සියලු ආරක්ෂක අංශවල ආර්ථිකය නැංවීමට ක්‍රියා කළේ යහපාලන ආණ්ඩුවයි | දිනමිණ


 

සියලු ආරක්ෂක අංශවල ආර්ථිකය නැංවීමට ක්‍රියා කළේ යහපාලන ආණ්ඩුවයි

රක්ෂණ ශ්‍රියන්ත

තවමත් බලාපොරොත්තුවක් තබාගත හැකි එකම දේශපාලන කණ්ඩායමත් ඒකයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක සේවාවේ සියලු දෙනාටම යහපතක් සිදු කළේ මනුෂ්‍යත්වයෙන් බලා ඔවුන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වයන් ඉහළ නැංවීමට පියවර ගත්තේ එ ජාපය මූලික යහපාලන ආණ්ඩුව බව සිහිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා, එසේනම් තවමත් විශ්වාසයක් බලාපොරොත්තුවක් තැබීමට හැකි එකම දේශපාලන කණ්ඩායම එකම දේශපාලන නායකත්වය එක්සත් ජාතික පක්ෂය නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින් පමණක් බව ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (03) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සිරිකොත පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොහොට්ටුවේ අපේක්ෂකයා නිරන්තරයෙන්ම කතා කරන්නේ විනය ගරුක රටක්, නීති ගරුක රටක් හදනවා කියලා. ඔහු නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන සියල්ලම භාරව සිටිය ප්‍රධාන නිලධාරියා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා. ආරක්ෂක අමාත්‍යංශය යටතේ තමයි ත්‍රිවිධ හමුදාවත් සිවිල් ආරක්ෂක හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බළකායත් පොලිස් සේවාවත් පැවතුණේ. ඒ ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබුණු පොලිසිය පැය විසිහතර පුරා මේ රටේ නීතිය සහ විනය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය. ඔහුගේ පාලන කාලයේ පොලිසියට විවිධ අන්දමෙන් නිගරු වෙන විදියට කටයුතු කරපු ආරක්ෂක ලේකම්වරයා ඔහු රටේ සේනාවිධායකයා වුණාම ආරක්ෂක ඇමැති වුණාම ඔහු පොලිසියට කොහොම සලකයිද. ඒ යුගයේ ඔහුගේ අයියා සේනාවිධායකයා සහ ආරක්ෂක ඇමැතිවරයා විදියට කටයුතු කරපු අන්දමත් ඔහුට බලය ලැබුණාම කොහොම කටයුතු කරයිද කියා මම ඔබට පෙන්නුම් කරන්නම්.

යුද්ධය අවසන් වෙලා කාලයක් ගත වුණත් මේ ගොල්ලන්ට පුළුවන් වුණේ නැහැ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ට කිසිදු අන්දමක දීමනාවක් හෝ වැටුපක් වැඩිකිරීමට. මහින්ද රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතා සමඟ එකට වේදිකාවේ තරග කරන වෙලාවේ කිව්වේ, අපේ හාමුදුරුවනේ මටනම් බැහැ රුපියල් දහදාහකින් වැඩිකරන්න මම රුපියල් දෙදහස් පන්සීයකින් පඩි වැඩිකරනවා කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් ඉදලා තමන්ගේ පූර්ණ කාලයම ගෙව්වා ඒ පූර්ණ කාලයම රාජ්‍ය සේවකයෙකුට රුපියල් හත්සිය පනහකට වැඩිය වැඩි කරගන්න බැරුව ගියා. රට වෙනුවෙන් යුද වැදුණු අය ජීවිතක්ෂයට පත්වුණා, තව අය ආබාධිත වුණා, ජීවතුන් අතර සිටින උදවියට කිසිදු අන්දමකින් ඔවුන්ගේ වැටුප හෝ දීමනා හෝ වෙනත් පහසුකම් වැඩිකිරීමට මේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන ආරක්ෂක අංශයටත් සේනාවිධායකයා ප්‍රධාන රජයටත් බැරිවුණා. යුද්ධය අවසන් වෙලා ඔවුන්ට එක රුපියලකින්වත් වැටුපක් හෝ දීමනාවක් වැඩි කරන්න සමත් වුණේ නැති ආරක්ෂක ලේකම්වරයෙක් කියා අපට කියන්න පුළුවන්.

