එක් කිරීමට හැකි කෘති දරුවන්ට කියවීමට දීමෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව වර්ධනය කෙරේ. කුඩා කල පටන් ගණිත සංකල්ප කියා දීමෙන් ද තාර්කික ඥානය වර්ධනය වේ. ඉන් දරුවන්ට පැමිණෙන ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව නිරායාසයෙන් ලැබෙන බව මනෝ විශ්ලේශකයින් පවසයි.

දරුවන්ට ඉහළ බලාපොරොත්තු

දරුවන්ට ඉටු කර ගත හැකි බලාපොරොත්තු තබා ගැනීමට කියා දෙන්න. ඒවා යථාර්ථයක් කිරීම සදහා දරුවන් පෙළඹවීම මවුපියන්ගේ යුතුකමකි. එවිට කිසි දිනක දරුවන් අයාලේ යන ජීවිතයකට යොමු නෙවේ. ජිවිතයක් සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු තුළින් ලැබෙන ප්‍රබල උත්තේජනය ළමා මනසට සාධනීය ලෙස බලපායි.

ප්‍රශංසාවේ වටිනාකම

ප්‍රශංසා කිරීම මඟින් දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් වේ. දරුවා කරන සුළු කාර්යයකට හෝ ප්‍රශංසා කිරීමෙන් ඔවුන්ගේ හැකියා සහ දක්ෂතා තවත් වැඩි කර ගත හැකි ය. පාසල් අධ්‍යාපනය ආරම්භ කළ පසු එම කාල සීමාවේදී දරුවන්ට ඉහළ අන්දමින් ප්‍රශංසා කිරීම ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක වීමට පිටිවහලකි. මානසික ආතතිය සහ ව්‍යාකූලත්වයෙන් තොර දරුවන් නිර්මාණය කිරීමට ප්‍රශංසාව යහපත් ය.

නිවසේ චාරිත්‍ර වාරිත්‍ර

පාරම්පරිකව පැවත ගෙන එන චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට කියා දීම වඩාත් වැදගත් වේ. ඒ මන් ද යත් මවුපියන් , සහ ආච්චි සීයලා නොමැති කලක චාරිත්‍ර වාරිත්‍ර ද නැති වී යන නිසා ය. ආරම්භයේ දී සුළු චාරිත්‍ර වාරිත්‍ර කියා දී පසුව අනෙක් චාරිත්‍ර වාරිත්‍ර කියා දීම සුදුසු ය. එය දරුවන්ට අනාගතයේදී ගෞරවාන්විතව ජීවත් වීමට හැකියාව ලැබේ.

අර්ථවත් සබඳතා

සෑම විටම දරුවන්ට ඉහළ දැනුමක් සහ අවබෝධයක් තිබෙන පුද්ගලයන් ඇසුරට ඉඩ දිය යුතු වේ. ඔවුන්ගේ හැකියා දක්ෂතා කුඩා ඉන් කුඩා කල සිටම හදුනා ගත හැක. අඩු දැනුමකින් යුතු පුද්ගලයින් තුළ වුවද මානූෂීය ගුණාංග ඉහළ මට්ටමක පවතින්නේ නම් එවැනි පුද්ගලයින් ආශ්‍රය කිරීමට දරුවන් යොමු කළ යුතු ය.

නිරෝගීකම අත්‍යාවශ්‍ය ය

කුඩා කල සිටම සෑම දරුවෙකුටම නිරෝගීකමේ තිබෙන වටිනාකම පුරුදු කළ යුතු ය. උදෑසන සිට රාත්‍රිය දක්වාම සෞඛ්‍යමවත්ව ජීවත්වන අන්දම ප්‍රයෝගිකව කියා දීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. පවුලේ එක දරුවකුට යහපත් සෞඛ්‍ය පුරුදු කියා දුන හොත් එම දරුවා අනෙක් දරුවන්ට ද එම සෞඛ්‍ය පුරුදු කියා දෙයි.

නිර්මාණශීලී කරන්න

දරුවන්ගේ හැකියා දක්ෂතා දැක, ඒවා නැවත නැවතත් වැඩි දියුණු කිරීමට උත්සහ කළ යුතු ය. මවුපියන් හෝ ගුරුවරු විසින් එක් වරෙක යමක් කියා දුන් පසු දරුවන්ට එය තනිවම කිරීමට පුරුදු කළ යුතු ය. එවිට ඔවුන් තුළ තිබෙන නිර්මාණශීලීත්වය ඔවුන් තුළින්ම ඉස්මතු වේ.

ව්‍යවසායකත්වය සඳහා යොමු කරන්න

මෙය බොහෝ විදේශ රටවල අධ්‍යාපන ක්‍රමවේදවල අන්තර්ගතව ඇත. අනාගතයේදී රැකියා ලාභියකු වීමේ අවශ්‍යතාවය නොව තමන් තුළින් රැකියා උත්පාදනය කිරීමට හැකි පුද්ගලයකු වීමට දරුවන්ට යොමු කළ යුතු ය. මේ සඳහා විවිධ විෂය ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් දරුවන්ට ඉගැන්විය යුතු ය. සූප ශාස්ත්‍රය, ගෙවතු වගාව, ගෘහ නිර්මාණ ශිල්පය, යන විෂයවලට දරුවන් යොමු කිරීම වැදගත් ය.

ජය පරාජය කියා දීම

ජය සහ පැරදුම එක සේ විඳ දරා ගැනීමට දරුවන්ට පුරුදු කළ යුතු ය. නැතහොත් දරුවන් මානසික පීඩාවන්ට පත් වී අවසානයේදී සියදිවිහානි කර ගැනීමේ තත්ත්වයට පවා පත් වේ. නිවසේ දී ප්‍රයෝගිකව මෙය දරුවන්ට අවබෝධ කර දිය හැකි ය.

 

උපදෙස් - Entrepreneur Asia Pacific (family) වෙබ් අඩවිය

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න