ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් | දිනමිණ


 

ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

පාකිස්තානය සමග කැන්බරා හිදී ඊයේ පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ඔස්ට්‍රේලියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ලකුණු 150කට සීමා කළ ඔස්ට්‍රේලියානුවෝ පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 3ක් දැවී තිබියදීය.

ස්ටීට් ස්මිත් නොදැවී ලකුණු 80ක් රැස්කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන ගියේ තරගයේ වීරයාද වෙමිනි. පන්දු 51කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට නායක බාබර් අසාම් සමත්වූයේ පන්දු 38කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 50ක් රැස් කරමිනි. ඉෆ්තිකාර් අහමඩ් පන්දු 34කින් නොදැවී ලකුණු 62ක් ඉනිමට එක් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගිනි. පන්දු යැවීමේදී ඇස්ටන් අගා කඩුලු 2ක් බිඳ දැම්මේය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් තරගය 8 වැනිදා පර්ත්හිදී පැවැත්වෙයි.

පාකිස්තානය - 150/6යි. (ඕවර 20) ඉෆ්තිකාර් අහමඩ් නොදැවී 62, බාබර් අසාම් 50 (ඇෂ්ටන් අගා 23/2)

ඔස්ට්‍රේලියාව - 151/3යි. (ඕවර 18.3) ස්ටීව් ස්මිත් නොදැවී 80

නව අදහස දක්වන්න