දෙබිඩ්ඩෝ! | දිනමිණ


 

දෙබිඩ්ඩෝ!

දේශපාලන වශයෙන් ජනතාව තුෂ්ණීම්භූත වන තත්ත්වයක් රට තුළ දකින්නට ලැබේ. ඊට හේතු-සාධක ගණනාවක් තිබේ. දේශප්‍රේමීන්ගේ වේදිකා තුළ බෙදුම්වාදීහු සිටිති. එම වේදිකා තුළ ම මිනීමරු ත්‍රස්තවාදීහු ද සිටිති. දේශප්‍රේමීහු රට බෙදන ගිවිසුමක් ගැන ද, රට බේරාගැනීමේ අවසන් අවස්ථාවක් ගැන ද කතා කරති. එහෙත් එබඳු ගිවිසුමක් දැකගන්නට නැත. එබඳු ගිවිසුමකට අස්සන් කළ කෙනකු ද නැත. එක පැත්තකින් මහා භීතියක් පැතිර යයි. තව පැත්තකින් හාස්‍යයක් පැතිර යයි. භීතිය පැතිර යන්නේ කොන්දේසි දහතුනක් සහිත ගිවිසුමක් ගැන කතා කරන නිසා ය. හාස්‍යයක් පැතිර යන්නේ එබඳු ගිවිසුමක් නැති නිසා ය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ තත්ත්වය හොඳින් පැහැදිලි කර දී ඇත. ඔහු කියන පරිදි ගෝඨාභය මහතාගේ වේදිකාවේ වර්ධරාජා පෙරුමාල් සිටී. වර්ධරාජා පෙරුමාල් යනු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ ඊළාම් කොඩිය ඔසොවා වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටි තැනැත්තා ය. මංගල මහතා පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන ආර්. සම්බන්ධන් මහතා කිසි කලෙක ඊළාම් කොඩියක් ඔසොවා නැති බව ය. ආර්. සම්බන්ධන් මහතා 2013 යාපනේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේදී සිංහ කොඩිය ඔසොවා ඊට සහාය දැක්වූ බව ද සමරවීර මහතා පෙන්වා දෙයි. කරුණා අම්මාන් ගැන සඳහන් කරන මුදල් අමාත්‍යවරයා ඔහු ගෝඨාභයගේ වේදිකාවට ගොඩවන්නේ කෙසේදැ’යි ප්‍රශ්න කරයි.

ජාතිවාදී දේශපාලන වේදිකා තුළ ප්‍රධාන මාතෘකා තුනක් සාකච්ඡාවට ගැනෙයි. පළමු මාතෘකාව වන්නේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යන්න ය. දෙවන මාතෘකාව වන්නේ ජනතාවගේ පාර්ශ්ව දෙක ය. එක පාර්ශ්වයක් දේශප්‍රේමීන් ය. අනෙක් පාර්ශ්වය දේශද්‍රෝහීන් ය. තෙවන මාතෘකාව වන්නේ රට බෙදන ගිවිසුම ය. ඊට කොන්දේසි දහතුනක් ඇති බව කියති. රට බෙදීම, පෙඩරල් විසැඳුම හා ත්‍රස්තවාදයේ නැඟී සිටීම ද තවත් මාතෘකා බවට පත්ව තිබේ. ඒවා උප මාතෘකා ලෙස ද සැලැකිය හැකි ය. දේශප්‍රේමීන්ගේ අරමුණ ජනතාව තුළ විශාල භීතියක් ඇතිකිරීම බව ඉතා පැහැදිලිය. මේ භීතිය ඔස්සේ සිංහල ජනතාවගේ ඡන්ද කඩාගත හැකි ය. යුද්ධය හා යුද ජයග්‍රහණ අලෙවි කිරීම මැතිවරණ සමය තුළ තහනම් ක්‍රියාවක් වන්නේ වුව තව ම එය නතර වී නැත.

සාමාන්‍ය ජනතාවට දේශප්‍රේමීන් හඳුනාගත නො හැකි ය. දේශද්‍රෝහීන් හඳුනාගැනීම ද කළ නො හැකි ය. මීට සති කිහිපයකට ‍ඉහතදී පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර මට්ටමට උසස් කොට විවෘත කළේ ය. එහි දැන්වීම් පුවරුවෙහි භාෂා ත්‍රිත්වයෙන් ම ගුවන් තොටුපළෙහි නම දැක්වෙන අතර ඉහළින් ම සටහන් වී තිබුණේ දෙමළ භාෂාව ය. මෙය ප්‍රශ්නයක් කරගත් දේශප්‍රේමීහු රට අවසන් යැයි වේදිකා දෙවනත් කළහ. එහෙත් අද වන විට, 1990 දී ඊළාම් කොඩිය එසවූ තැනැත්තා ද දේශප්‍රේමීන්ගේ වේදිකාවේ සිටී. සිංහල පොලිස් නිලධාරීන් හයසියයක් මරා දමන්නට අණ දුන් ත්‍රස්තවාදී නායකයා ද එම වේදිකාවේ ම සිටී. ඒ හැරෙන්නට දේශප්‍රේමී පාර්ශ්වයේ නායකයා හිටපු කොටි නායකයන්ගේ දුක - සැප බැලීම සඳහා හිර ගෙදරට ද යයි. මෙය වනාහී වටහාගත නො හැකි දේශප්‍රේමයකි!