අපි බලයට පත්වෙලා පොලිස් නිලධාරීන්ගේ හා රජයේ සියලුම රජයේ නිලධාරීන්ගේ වැටුප සියයට එකසිය හතකින් වැඩිකිරීමට සමත්වුණා. අවම රුපියල් 14000කින් වැටුප් ලබපු පොලිස් නිලධාරීන්ට අපිට පුළුවන් වුණා රුපියල් 28000 දක්වා ඔවුන්ගේ මූලික වැටුප වැඩිකිරීමට. ඒ වගේම රුපියල් 28000ක් ගත්ත පොලිස් නිලධාරියෙක් අද රුපියල් 60000ක මූලික වැටුපක් ලබා ගන්නවා. මේ වසර හතර ඇතුළත රුපියල් 32000කින් අපි ඔවුන්ගේ වැටුප පමණක් වැඩි කිරීමට පියවර අරගෙන තිබෙනවා. සියලුම රජයේ සේවකයන්ට වැඩි කරපු සියයට එකසිය හතක වැටුපට අමතරව පොලිස් නිලධාරීන්ට විතරක් අපි සියයට හතළිහකින් වැටුප් වැඩිකිරීමට පියවර ගෙන තිබෙනවා.

පුත්තලම මැතිවරණ කොට්ඨාසයට සජිත් ප්‍රේමදාස අපේක්ෂකවරයා පසුගියදා ගියා .ඒ අතිවිශාල ජනහමුවට සමස්ථ ආරක්ෂක රාජකාරී සඳහා යෙදෙව්වේ රථවාහන රාජකාරිවලට යොදවපු පොලිස් නිලධාරිනුත් සමඟ පොලිස් නිලධාරීන් එකසිය හැත්තෑ පස් දෙනෙක් විතරයි. ඒ ආරක්ෂාව භාරව සිටින ප්‍රියන්ත ජයකොඩි පොලිස් අධිකාරීවරයා ඔහු කිව්වේ මේ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා කියලා ආරක්ෂක රාජකාරිවලට. නමුත් හෙට දවසේ ගෝඨාභය රාජපක්ෂගේ පුත්තලමේ රාජකාරිවලට පමණක් ඔහුගේ ආරක්ෂාව මෙහෙයවන කෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලකරත්න නිලධාරීන් දෙසිය විස්සක් රැස්වීම් භූමියට පමණක් ඉල්ලා සිටිනවා. තව එකසිය පනහක් අවශ්‍ය වෙනවා රාජකාරිවලට.

එවිට සමස්ථ නිලධාරීන් සංඛ්‍යාව තුන්සිය හැත්තෑවක් ඔවුන් පාවිච්චි කරනවා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ රැස්වීම් වෙලාවේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාගේ සියලු සමස්ථ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් යෙදෙව්වේ පොලිස් නිලධාරීන් එකසිය හැත්තෑපහයි. මේ වගේ දේවල්වලට පොලිසියට හැමදාම විශේෂ රාජකාරී. මේ විශේෂ රාජකාරි සඳහා යන විට ඔවුන්ට සංයුක්ත දීමනාවක් ගෙවිය යුතුයි. අපි දන්නවා ඒගොල්ලන්ගේ අමාරුකම.අපි අමාරුකම දන්න නිසා තමයි පොලිස් නිලධාරීන්ට මාසික සංයුක්ත දීමනාව වැඩි කිරීම සඳහා යෝජනා කළේ. හැබැයි වත්මන් සේනාධිනායකයා ඒ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව අත්හිටුවලා තිබෙනවා. අපේ අපේක්ෂකවරයා 16 වෙනිදා ජයග්‍රහණය කරපුවාම පැහැදිලිවම වහාම පොලිස් නිලධාරීන්ගේ රුපියල් විසිදහසක සංයුක්ත දීමනාව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් ප්‍රතිඥා දී ඉවරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලේ, වැඩිම ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් වෙනුවෙන් භාවිතා කරපු කාලපරිච්ඡේදය තමයි පසුගිය අවුරුදු හතරක කාලපරිච්ඡේදය. අපේ රජය උපදෙස් දුන්නා නිලධාරීන් කරන සේවය ඇගයීමට ලක් කර ඔවුන්ට අත පිරෙන්න හිත පිරෙන්න දෝත පුරා ත්‍යාග මුදල් දෙමු කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලපරිච්ඡේදයත් මේ යහපාලන ආණ්ඩු කාලපරිච්ඡේදයත් සමඟ සංසන්දනය කර බැලුවාම සියයට දෙසීයකට වැඩි ප්‍රමාණයකින් මේ ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීම සඳහා අපි පියවර අරගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් එක් පැත්තකින් ආර්ථික පීඩනය, අනෙක් පැත්තෙන් රාජකාරිමය වශයෙන් තිබෙන පීඩනය ,අනෙක් පැත්තෙන් මේ නිලධාරීන්ට තමන්ගේ සේවා කාලය අනුව උසස්වීම් දීමේ ක්‍රමවේදය අත්හිටුවලා තිබුණා. අපි මේ කාලපරිච්ඡේදයේ පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන් සහ උප පොලිස් පරීක්ෂක තනතුරු තුනේ පමණක් තිස්තුන්දහසකට වැඩි නිලධාරීන් සංඛ්‍යාවකට තමන්ට හිමි උසස්වීම ලබා දීම සඳහා පියවර ගත්තා. පොලිස් පුහුණුව වැඩි කිරීම සඳහා පුහුණු පාසල් පොලිස් සේවයට තව බඳවා ගැනීම් වැඩි කිරීම සඳහා අපි රට පුරා පොලිස් පුහුණු මධ්‍යස්ථාන ගණනාවක් ආරම්භ කළා. පොලිස් නිලධාරීන් සඳහා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සියලු විධිවිධාන යොදා අවසන්. දැන් වැඩකටයුතු අවසන් වෙමින් යනවා.

