නවසීලන්තය පෙරට එයි | දිනමිණ


 

නවසීලන්තය පෙරට එයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ නෙල්සන් හිදී පැවැති තෙවනි විස්සයි20 තරගයෙන් ලකුණු 14ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකිවිය. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ලකුණු 180ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය එංගලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.

ඩේවිඩ් මාලන් (55) සහ ජෙම්ස් වින්ස් (49) දෙවැනි කඩුල්ල5ට පන්දු 45කින් ලකුණු 63ක් එක් කරමින් එංගලන්තය සටන්කාමී ස්ථානයකට රැගෙන ආවාද ලකුණු 10ක් තුළ කඩුලු 5ක් බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වීමත් සමග ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වැටිණි.

මාලන් පන්දු 34කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 55 රැස්කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් එක්වූ වින්ස්ගේ ඉනිමට පන්දු 39ක් වැයවිය. මාලන් ඊයේ රැස්කළේ 5 වැනි අර්ධ ශතකයයි.

තෙවැනි විස්සයි20 අර්ධ ශතකය රැස්කළ කොලින් ඩි ග්‍රෑන්හෝම්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තයට ලකුණු 180 සීමාවට පිවිසීමට හැකිවිය. පන්දු 35කට මුහුණදුන් කොලින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් අතර මාටින් ගප්ටිල් පන්දු 17කින් ලකුණු 33ක් සහ රොස් ටේලර් ලකුණු 27ක් ඉනිමට එක් කළහ. දෙපිල අතර සිවුවැනි විස්සයි20 තරගය මේ 8 වැනිදා නේපියර් හිදී පැවැත්වේ.

නව අදහස දක්වන්න