දේශපාලකයන් පමණක් නො ව; රටේ සියලු පුරවැසියන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමත්, පොදු නීතියට අවනතවීමත් කළ යුතු ය. එලෙස ම ජාතික ගීය, ජාතික කොඩිය පිළිගත යුතු ය. ඉන් බැහැර වන අය පුරවැසියන් ලෙස සැලැකිය නො හැකි ය. පිළිගත් දේශපාලන පක්ෂවල සියලු නායකයෝ ජාතික කොඩිය ඔසොවා තමන්ගේ උත්සව ආරම්භ කරති. ජාතික ගීය ගායනා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත වෙති. බෙදුම්වාදීන් එවැනි දේවල් සිදුකරන්නේ නැත. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඊළාම් කොඩිය ඔසොවා තමන්ගේ උත්සව ආරම්භ කළ අතර වෙන ම ජාතික ගීයක් නිර්මාණය කරගෙන තිබුණේ ය. එදා කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි අය ද ප්‍රභාකරන් අනුගමනය කළහ. මිනිසුන්ට වෙනස් විය හැකි ය. එහෙත් මේ වෙනස වටහාගත නොහැකි දෙයකි.

මංගල සමරවීර මහතා පෙන්වා දෙන අන්දමට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන සියලුදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගනු ලබන හා ජාතික කොඩිය - ජාතික ගීය පිළිගනු ලබන නියම පුරවැසියෝ ය. එය පිළිගත හැකි කතාවකි. දෙමළ සන්ධානය නියෝජනය කරන කිසිවකු වෙන ම රාජ්‍යයක් ගැන කතා කරන්නේ නැත. ඔවුන්ගේ සංවාදය යොමු වී ඇත්තේ දෙමළ ජනතවට සාධාරණ හා යුක්තිසහගත පිළිගැනීමක් ලබාගැනීම කෙරෙහි ය. දකුණේ බොහෝ නායකයන් මේ තත්ත්වය වටහාගෙන නැත. ඊට එක් හේතුවක් වී ඇත්තේ දකුණේ සිංහල නායකයන් පසුපස හැමවිට ම පාහේ ජාතිවාදී හා ආගම්වාදී කණ්ඩායම් හිටගෙන සිටීම ය. එක්සත් ජාතික පක්ෂය මෙන් ම සජිත් ප්‍රේමදාස මහතා ද ජාතිවාදී හා ආගම්වාදී මඩ ගොහො‍රුවෙහි ගිලී නැත. ඒ අනුව දෙමළ නායකයන් හා එක්සත් ජාතික පක්ෂය අතර හොඳ වැටහීමක් දිගු කාලයක සිට පැවැතිණි.

දෙමළ නායකයන් ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන්නේ මූලික හේතු දෙකක් නිසා යැයි සිතන්නට පුළුවන. එක හේතුවක් වන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙරෙහි පැහැදීමක් දෙමළ නායකයන් තුළ ඇති වී තිබීම ය. තව හේතුවක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදියකු හෝ ආගම්වාදියකු හෝ නො වීමය. උතුරේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට හොඳම නායකයා සජිත් යැයි දෙමළ නායකයන් පිළිගෙන තිබේ. සජිත් ‍මහතා ජාතික සමගියට හා ආගමික සංහිඳියාවට මුල් තැනක් දී ක්‍රියා කරයි. ඔහුගේ එක් සටන් පාඨයක් වන්නේ එක්ව නැඟී සිටිමු යන්න ය. එක්ව යන්නෙන් අදහස් වන්නේ සියලු ජාතීන්ගේ එකමුතුව හා සහයෝගය යි. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලු ජනකොටස්වල ඒකාබද්ධවීමක් සජිත් අපේක්ෂා කරයි. කළ යුත්තේ ද ජාතීන් අතර සාමූහික හැඟීමක් ඇතිකිරීම ය.

දේශප්‍රේමීන්ගේ වේදිකා තුළ ද දේශපාලනය තුළ ද කබරගොයා - තලගොයා කර ගැනීමේ න්‍යාය ක්‍රියාත්මක වන බව පෙනෙයි. සාමාන්‍ය ජනතාව ඊට රැවටෙන්නට පුළුවන. එහෙත් බුද්ධිය මුහුකුරා ගිය අය මේ කිසිවකට නො රැවටෙනු ඇත. ඇත්ත ඔවුන් දන්නා බැවින් ය.

නව අදහස දක්වන්න