අපට පුළුවන් 2020 පොලිස් නිලධාරීන්ගේ විශ්ව විද්‍යාලය ආරම්භ කරන්න. පොලිස් සහායකවරු 2300ක් හිටියා මේ සියලු දෙනාම අපි පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරමින් ඔවුන් ස්ථිර සේවකයන් බවට පරිවර්තනය කිරීමට මේ කෙටිකාලයේ සමත්වුණා. පොලිස් නිලධාරීන් 3700ක් ඉන්නවා පොලිස් සේවය අතහැර ගියා සේ සලකන. මේ වන විට මේ 3700ම නැවත සේවයට ඇතුළත් කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ගෙන තිබෙනවා. මේ මැතිවරණ යුගයක් නිසා ඔවුන් නැවත සේවයට කැඳවීමට නොහැකිකමත් ඔවුන්ට නැවත පුහුණුවක් ලබාදීමට ඇති ප්‍රමාදයත් හැරුණු කොට මේ මැතිවරණ යුගය අවසන් වූ විගසම මේ 3700ම නැවත පොලිස් සේවයට එකතු කර ගැනීමට සියල්ල සූදානම් කර තිබෙනවා.

පොලිසියේ ගොඩනැගිලි ඉතාම කනගාටුදායක තත්ත්වයක තිබුණේ. මේ අවුරුදු හතරක කාල පරිච්ඡේදයේ අලුත් පොලිස් ස්ථාන ගොඩනැගුවා. පොලිස් ස්ථාන හයසීයකට ආසන්න සංඛ්‍යාවක් අලුතෙන්ම පිහිටෙව්වා. මේ අලුතෙන්ම පිහිටවපු නිසා සහකාර පොලිස් අධිකාරීවරුන් වැඩිකරන්න වුණා. පොලිස් අධිකාරිවරුන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රමාණය වැඩිකරන්න සිදු වුණා. ඒ වගේම මහජනතාවට තිබෙන ප්‍රතිලාභය වැඩිකරන්න පුළුවන් වුණා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට තමන්ට වැඩිපුර පුටු ප්‍රමාණයක් ලැබෙනවා කියන එක අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා මේ කාලපරිච්ඡේදයේ පොලිසියේ ස්ථානභාර නිලධාරීන්ගේ ප්‍රමාණය තව හයසීයක් වැඩි වුණා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී පහසුව තකා අවශ්‍ය යාන වාහන ලබාදීමත් පාවිච්චි කරන වාහන අලුත්වැඩියාව සඳහා තට්ටු දහයක අංග සම්පූර්ණ පොලිස් ගරාජයක් නිර්මාණය කර මේ වන විට පොලිස් සේවයට භාරකිරීමටත් පියවර ගෙන අවසන්. පොලිස් නිලධාරීන්ට විවේක ගන්න පහසුකම් තිබුණේ නැහැ. බොහෝ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ට භට නිවාසයක් තිබුණේ නැහැ, පහසුකම් සහිතව. අපිට පුළුවන් වුණා බොහෝ පොලිස් ස්ථානවල මේ අඩුපාඩුව සම්පූර්ණ කර කඩිනමින් භට නිවාස සකස්කර නිලධාරීන්ට භාර දෙන්න. මේ වන විට නිලධාරීන්ට නිදහස නිදහසේ ගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගා තිබෙනවා.

