එම්.සී.සී. ගිවිසුම ගෝඨාගේ ‘ඇක්සා‘ ගිවසුම වගේ නොවේ | දිනමිණ

එම්.සී.සී. ගිවිසුම ගෝඨාගේ ‘ඇක්සා‘ ගිවසුම වගේ නොවේ

නීතියට ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් නෑ

අමාත්‍ය පාඨලී චම්පික රණවක

එම්.සී.සී. ගිවිසුම, කිසිදු විධායක බලතලතලයක් නොමැතිව කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හෝ දැනුම් නොදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ ඇක්සා ගිවිසුම මෙන් නොවන බවත්, එම ගිවිසුමේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකා නීතියට හෝ ව්‍යවස්ථාවට පටහැනි කිසිදු දෙයක් එමඟින් සිදුවන්නේ නොමැති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ වොක්ෂල් වීදියේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ඊයේ (4) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේ ය.

මේ වනවිට මාධ්‍ය පැසිස්ට්වාදයක් ඇති කර තිබෙනවා. ජනතාවට බිය සහ අනාරක්ෂිත බවක් ඇතිවන ආකාරයට කිසිදු පදනමක් නොමැති තොරතුරු ජනගත කර ඡන්ද ලබා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. රටේ ජාතික ආරක්ෂාවට , භෞතික සැලසුම් ගැන ඇතැම් පිරිස් විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. එම්සීසී ගිවිසුම පිළිබඳ ඇතිකර තිබෙන චෝදනා අසත්‍යයි. ඒවායින් සිදුවන්නේ ජනතාවට බිය ඇති කිරීම පමණයි.

ජාතික භෞතික සැලසුම යටතේ විධිමත් පදනමක් යටතේ සංවර්ධන ව්‍යාපෘති විදිමත් පදනමක් යටතේ සිදුකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිදුකරනවා. ඒ යටතේ වරාය , අධිවේගී මාර්ග ඉදිකිරීම , පරිසර සංකරක්ෂණ ප්‍රදේශ , නාගරික මධ්‍යස්ථාන හඳුනා ගැනීම සිදු කෙරෙනවා. මෙම සැලසුම් සඳහා උතුර , නැඟෙනහිර , දකුණ , කොළඹ ප්‍රදේශයන් හඳුනාගෙන තිබෙනවා. අවුරුදු 10කින් යාවත්කාලීන කිරීමට තිබූ මෙම සැලසුම 2018 වරෂයේ දී 3000ක් පමණ විද්‍යාඥයන්ගේ සාකච්ඡා වලින් අනතරුව නැවත සිදුකළා. 2019 මුල දී එය ගැසට් කිරීම සිදුකළා. එයට අනුව අරමුණු කරන පරාමිති වන්නේ පරිසර සංවේදී කලාප හඳුනාගැනීම , ජනතාවට ජීවත් විය හැකි ආකාරයේ ඉඩම් සහිත ප්‍රදේශයන් හඳුනා ගැනීම, සංවර්ධනමය වශයෙන් තවදුරටත් දියුණු කළ හැකි ප්‍රදේශ හඳුනා ගැනීම සහ දැනට ගොඩනැගී තිබෙන මාර්ග පද්ධතිය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරනවා.

ජනතාවට ජීවත් විය හැකි ආකාරයේ ඉඩම් සහිත ප්‍රදේශයන් ලෙස කොළඹ සිට දඹුල්ල දක්වා ප්‍රදේශයන් හඳුනාගෙන තිබෙනවා. ආර්ථික සමාජීය කොරිඩෝ බවට පත් කිරීමේ දී පරිසර සංවේදී කලාප අඩුවෙන් පවතින සහ නාගරීකරණයට පහසු සංවර්ධන කලාප හඳුනා ගැනීම සිදු කරනවා. මේ සියල්ල දේශීය විද්‍යාඥයන් එකතුවී සාකච්ඡා කර සැලසුම් කරනවා. මේ හරහා රට දියුණු රටක් බවට පරිවර්තනය කළ හැකි යන විශ්වාසයේ අපි සිටිනවා. මේ හරහා වැටවල් බැඳීම් හෝ ඉඩම් බෙදීම් සිදුවන්නේ නැහැ.

