උතුරු-නැ‍ඟෙනහිර ඡන්ද හැසිරීම | දිනමිණ


 

උතුරු-නැ‍ඟෙනහිර ඡන්ද හැසිරීම

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව පෙනෙයි. සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ සහයෝගය කොන්දේසි විරහිත ව සජිත්ට ලබා දෙන්නේ යැයි සුමන්තිරන් මහතා කියා සිටී. තම පක්ෂය සජිත්ට සහයෝගය ලබා දෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟතාව පළකරමින් බව ද සුමන්තිරන් මහතා පෙන්වා දෙයි. දෙමළ ජාතික සන්ධානයට අයත් අනෙකුත් ප්‍රධාන පක්ෂ දෙක සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරි දිනකදී සහයෝගය පිළිබඳ මතය ප්‍රකාශයට පත්කරන බව දන්වා සිටී.

උතුරු පළාත මෙන් ම නැ‍ඟෙනහිර පළාත ද ජනාධිපතිවරණයක දී තීරණාත්මක බව සඳහන් කළ යුතුය. 2005, 2010 හා 2015 ජනාධිපතිවරණවලදී ද ඒ බව සනාථ වී ඇත. දකුණේ දේශපාලන නායකයන් ඉහත දෙපළාතේ ගැටලු ගැන සාකච්ඡා කරන්නේ ඉතා අඩුවෙන් ය. ඒ හැරෙන්නට යුද්ධය නිසා වැඩියෙන් ම හානියට පත් වූ කලාප දෙක ලෙස ද උතුර හා නැ‍ඟෙනහිර සඳහන් කළ හැකි ය. උතුරු පළාතට දිස්ත්‍රික්ක හතරක් අයත් වේ. ඒ යාපනය, වව්නියාව, කිළිනොච්චිය හා මුලතිව් වශයෙනි. නැ‍ඟෙනහිර පළාතට දිස්ත්‍රික්ක තුනක් අයත් වේ. ඒ ත්‍රිකුණාමලය, මඩකළපුව හා දිගාමඩුල්ල වශයෙනි. උතුරු පළාතේ දෙමළ ජාතික ඡන්ද ප්‍රතිශතය වැඩි අතර නැ‍ඟෙනහිර පළාතේ මුස්ලිම් ජාතික ඡන්ද ප්‍රතිශතය වැඩි ය.

මේ වනවිට රට තුළ විශාල බොරු දෙකක් ප්‍රචාරය වෙමින් තිබේ. එම බොරු දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුමක් අස්සන් කර ඇති බව හා එක්සත් ජාතික පක්ෂය රටේ ඉඩම් අමෙරිකාවට අලෙවි කරන බව ය. කොන්දේසි දහතුනකින් සමන්විත ලියවිල්ලක් උතුරේ සංවිධාන විසින් සකස් කර ඇති නමුත් කිසිදු පක්ෂයක් ඊට එකඟතාව පළකර නැත. ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය සජිත්ට සහයෝගය දක්වන්නට තීරණය කර ඇත්තේ ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විමර්ශනය කිරීමෙන් මිස ගිවිසුම් අස්සන් කිරීමෙන් නොවන බව ද ප්‍රකාශ වී ඇත. අමෙරිකාව සමඟ වෙළෙඳ ගිවිසුමකට යෑම සඳහා පළමු සැලැසුම ඉදිරිපත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ය. එය සකසා ඇත්තේ 2011 දී ය.

රට දෙකඩ කිරීමක් ගැන ද, පෙඩරල් ලබාදීමක් ගැන ද කොන්දේසි දහතුනකින් සමන්විත ගිවිසුමක් අස්සන් කිරීම ගැන ද දේශපාලන වේදිකාවේ හැඟුම්බර දේශන පැවැත්වෙයි. උතුරේදී මේ දේශන නොපැවැත්වෙන අතර දකුණේ දී තීව්‍ර ලෙස කතා පැවැත්වෙයි. එහි අරමුණ සිංහල ජනතාවගේ ජාතිවාදය අවුළුවා ඡන්ද කඩාගැනීම බව ඉතා පැහැදිලි ය. එම කතා කෙතරම් හැඟීම්බර ද යත්; රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව ලෙස ජනාධිපතිවරණය අර්ථ ගන්වා තිබේ. යුද්ධය හා යුද ජයග්‍රහණය මැතිවරණ සමය තුළ අලෙවි කිරීම තහනම් යැයි කියුව ද එක දේශපාලන කණ්ඩායමක් ඒවා දිගට ම අලෙවි කරයි. සිංහල ජනතාව කුපිත කරයි. මෙය ඡන්ද උප්පරවැට්ටියක් බව සාමාන්‍ය ජනතාව වටහාගෙන නැත.

දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ ගණනාවක් කාලයක සිට නඟන හඬ පහසුවෙන් මඟහැර යා හැකි නොවේ. ඒවා දෙමළ ජනතාවගේ ඇත්ත ගැටලු බව දකුණේ ජාතිවාදී පක්ෂ වටහාගෙන නැත. යුද සමයේ උතුරේ හා නැ‍ඟෙනහිර ජනතාවට සිදු වී ඇති හානිය බොරුවක් නොව; ඇත්තකි. අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව, ඉඩම් පිළිබඳ ගැටලුව, සමානාත්මතාව පිළිබඳ ගැටලුව, හානි පූරණය පිළිබඳ ගැටලුව මේ අතර පවතී. දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හැරීම ඉහත පළාත් දෙකටම තදින් බලපා තිබේ. යුද සමය තුළ උතුරේ මාධ්‍යවේදීන් පමණක් තිස්ගණනක් අතුරුදන් වී ඇත. ඝාතනයට ලක්වූ සාමාන්‍ය ජනතාවගේ ප්‍රමාණය නියම ලෙසින් ගණනය වී නැත. පශ්චාත් යුද සමයේදී මේ පිළිබඳ නිරීක්ෂණ කළ යුතුව තිබුණ ද එදා පැවැති ආණ්ඩුව එම යුතුකම ඉටුකළේ නැත.

උතුරේ ජනතාවගේ ඇත්ත ගැටලු ගැන යම් සලකා බැලීමක් සිදුකර ඇත්තේ යහපාලන ආණ්ඩුව පමණකැ’යි කිව හැකි ය. උතුරේ පැවැති ඉඩම් ගැටලුවට සාර්ථක විසැඳුමක් ලබාදීමට යහපාලන ආණ්ඩුව සමත් වූ බව පිළිගත හැකි ය. ආරක්ෂක හේතු මත රජයට පවරාගත් ඉඩම්වලින් 90%ක් පමණ ආපසු හිමිකාරයන් වෙත ලබාදී ඇති බව ප්‍රකාශිතය. උතුරු පළාතට ඉඩම් යනු වඩාත් හිඟ සම්පතකි. එහි ගොවීන්ගේ වටිනාම වස්තුව ලෙස ඉඩම් පවතී. ඉඩම් රජයට පවරා ගැනීම නිසා ඔවුන්ගේ ආර්ථිකය පමණක් නොව; ඔවුන් සතු උරුමය ද පැහැර ගැනීමක් සිදු වී ඇත. එහෙත් මේවා ගැන සාකච්ඡා කිරීමට පවා දකුණේ ජාතිවාදී පක්ෂ සූදානම් නැත. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීම යහපාලන ආණ්ඩුව ඉටුකළ තවත් වැදගත් යුතුකමකි.

උතුරේ මෙන් ම නැ‍ඟෙනහිර ජනතාවට ද සුවිශේෂී වූ ගැටලු සමූහයක් පවතී. මැතිවරණ කාලවලදී මේවා ඉතා ශීඝ්‍රයෙන් අලෙවි වන අතර දකුණේ නායකයෝ පොරොන්දු ලබා දෙමින් ඡන්ද කඩාගැනීමට වෑයම් කරති. එහෙත් සාමාන්‍ය දෙමළ ජනතාවගේ මතය වන්නේ කිසිදු ආණ්ඩුවකින් ඔවුන්ගේ ගැටලු විසැඳී නැති බව ය. යහපාලන ආණ්ඩුව ගෙනගිය ඇතැම් වැඩසටහන් ගැන ඔවුන්ගේ ප්‍රසාදයක් ඇති බව පෙනෙන්නට තිබේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාදීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ප්‍රසාදයට ලක්වී ඇත. එහෙත් විසැඳිය යුතු තවත් ගැටලු රාශියක් තිබේ. ආණ්ඩුව දේශපාලන කුමන්ත්‍රණවලට ගොදුරු නොවූයේ නම්; තවත් වැඩ කොටසක් ඉටුකිරීමට ඉඩ තිබිණි. එහෙත් එය මඟහැරී ගොස් ඇත. දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව ද මේ සියල්ල සමාලෝචනය කරමින් තම ඡන්දය පාවිච්චි කරනු ඇතැ’යි සිතන්නට පුළුවන.

උතුරු පළාතේ ඡන්ද ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් ද නැ‍ඟෙනහිර පළාතේ ඡන්ද ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් ද ඇතැ’යි ගණනය කළ හැකි ය. ජනාධිපතිවරණයේදී ලක්ෂ පහ‍ළොවකට ආසන්න මේ ඡන්ද ප්‍රමාණය තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

 

නව අදහස දක්වන්න