තීරණාත්මක සාකච්ඡාවකට කොළඹ ලොක්කෝ නේපාලයට: දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | දිනමිණ


 

තීරණාත්මක සාකච්ඡාවකට කොළඹ ලොක්කෝ නේපාලයට: දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

ලබන මස 1 වැනිදා සිට නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නේපාලයේ සූදානම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැස්වෙල් ද සිල්වා මහතා ප්‍රමුඛ ඉහළ පෙලේ නිලධාරී කණ්ඩායමක් මේ 9 මස වැනිදා නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය.

එහිදී ක්‍රීඩා උළෙල පැවැත්වීමට පෙර ඇති සූදානම මෙන්ම මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගණය වන දසරාත් ක්‍රීඩාංගණය ද පරීක්ෂාවකට ලක්කිරීමට ඔවුන් බලාපොරෝත්තු වෙයි. වසර කිහිපකට පෙර පැවැති භූමි කම්පාවක් හේතුවෙන් මේ ක්‍රීඩාංගණයේ කොටස් කිහිපයකට හානි සිදුවූ අතර මේ වනවිටත් එහි අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතී.

මේ ක්‍රීඩා උළෙලට සත්කාරක නේපාලය, ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානනය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින යන රටවල් 8 නියෝජනය කරමින් විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්වන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් සඳහා හිමිවන හෝටල් පහසුකම්, පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රීඩාංගණ පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබඳවද සොයා බැලීම මේ කණ්ඩායම අරමුණ වී තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලට ඉසව් 27කින් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කටයුතු යොදා ඇති අතර ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650කට ආසන්න සංඛ්‍යාවක් සමග නිලධාරීන් 200 පිරිසක් නේපාලය බලා යෑමට නියමිතය.

කෙසේ වෙතත් ඇතැම් ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇතැයි පැවැසෙන අතර එසේ වුවහොත් ශ්‍රී ලාංකික ක්‍රීඩක පිරිස මීට වඩා අඩුවනු ඇත.

මලල ක්‍රීඩා, පිහිනුම් සහ බොක්සිං කණ්ඩායම් දේශගුණයට හුරුවීම සඳහා දින කිහිපයකට කලින් නේපාලයට යෑමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ගේ පහසුකම් පිළිබඳවද අවධානය යොමු කළ යුතුව තිබේ.

මේ අතර ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩා කණ්ඩායම් නාම ලේඛණය බාර දීම ඊයේ අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසා තිබිණි.

මේ නාම ලේඛණ භාර ගැනීම පසුගිය සතියේ අවසන් කිරීමට නියමිතව තිබුණත් ජාතික ඔලිම්පික් කමිටුව නේපාල බලධාරීන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව එම කාලය දීර්ඝ කර ගැනීමට හැකිව තිබිණි.

මේ තොරතුරු ඇතුළත් කිරීමේදී සංවිධායකයන් වෙතින් සුළු ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවත්, කෙසේ වෙතත් සංවිධායකයන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර සම්බන්ධීකරණ කටයුතු අඩුපාඩුවකින් තොරව කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පවසයි.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න