අසත්‍ය කරුණු ප්‍රචාරය නොකර විද්‍යාත්මක කරුණු පිළිබඳ සාකච්ඡා කරන්න අපි සූදානම්. ඒපිළිබඳ දැනුවත් කිරීමට අපට හැකියාව තිබෙනවා. සහශ්‍ර අභියෝගතා ගිවිසුම රටවල් ගණනාවක සිදු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ද මෙය ලබාගැනීමට උත්සාහ කළා. මේ හරහා අක්කර ලක්ෂ 12,000ක් අමෙරිකාවට රුපියල් 180 ගානේ විකුණන්න යනවා කියන දේ බොරුවක්.

එම්සීසී ගිවිසුම ඔස්සේ මූලිකවම ප්‍රවාහන ක්ෂේත්‍රය යටතේ අධිතාක්ෂණික ක්‍රම භාවිතා කර මාර්ග තදබදය කළමනාකරණය කිරීමේ පද්ධති , පොදු බස්රථ සේවාව නවීකරණය කිරීම සහ ඉඩම් බලපත්‍රලාභීන් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම සහ එම කටයුතු ඩිජිටල්කරණය කිරීම සිදු කරනවා.

එම්සීසී ගිවිසුම හරහා ආධාර මුදල් වශයෙන් ඩොලර් මිලියන 447.5ක් ව්‍යෘපෘති පහසුකම් සැපයීම සඳහා වෙන් කර තිබෙනවා. අමෙරිකන් ඩොලර් මිලියන 32.5ක් ප්‍රසම්පාදන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. ඒ අනුව මුළු මුදල ලෙස ඩොලර් මිලියන 480ක ආධාර මුදලක් අපට ලැබෙනවා. මෙය ණයක් නොවේ, ප්‍රදානයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය කැප වී ක්‍රියාකරනවා. එම්සීසී ගිවිසුම හරහා ලබාදෙන ආධාර මුදල සෘජු හෝ අර්ධමය යුදමය කටයතු සඳහා භාවිතා කරන්න බැහැ , අමරිකා එක්සත් ජනපදයේ රැකියා වලට හෝ එහි නිෂ්පාදනවලට පාඩුවක් නොවන බවට රජය සහතික විය යුතු යි, පරිසරයට හා සෞඛ්‍යයට හානි නොවිය යුතු අතර, වෙනත් සමාජ විසමතාවන් සඳහා සහ වන්ධ්‍යාකරණ කටයුතු හෝ ගබ්සා කිරීම් සඳහා මෙම මුදල් භාවිතා නොකළ යුතුයි කියා සඳහන් වෙනවා. ඒවාගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමත වියයුතු බවත් සඳහන්. ඒ කරුණු පිළිගෙන ලංකා රජය එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. තමන්ට කිසිම විධායක බලතල නොමැතිව, කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හෝ දැනුම් නොදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ ඇක්සා ගිවිසුම වාගේ නොවෙයි. මෙම ගිවිසුමට ඕනෑම කෙනෙක්ට විවෘත යි. හානිකර කාරණා තිබේ නම් උසාවියේ දී හෝ පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා නීතියට හෝ ව්‍යවස්ථාවට පටහැනි කිසිදු දෙයක් මෙමඟින් සිදුවන්නේ නැහැ කියා අපි පැහැදිලිව කියනවා. ඒ බව ගිවිසුමේත් සඳහන් වෙනවා.

එම අවස්ථාවට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගී විය.

චන්දිමා කරුණාරත්න සහ සඳුනි රණසිංහ

 

නව අදහස දක්වන්න