අපි පොලිස් නිලධාරීන්ට ගෞරවාන්විතව තමන්ගේ රාජකාරිය කරන්න අභිමානයෙන් යුතුව තමන්ගේ රාජකාරිය කරන්න, කාටවත් නිවට නොවී රාජකාරිය කරන්න ළුවන් ගෞරවනීය සේවයක් බවට පරිවර්තනය කරන්න අපි සමත් වෙලා සිටිනවා. ඒ වගේම දූෂිත නිලධාරීන්ට විරුද්ධව නිසි පියවර ගන්නත් අපි කටයුතු කර තිබෙනවා. දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් පරීක්ෂකවරු සහ කොස්තාපල්වරයා දක්වා සමහර දූෂිත අක්‍රමික වැඩකටයුතු කරපු නිලධාරීන්ට විරුද්ධව අපි නීතිමය පියවර අරගෙන ඒ ගොල්ලො බන්ධනාගාර ගත වෙලත් ඉන්නවා. අධිකරණයේ ඔවුන්ට විරුද්ධව නඩු තිබෙනවා.

පොලිසියට විවිධ පහසුකම් හදලා දෙනවා කියන හිටපු ආරක්ෂක ලේකම්වරයා එදා ආරක්ෂක ලේකම් තනතුරේ ඉන්න කොට පොලිසිය තුට්ටු දෙකට දාලා තිබුණේ. රණවිරු ස්ටාර් වැඩසටහන්වලට එකම පොලිස් නිලධාරියෙකුටවත් සහභාගීවීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.ඒක ආරක්ෂක අංශ අනිත් නිලධාරීන්ට පමණක් සීමා කර තිබුණා. රණවිරුවා යැයි කියන ලේකම්වරයා අන්න ඒ ආකාරයට පොලිසිය අතපල්ලට දමා නොසලකා හැර තිබුණේ. රණවිරු නිවාස වැඩසටහනේ කිසිදු තැනක පොලිස් නිලධාරියෙකුට මේ රණවිරු වැඩසටහනට ඇතුළත් කරලා නිවාස ලබාදෙන්නට කටයුතු කළේ නැහැ. හදපු ඉපලෝගම ගම්මානයෙත් සෑම භටයෙකුගෙන්ම රුපියල් ලක්ෂ අටක මුදලක් අය කරලා තමයි ඔවුන්ට නිවසක් ලබාදීමට පියවර ගත්තේ.

රටේ ජනතාව විදෙස් ගත ජනතාව "අපි වෙනුවෙන් අපි " අරමුදලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල්වලින් උදව් කළා. ඒ උදව් කරපු සල්ලි ටික මේගොල්ලො ගසා කෑවා ඇරෙන්න රණවිරුවාටවත් පොලිස් නිලධාරීන්ටවත් සැලකීමට පියවර ගත්තේ නැහැ. ඒකයි අර හදපු එකම ගම්මානය ඉපලෝගම ගෙයක් රුපියල් ලක්ෂ අටකට විකිණීමට කටයුතු කළේ.

වඒ වගේම තමයි තමන්ගේ පැත්තේ හිටපු ශ්‍රී රංගා මන්ත්‍රීවරයා වාහනය එලවාගෙන එනවා. යාපනය සෙට්ටිකුලම තාප්පයේ වාහනය හැප්පිලා වාහනේ හිටිය සාජන් මහත්තයා මැරෙනවා. සාජන් මහත්තයා මැරුණාම ශ්‍රී රංගා වාහනය එළෙව්වා කියලා දාන්නේ නැතිව අර සාජන් මහත්තයා වාහනේ එළෙව්වා කියලා වාර්තා කරනවා. ඇයි ශ්‍රී රංගා මන්ත්‍රීතුමාට වලංගු රියැදුරු බලපත්‍රයක් නැහැ. එතකොට වව්නියාවෙ හිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාරත්න මහත්තයා, පොලිස්පති බාලසූරිය අන්න විනය හදන අනිත් පොර. බාලසූරිය උපදෙස් දෙනවා සේනාරත්නට අර මැරුණු සාජන් මහත්තයාව වාහනය එලෙව්ව විදියට දාන්න කියලා. හොර වැඩ කරන කොටත් හරියට කරන්න බැහැනේ අර මැරුණු සාජන් මහත්තයාටත් ලයිසන් නැහැ. නමුත් රාජපක්ෂ අවනීතිය කටයුතු කරලා. විශ්‍රාම වැටුප ලබාදෙන්නට කටයුතු කරනවා. අපි දොස් කියන්නේ නැහැ විශ්‍රාම වැටුප ඒ මනුස්සයාට ලබාදුන්නාට. මොකද ඒ මනුස්සයා නෙමෙයි වැරැද්ද කෙරුවේ. මෙයා හිටිය ආරක්ෂක ලේකම්නේ පොලිසිය මෙයා යටතේනේ තිබුණේ. එතකොට කොහොමද පොලිසිය පාවිච්චි කරලා තිබෙන්නේ. මෙවැනි අවනීතියක් ඇති කිරීමටද ගෝඨාභය නැවත බලය ඉල්ලන්නේ. රටේ ජනතාව ගෝඨා කියන කොට මර බියෙන් ගැහෙන එක සාධාරණයි කියන එක මම කියපු කාරණා එක්ක ඔප්පු වෙනවා කියන එක විශ්වාස කරනවා.

