නෙට්බෝල් පරිපාලනයට වෙළෙඳ සේවයෙන් නඩුවක් | දිනමිණ


 

නෙට්බෝල් පරිපාලනයට වෙළෙඳ සේවයෙන් නඩුවක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය නීති විරෝධී ලෙස පවත්වා ඇති බවත්, එසේ හෙයින් නැවැත නිවැරදි ආකාරයෙන් නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ජයන්ති සෝමසේකරන් හා සංජීවනී වනසිංහ මහත්මිය ප්‍රධානත්වය උසුලන වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමය අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොණු කරයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය ලෙස පත්වූ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා, ලේකම් චම්පා ගුණවර්ධන, භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ, උප සභාපති ටී.එම්.පී.කුමාරිහාමි, සහකාර ලේකම් සුමිත්‍රා කුමාරි වනසිංහ හා සහකාර භාණ්ඩාගාරික හිරන්ති සේනානායක යන මහත්ම මහත්මීහු මේ නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කොට ඇත.

පසුගියදා නිමාවට පත්වූ නෙට්බෝල් නිලවරණයට අදාළ ඡන්ද හිමි නාම ලේඛණය අසාධාරණ බවට ඉදිරිපත්වූ විරෝධතාව විභාග කළ අභියාචනා මණ්ඩලය නිලවරණය කල්දමන ලෙස වාර්තාවක් ලබාදී තිබියදී, නිලවරණය පැවැත්වීමට ගත් තීරණය වැරදි සහගත බව මේ නඩුවෙන් කරුණු ඉදිරිපත්කොට ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය නම්කළ අභියාචනා කමිටුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පෙන්වාදී තිබුණේ ක්‍රීඩා පනතේ නීති රීති අනුව නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුව කටයුතු කර නොමැති හෙයින් නිලවරණය කල්දැමිය යුතු බවය. එසේ තිබියදී ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම ගැටලු සහගත බව අභියාචනාධිකරණයට දැනුම්දීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කර ඇත.

නෙට්බෝල් නිලවරණයේදී ක්‍රියාකාරීත්වයක් නොමැති සංගම්වලට ඡන්ද අයිතිය ලබාදීම අසාධාරණ බවත්, එවැනි පසුබිමක් යටතේ පවත්වන නිලවරණය නීත්‍යානුකූල නොමැති බවත්, වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමය විරෝධතා ලිපියක් මගින් නිලවරණ කමිටුවට මෙයට පෙර දැනුම්දී තිබිණි. නෙට්බෝල් ව්‍යවස්ථාව අනුව නිසි ක්‍රියාකාරීත්වයක් ඇත්තේ වළෛඳ සේවා, රාජ්‍ය සේවා හා බදුල්ල දිස්ත්‍රික් නෙට්බෝල් යන සංගම් තුන පමණක් බව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ හිටපු ලේකම් හා වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමයේ සභාපති ජයන්ති සෝමසේකරන් මහත්මිය එම ලිපියෙන් අවධාරණය කළාය.

නව අදහස දක්වන්න