මේ විනය හදන්න යන එක්කෙනා පොලිස් නිලධාරීන් 603දෙනෙකු ඝාතනය කරපු විනයාගමූර්ති මුරලිදරන් නැත්නම් කරුණා අම්මාන් සාක්කුවේ දාගෙන ඉන්නේ. පොලිසිය මරපු මිනිහා අරගෙන තමයි දැන් ගෝඨාභය රටේ විනය හදන්න හදන්නේ. ගෝඨාභය යටතේ රටක විනය යුක්තිය තියා පොලිසියට නීතිය යුක්තිය ක්‍රියාත්මක වෙයිද කියා හිතලා බලන්න කියා මම කියා සිටිනවා.

යුද්ධය අවසන් වුණාම රණවිරුවන්ට රුපියලකින් පඩි වැඩිකිරීමට අපොහොසත්වු ගෝඨාභය රාජපක්ෂ මේ රණවිරුවෝ යොදා ගන්නේ කාණු සුද්ද කරන්න, කම්කරු වෘත්තියට. වැලිකොට්ට ගහන්න. තමන්ගේ අයියාගේ පුතාලට රේස් පදින්න වැලිකොට්ට ගහන්නත් කොළඹ නගරයේ කාණු සුද්ද කරන්නත් කම්කරු වෘත්තියටත් මොහු යොදා ගන්නවා. හමුදාවේ සිද්ධාන්තය සෙබළුන් දහදෙනෙකුට එක වැසිකිළියක් තිබිය යුතුයි. හැබැයි ගෝඨාභය රාජපක්ෂ 8000ක් හමුදා නිලධාරීන් ගෙනැල්ලා කොළඹ කම්කරු වෘත්තියට යොදවන කොට එක එක ඔඩිටෝරියම්වල පිට්ටනි ගානේ තමයි මේ හමුදා නිලධාරීන්ට ඉන්න සිදු වුණේ. මේ හමුදාවේ ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරියා දක්වාම පඩිපෙළේ ඉටි රෙද්ද එළාගෙන තමයි නිදා ගන්න සැලැස්සුවේ. මේ නිලධාරීන් කම්කරු වෘත්තිය කරලා රෑට ඇවිත් නිදහසේ නිදා ගන්නවත් වෙලාවක් නැහැ. උදේ හතට නැවත වැඩට යන්න ඕනෑ නිසා පාන්දර තුනේ සිට පෝලිමේ සියයකට විතර තිබෙන්නේ වැසිකිළි දෙකයි ශරීර කෘත්‍ය කර ගන්න. ඔන්න මෙයා හමුදාවේ උදවියට සැලකුව හැටි.

සිවිල් ආරක්ෂක සේවාවේ නිලධාරීන් ආරක්ෂක හමුදවේ නිලධාරීන් පොලිසියේ නිලධාරීන් මේ සියලු දෙනාටම යහපතක් කළේ මනුෂ්‍යත්වයෙන් බැලුවේ ඔවුන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වයන් ඉහළ නැංවීමට පියවර ගත්තේ එක්සත් ජාතික පක්ෂය මූලික යහපාලන ආණ්ඩුවයි. එහෙමනම් තවමත් විශ්වාසයක් තබන්න පුළුවන් බලාපොරොත්තුවක් තබන්න පුලුවන් එකම දේශපාලන කණ්ඩායම එකම දේශපාලන නායකත්වය එක්සත් ජාතික පක්ෂය නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවක් පමණයි කියා කියන්න කැමැතියි.

ඡායාරූපය - කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න